Main Logo

Tuesday 14 March 2023

ගෝඨාභය අසමත් ද?

 ගෝඨාභය අසමත් ?

 

මෙරට සිටින බුද්ධිමතුන් උගතුන් පිළිතුරු දෙන්න හදන්නේ ගෝඨාභය අසමත් වුණේ ඇයි යන ප්‍රශ්නයට. කියන්නේ ඔවුන්ගේ නිරීක්‍ෂණය තමයි ගෝඨාභය අසමත් වුණා යන්න. දෙවියන්ගෙ පිහිටෙන්, අවශ්‍ය නම් නාථ දෙවියන්ගෙ පිහිටෙන් කිවුවත් කමක් නැහැ, මා බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. නිසා මට ගෝඨාභය අසමත් වී ඇති බවක් පේන්නෙ නැහැ. මට පේන්නෙ ගෝඨාභය ඉවත් කරපු බවක්.

 

ගෝඨාභය අසමත් වුණා කියන නිරීක්‍ෂණයෙන් පටන් ගන්න අය එයට හේතුව හරි හේතු හරි ලෙස විවිධ කතා කියනවා. මා නැවත නැවතත් කියන්න ඕන මා මේ ලිපි ලියන්නේ කිසිවකු දැනුවත් කිරීමටවත් කිසිවකුගේ මතයක් බිඳ දැමීටවත් නොව මා නිරවුල් වීම සඳහා බව. මා කියන දෙයක් කොහොමටවත් උගතුන් බුද්ධිමතුන් පිළිගන්නෙ නැහැ. මට ආන්දෝලනාත්මක කතා කියන්නත් බැහැ. මා කුමන්ත්‍රණ ගැන දන්නෙත් නැහැ.

 

ගෝඨාභය අසමත් වුණා කියන අය සඳහන් කරන්නේ ගෝඨාභයට දේශපාලන අත්දැකීම් නොමැති වීම, ඔහුගේ පෞරුෂය ජනාධිපතිවීමෙන් පසුව නැති වීම, ඔහු ඇමරිකානු තානාපතිනියට රැවටීම ආදිය. මා නම් එකක්වත් පිළිගන්නේ නැහැ. ගෝඨාභය අසමත් කියා උපකල්පනය කළත්. ගෝඨාභයට දේශපාලන අත්දැකීම් වුවමනා ප්‍රමාණයට තිබුණා. බණ්ඩාරනායක මහත්මියට වඩා තිබුණා. දේශපාලන විඥානයකුත් තිබුණා. ජනාධිපති වීමෙන් පසු පෞරුෂය වැඩි වෙනවා මිසක් අඩු වන්නේ නැහැ.

 

ඇමරිකානු තානාපතිනියට රැවටුණා කියන එක නම් කොහොමටවත් විශ්වාස කරන්න බැහැ. ඔය කියන්නේ වත්මන් තානාපතිනිය වෙන්න බැහැ. ඇය පැමිණ ඇත්තේ 2022 පෙබරවාරියේ අග. ගෝඨාභය ඉවත් කෙරුණෙ 2022 ජූලියෙ මුල. සමහරවිට ඔවුන් කියනව ඇත්තේ හිටපු තානාපතිනිය ගැන වෙන්න පුළුවන්. ඒත් මොකක් ගැන රවටල තියෙන්නෙ. මෙරට ඇමරිකන් තානාපති හරි තානාපතිනිය හරි බලවත්.  රවටන්න මොනව හරි පොරොන්දු වුණා ?

 

මැතක හිටිය ඇමරිකන් තානාපතිලා මතක ? අතුල් කෙෂාප්, රොබට් බ්ලේක්, පැට්‍රීෂියා බූටනිස් ආදීන් මතක් වෙනවා. ඔවුන් මෙරට විශාල කාර්යභාරයක් කළා. ඉන්දියන් මහා කොමසාරිස්ලත් එහෙමයි. බිරිතානි මහා කොමසාර්ස්ල ටිකක් පැත්තකට වෙලා. චීන තානාපතිලත් තරමක් කාර්ය බහුලයි. මේ රටවල් හතර තමයි අපට බලපාන ප්‍රධාන රටවල්. අපි ගැන පස්සෙ කතා කරමු. අද ඔය හැම තානාපති කාර්යාලයක ඇත්තන් පන්සල් යනවා. ඒක හොඳයි. එතන නම් රැවටීමක් තියෙනවා. ඒත් රවටන්න හදන්නෙ රනිල් නම් නො වෙයි. කවුද කිව්වලු උඩින් කම්මල යටින් පන්සල කියල. ඒත් මෙතන නම් වෙන්නෙ ඒකෙ අනෙක් පැත්ත. උඩින් පන්සල යටින් කම්මල. 

 

ගෝඨාභයට සහායට හරිහමන් කිසිවකු හිටියෙ නැති එක නම් ප්‍රශ්නයක් තමයි. ඔහුට සහායට ගිටියෙ හමුදා නිලධාරීන් කිහිප දෙනකු හා මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ නිලධාරීන් කිහිප දෙනකු. ගෝඨාභය ඔවුන් සමහරකුගෙ සහායෙන් කොවිඩ් වසංගත තත්වය ඉතා මැනවින් කළමනාකරණය කළා. එහි දී ඔහු අසමත් කියා කිසිවකු කියන එකක් නැහැ. එහි දී සහාය වුණෙ මූලික වශයෙන් හමුදා නිලධාරීන්.

