Main Logo

Thursday 23 March 2023

රනිල් වැඩ්ඩෙක් ද?

 රනිල් වැඩ්ඩෙක් ?

 

රනිල් ඊයේ පාර්ලිමේන්තුවේ කළ කතාව අහගෙන හිටිය මට හිතුණෙ මේ මොන තරම් සැලසුමක් ඇතුව කරපු මෙහෙයුමක තවත් ජවනිකාවක් කියන එක. ඇතැමුනට රනිල් වැඩ්ඩෙක් වෙන්න පුළුවන්. ඇතැමුන් කතාවෙන් ආතලයක් ගන්න පුළුවන්. ඔය වැඩ්ඩා ආතල් වගේ වචන කාලවල ව්‍යවහාර වන විලාසිතා වචන පමණයි. විලාසිතා හැම තැන තියෙනවා. මා සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ සිටිය දී මගේ ගුරුතුමා මහාචාර්ය මැක්‍රේ මට කිවුවේ තාරකා විද්‍යාවේත් විලාසිතා ඇති බවත් කලින් හඳුනාගත යුතු බවත්.

 

රනිල්ගෙ කතාවත් විලාසිතාවක්. විද්‍යාවෙ හරි දේශපාලනයෙ හරි පාරෙ යෑමෙදි හරි වෙනත් කොහේ හරි රටා හඳුනා ගැනීම ඉතා වැදගත්. ඉස්සර නම් අපි අපේ අම්මලා ආච්චි අම්මලා පැදුරු වියනවා දැක්කා. ඒවයෙ රටා තිබුණා. දුම්බර රටා ගැන අපි අහල තියෙනවා. අපි ටිකක් ඉඩ ගියත් රනිල්ගෙ කතාවෙ කොටසකින් රටාව හඳුනා ගනිමු.  

 

මම පසුගිය ජූලි 9 වනදා භාරගත්තේ ගිනි ගත් රටක්. අවුලෙන් අවුලට පත්වු රටක්. හෙට දවස ගැන අබමල් රේණුවක බලාපොරොත්තුවක් නැති රටක්. නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක්. උද්ධමනය 73%ක් දක්වා ප්‍රකාශ කළ රටක්. ඉන්ධන, ගෑස් පෝලිම්වල ජනතාව දවස් ගණන් දුක්විඳින රටක්. පාසල් වැහිච්ච රටක්. දවසකට පැය 10 - 12ක් විදුලිය කප්පාදු කළ රටක්. ගොවීන් වගා කරන්න පොහොර නැති රටක්. නීතිය හා සාමය වල්වැදුණු රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන පිටස්තරයින් පදිංචිවෙලා හිටිය රටක්. මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක්. මහදවල් මිනිස්සු මරාදාපු රටක්. මෙවැනි පසුබිමක වගකීම භාරගන්න කවුරුත් කැමති වුණේ නෑ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරය බලන්න කල්ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා. මගෙන් ඉල්ලීම කළේ කවුරුත් වගකීම භාරගන්න ඉදිරිපත් නොවුණ අවස්ථාවක. මම කිසිම කොන්දේසියක් නැතිව අභියෝගය භාරගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නෑ. මට මන්ත්‍රීවරු හිටියේ නෑ. මට තිබුණේ එකම ශක්තියයි මම ඉපදුන, හැදුන, වැඩුන මගේ ආදරණීය රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය විතරයි. මේ බරපතළ අභියෝගය භාරගනිද්දි මා සතුව තිබුණේ අතීත අත්දැකීම් මතින් ගොඩනගාගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය භාරගත්තා..."

.

මේ ජයග්‍රාහී රටාව. මේ අවසාන වාක්‍ය කිහිපය කියවන විට සමහරුනට මේ මොන තරම් රට වෙනුවෙන් ඉදිරිපත් වීමක් කියල හිතෙන්න ඇති. පසුව මේ කතාවේ එක් තැනක කියනවා ඩී එස් සේනානානායක ණය ගත්තෙ නැහැ කියලා. ඒක ඇත්ත.  ඔහුට ඉංගිරිසින් ඉතිරි කරල ගිය මුදල් තිබුණා. දැන් පඬි නැට්ටකු කියයි එහෙමත් නැත්තන් පසු දවසක වාක්‍ය උපුටා දක්වල කියයි මා ඉංගිරිසින් වෙනුවෙන් ඔවුන්ගෙ හොඳ කිවුව කියල. ඩී එස් සේනානායක ගොවි ජනපදත් ඇති කෙරුවා. ඒත් වැඩි කල් නොගොස් අපි ණය ගත්තා. ඩී එස් සේනානායක මිය ගිහින් ඊයේට (මාර්තු 22) අවුරුදු 71ක් වෙනවා. ඔහු මිය ගියෙ පනස්දෙකේ දි. පනස්තුන වෙන කොට අපට අමාරුයි. පනස්තුනේ හර්තාලෙ මතක ? රනිල්ට මතක නැතුව ඇති. ඒත් අහල ඇති.

