Main Logo

Tuesday 7 March 2023

ගෝඨාභයට මොකද වුණේ

 ගෝඨාභයට මොකද වුණේ

 

ගෝඨාභයගේ නික්ම යෑම එහෙමත් නැත්නම් පරයන් ගෝඨාභය ඉවත් කිරීම ගැන මා ලියන්න පටන් ගත්තේ ජනවාරි විසිහය වැනි දා. ගෝඨාභය සම්ප්‍රාප්තිය මැයෙන් ලියැවුණු ලිපියෙන් පසු විවිධ හේතු නිසා දිගට ලිවීමට බැරි වුණා. මා ලිපියෙන් කොටස් කිහිපයක් උපුටා දක්වමින් තවත් කොටස් ලියන්නේ ලිපියේ අඩංගු කරුණු බොහෝ දෙනකුට අමතක වී ඇතැයි සිතන නිසා.

 

“ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යැවුවේ කවුද? ගෙදර අය ? පිට මිනිස්සු ? මෙතන දි ගෙදර අය කියන්නෙ රාජපක්‍ෂල වෙන්නත් පුළුවන්, මෙරට රාජපක්‍ෂලා ඇතුළු  ඇතැමුන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රාජපක්‍ෂලා නැතුව මෙරට වෙනත් ඇතැමුන් වෙන්න පුළුවන්. පිට මිනිස්සු කියන්නෙ පිටරට අය වෙන්නත් පුළුවන්. රාජපක්‍ෂලා නැතුව මෙරට ඇතැමුන් වෙන්නත් පුළුවන්. රාජපක්‍ෂලා නැතුව මෙරට ඇතැමුන් හා පිටරට අය වෙන්නත් පුළුවන්. අපි බලමු කවුද කියලා.”

 

ගෝඨා ගෝ හෝම් පාඨය කාගේ නිර්මාණයක් කියන්න මා දන්නේ නැහැ. දිලිත් ජයවීර නම් කියන්නේ එය මහින්ද රාජපක්‍ෂගේ පුතකුගේ වැඩක් කියා. පාඨය අනුව නම් එසේ වෙන්නත් පුළුවන්. පාඨය ජනප්‍රිය වුණෙත් ඔහු වැනි පුද්ගලයන් අතර. මෙරට එවැනි පුද්ගලයන් සූවාසුදහසකට වඩා ඉන්නවා. එහෙත් එය එකී පුතාගේ වෙබ් අඩවියක පළ වූ පමණින් ඔහුගේ විය යුතුත් නැහැ.

 

“ගෝඨාභය කියන්නෙ රාජපක්‍ෂ කෙනෙක්. සාටකය නැති වුණාට රාජපක්‍ෂ කෙනෙක්. සාටකය නැති වුණත් වඩාත් ජාතිකත්වයක තිබූ රාජපක්‍ෂ. මහින්ද රාජපක්‍ෂ ජාතිකත්වයට තල්ලු කෙරුණු රාජපක්‍ෂ කෙනෙක්. බැසිල් රාජපක්‍ෂ කිසිම ජාතිකත්වයක් නැති රාජපක්‍ෂ කෙනෙක්. නාමල් ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. “

 

“2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපත් කෙරුණෙ ජාතිකවාදීන් විසින්. මාත් අය අතර හිටියා. මට මතකයි කොල්ලුපිටියේ පැවති රැස්වීමක දී නම ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් කෙරී සම්මත වුණු බව. මා තීරණය ගැන සතුටු වෙනවා. පිළිබඳ කිසිම කණගාටුවක් නැහැ. කණගාටුව ඔහුට යන්න සිදු වුණු එක ගැන. පඬි නැට්ටන් කිය කියා හිටියෙ මා රාජපක්‍ෂවාදියෙක් මහින්දවාදියෙක් ආදී වශයෙන්. අද ඔවුන් කියන්නෙ හෙලිකොප්ටර්වාදියෙක් කියල ? එතකොට රාජපක්‍ෂලට කඩේ යන්නෙ නැද්ද? මෙරට පඬි නැට්ටන් තර්ක බුද්ධිය ගැන කතා කරන අය. ඔවුන්ගෙ තර්ක බුද්ධිය ගැන මා කතා කරන්නෙ නැහැ.”