 

අපි හිතමු කොවිඩ් වසංගතය ආවෙ නැහැ කියල. එහෙම නම් ආර්ථික අර්බුදය ඔය විධියට එන්නෙ නැහැ. එහෙම නම් සාමාන්‍ය ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරනවා. අර ආර්ථික විද්‍යාඥයන් කියන අය ණය අරගෙන ණයට කන්න උපදෙස් දෙන්න තිබුණ. ගෝඨාභයගෙන් මා නම් යළි සිංහල බෞද්ධ රාජ්‍යයක් බලාපොරොත්තු වුණේ නැහැ. පැත්තට යන ජාතික වැඩ පිළිවෙළක් පමණයි බලාපෙරොත්තු වුණෙ. උදාහරණයක් වශයෙන් නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීම හා ප්‍රතිසංස්කරණය කිරීම. ආර්ථික වශයෙන් කරනව නම් කරන්න තිබුණෙ මධ්‍යම පාංතික අවශ්‍යතා අඩු කිරීම හා අපනයන වැඩි කිරීම. එහෙත් දෙවැනි කරුණ කරන්න කොවිඩ් වසංගතය ඉඩ දුන්නෙ නැහැ.

 

කොවිඩ් වසංගතය ඇති වුණෙ ගෝඨාභය ජනාධිපති වෙලා මාස හතරක් යන්න ඉස්සෙල්ලා. එය දෙපැත්තකින් කළමනාකරණය කිරීමට සිදු වුණා. එක් පැත්තකින් වසංගතය, අනෙක් පැත්තෙන් ආර්ථිකය. ආර්ථික කළමනාකරණය ආර්ථික විද්‍යාඥයන්  කවුරුන්වත් දැන හිටියෙ නැහැ. අදත් දන්නෙ නැහැ.

 

බටහිර විිද්‍යාව කියන්නෙ මහා දෙයක් නොවෙයි. ප්‍රශ්නයක් ආව ඒකෙ කෙරෙන්නෙත් කතාවක් හරියනවා නැද්ද කියල, වැඩ කරනවා නැද්ද කියල හොයල බලන එක පමණයි. එක වෙනස බටහිර විිද්‍යාවෙ කතා වියුක්ත වීමයි. මා හැමදාමත් කියන්නෙ සියලු කතා බොරු වියුක්ත කතා පට්ටපල් බොරු කියල. අපට පාසලේ දී විශ්වවිද්‍යාලයෙ දි උගන්වන්නෙ යම්තමකට  වැඩ කරන කතා ටික පමණයි. හැමෝම වගේ කතා කරන ගුරුත්වාකර්ෂණය ග්‍රහ වස්තුන් සම්බන්ධයෙන් වැඩ කරන්නෙ නැහැ.

 

අද විශ්වවේදය කියන්නෙ එක අවුල් ජාලයක්. විශ්වය පැතලි කියා හැමෝම වගේ විශ්වාස කරනවා, ඒත් සමහර නිරීක්‍ෂණ එහෙම පැතලි කියා අරගෙන විස්තර කරන්න බැහැ. ඒවා විස්තර කරන්න විශ්වය අවකාශීය වශයෙන් සංවෘත කියා ගන්න වෙනවා. ඔය විද්‍යාඥයකුට පුළුවන් ගෝලය පැතලි කරන්න.   

 

ආර්ථික විද්‍යාවෙ එහෙම යම්තමකට වැඩ කරන කතා කියලත් ජාතියක් නැහැ. අතට එකක් මේ අතට තව එකක්. මා ආර්ථික විද්‍යාවට කියන්නෙ ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාව කියා. ඔය ආර්ථික විද්‍යාඥයන් කොවිඩ් කාලෙ කතා කෙළෙ ඩොලර් ඉතුරු කරන්නෙ කොහොම කියල. එහි දී තමයි  ජයසුන්දර කිවුවෙ රසායනික පොහොර ආනයනය කිරීම නතර කරන්න කියලා. එය ජාතිකවාදී ප්‍රතිපත්තියක් මත පිහිටල ගත්ත තීරණයක් නොවෙයි. ඩොලර් ඉතුරු කර ගැනීම සඳහා ගත්ත තීරණයක්.

 

මට මේ ලිපිය ලියන අතර දැන ගන්න ලැබුණ සමහරු හිතනව කියා ගෝඨාභය අර කැලණියේ නයා වගේ ඊනියා මිථ්‍යා මත නිසා බලයට ආවා කියා. කිසි දා බලයට එන්න බැරි වමාලට ඔය කතා කිය කිය තමන් මොන තරම් ඉහළ බුද්ධිමතුන් උගතුන් තාර්කිකයන් කියා නයි අරින්න පුළුවන්. අපි කැලණියේ නයාගෙ නයි විද්‍යාව ගැනත් පසුව කතා කරමු. (මතු සම්බන්ධයි)