 

අපේ රටේ ප්‍රශ්නය අපි එකවර අශ්වයන් දෙදෙනකුගේ පිටේ යෑමට උත්සාහ කිරීම. ධනවාදය හා සමාජවාදය. මා කියන්නේ එක් අශ්වයකු තෝරා ගත යුතු බව නො වෙයි. වෙනත් අශ්වයකු පිටේ යා යුතු බවයි. ඒත් මා කියන දෙයක් අහන්නෙ කවුද? මේ ලිපි ලියන්නෙත් කාටවත් උගන්වන්න නො වෙයි. මගෙන් ඉගෙන ගත් කිසිවකු නැහැ. මා කිසිවක් උගන්වලත් නැහැ. විශ්වවිද්‍යාල තුනකින් වැටුප් ගත්ත බව නම් ඇත්ත. මා සාර්ථක වෙලා තියෙන්නෙ අවුරුදු තිහක් පමණ වැටුප් ගැනීමෙන් පමණයි. අනෙක් හැම අතින් මා අසාර්ථකයි.

 

රනිල්ගෙ කතාවෙන් නොකියා කියැවෙන දේ බොහොමයි. ඊනියා ජාත්‍යන්තර ලියවිලි කොලේ වහල ලියන ඒවා. කොලේ වහල කොලේ ලියන්නෙ කොහොමද කියල මගෙන් අහන්න එපා. ජාමූලෙ ආණ්ඩුව සම්පූර්ණයෙන් යට කරන්. අර දුෂණ ගැන හොයන කතාව වෙනත් කිසිම ආසියාතික රටක් සම්බන්ධයෙන් කෙරිලා නැහැ. දුෂණ ගැන කියමින් තවත් දේ හොයනවා. දූෂණය අර්ථදක්වන්නෙ කොහොමද? අර බන්දුල ගුණවර්ධන දවස්වල කියපු මහා දවල් මහා බැංකු හොරකම දුෂණයක් ? රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑම දූෂණයක් ? ආණ්ඩුවක රාජකාරිය නැත්නම් කාර්යභාරය කුමක් ? ආණ්ඩුවක් ටෙලිකොම් වගේ ව්‍යාපාර පවත්වා ගෙන යෑම  දූෂණයක් ? මහා බැංකුව කිසිවකුට වග කියන්න ඕන නැද්ද? බැංකුව කැමති වුවත් අකමෑති වුවත් ජාමූලෙ කියන විධියට වෑඩ කරන්න ඕන ? අද මහා බෑංකුව වැඩ කරන්නෙ කාට ඕන විධියට ? මහා බැංකු අධිපතිගෙන් අහන්න. ජාමූලෙ අපට ඩොලර් බිලියන 2.9ක් අවුරුදු හතරකට දෙන අතරෙ යුද්ධ අස්සෙ  යුක්‍රේනයට  බිලියන 15.6ක් දීල. ඒක දූෂණයක් ද?  වැඩ්ඩා කවුද?   

 

රනිල් කියල තිබුණ ඇතැමුන් කියනව ථෙරවදී රටවලට දියුණු වෙන්න බැහැ කියල එහෙත් තායිලන්තය දැන් දියුණු වෙනවා, ථෙරවාදයෙ මූලස්ථානය වන ලංකාවටත් දියුණු වෙන්න පුළුවන් කියල. මෙතනත් ප්‍රශ්නෙ තියෙන්නෙ දියුණුව කියන්නෙ මොකක් කියන එක. මට නම් පේන්නෙ තායිලන්තය වැඩි කල් යන්න කලින් ථෙරවාදය අත්හරින බවයි. සමහරවිට බුද්ධාගමක් තියෙන්න පුළුවන්. ථෙරවාදයට අනුව දියුණුව කියන්නෙ මොකක්ද? ඩයනා ගමගේ ථෙරවාදී ආර්ථික උපදේශිකාවක් ලෙස පත් කරමු ? අප දැනට කරන්නේ අර ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති  සත්‍යය හඹා යනවා වගේ ක්‍රිස්තියානි දියුණුවක් පසුපස වැටි වැටී හඹා යෑම. ඒක හඹා යැමක් කියන එක කාට හරි ප්‍රශ්න කරන්න පුළුවන්. (මතු සම්බන්ධයි)