 

ඔවුන් සකර්බර්ග්ගේ මෙටාවෙ ලියන කියන දෙයින් සමහර විට හිතෙනවා ලියන දේ ඉංගිරිසියට පරිවර්තනය කළොත් ඩොලර් උපයා ගැනීමට හැකි වේවි කියා. මා වාස්තවික යථාර්ථය යනු කුමක් දැයි ඔවුන්ගෙන් උගනිමින් ඉන්නවා. එක් අයකුට අනුව වාස්තවික යථාර්ථය කියන්නෙහිත නැති වෙලාවේ ලෝකේ තියෙන විදිය”.  මා මෙහෙම කියන්නේ අහිතකින් නොවෙයි. හිත නැති වෙලවෙ තියෙන විධිය දන්නෙ කවුද? පේන්නෙ කාට ? ඒක අර සිත නැති කය ඇති බඹ තලයෙ පේන විධිය වෙන්න ඇති. එහෙම නම් ඒකත් සාපේක්‍ෂයි. තවත් අයට යමක් තියෙනව කිවුව ගමන් ඒක වාස්තවිකත්ය. හැම පැවැත්මක් සාපේක්‍ෂයි. වස්තුවක් කියන්නෙ සාපේක්‍ෂ දැකීමක්. වි පෙරමුණට රැල්ලක් ඇති වූ බව දකින අයගෙන් සමහරුනට රැල්ල දොර අස්සෙන් බැහැල ගියා කියා පේන්නෙ නැහැ. සමහරුනට රැල්ල බහිනවා පෙනිලා. අපි දකින්නෙ අපි බලන ආකාරයට. අපි බලන්නෙ අපි දකින ආකාරයට.

 

"දැන් නැවතත් ගෝඨාභයට.  ජාතිකවාදීන් ජනාධිපති ධුරයට ගෝඨාභය ඉදිරිපත් කළා අනෙක් රාජපක්‍ෂලා විරුද්ධ වුණා. ජාතිකවාදීනුත් අත හැරියෙ නැහැ. අන්තිමේ දි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙ දි මහින්ද රාජපක්‍ෂ විශාල පිරිසක් මධ්‍යයේ තම සහෝදරයා ජනතාවට භාර දුන්නා. ඔහු එයින් කිවුවෙ සහෝදරයා අත හැරිය බව ?"

 

මා හිතන්නෙ නැහැ ගෝඨාභය ඉදිරිපත් කිරීම ගැන අනෙක් රාජක්‍ෂලාගෙ කිසිම කැමැත්තක් තිබුණා කියා. ඔවුන්ගෙ බලාපොරොත්තුව තිබුණෙ බැසිල් වෙන්න ඕන කියා මා හිතනවා. බැසිල්ට බැරි නම් සුවච රාජපක්‍ෂ හිතවාදියකු.  නාමල් ගැන මතු බලාපොරොත්තු ඇතුව. අදත් ඔවුන් වැඩ කරන්නෙ නාමල් ගැන බලාපොරොත්තුවෙන්. සමහර විට රනිලුත් ඔහුට පක්‍ෂ ඇති. රුවන් විජේවර්ධන ගැන කිසිම දේශපාලනික බලාපොරොත්තුවක් කිසිවකුට මේ වන විට තියෙන්න  බැහැ.

 

අද නායකත්ව ප්‍රශ්නයක් තියෙනවා. රනිල් බැසිල් අනුර නාමල් එක පිලක. සජිත් පියාණන්ගෙ පිලේ. වි පෙ කුරුවලු වෙලා වැටිලා. හෙලිකොප්ටරයට නියමුවකු නැහැ. ඒක උඩට ගෙනියන්න කවුරුත් නැහැ. සභාපති මණ්ඩල හොඳයි බුද්ධිමතුන්ගේ වැඩකට නැති සම්මන්ත්‍රණවලට. දේශපාලන පක්‍ෂයකට සභාපති මණ්ඩල හරියන්නෙ නැහැ.   (මතු සම්බන්ධයි)