Main Logo

Friday 3 March 2023

සිංහලෙන් කතා කරන ඉංගිරිසි මධ්‍යම පංතිය

 සිංහලෙන් කතා කරන ඉංගිරිසි මධ්‍යම පංතිය

 

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ හැම රටක ප්‍රෝඩාවක්. ලංකාවෙ ඒක ඉතා ඉහළ තත්වයකට ගෙනැවිත් තිියෙනවා. මේ ප්‍රෝප්‍රෝප්‍රෝඩාව ඇති කරන්නෙ මධ්‍යම පංතිය මුල් කරමින්. මැතිවරණවල දි වැඩියෙන් බලපාන්නෙ මධ්‍යම පංතියෙ ඕනෑ එපාකම්. මධ්‍යම පංතියට තියෙන්නෙ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම්. පහළ මධ්‍යම පංතියට වගේ ඉහළ මධ්‍යම පංතියටත් පොදුයි. මේ මධ්‍යම පංතිය ඇති වුණෙ ඉංගිරිසි ආර්ථික හා නිිදහස් අධ්‍යාපනය සමගින්. නිදහස් අධ්‍යාපනයෙන් වුණෙ මධ්‍යම පංතිය වේගයෙන් පළල් වීමයි.

 

අද අපි හැම දෙයක් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන තත්වයකට පත් වෙලා. මෙලහකටත් පඬි නැට්ටන් වමාල දත කට මැදගෙන ඇති ඔන්න ආණ්ඩුවට කඩේ යනවා කියන්න. ඒකට කමක් නැහැ. ඔවුන්ට තම විරුද්ධකාරයකු ගැන කියන්න තියෙන්නෙ කඩේ යනවා රෙදි හෝදනවා වගේ කතා. පඬිකම ප්‍රදර්ශනය කරන්න ඕන අය දෘෂ්ටිවාද ගැන කතා කරනවා. හරියට ඔවුන් දෘෂ්ටිවාද අත්හැරිය රහතන් වහන්සේ වගේ.

 

හවසට ප්‍රවෘත්ති බලන කොට රටේ යම් තැනක ප්‍රශ්නයක් නම් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් එතැනට ගිහින් සමහරවිට විපතට පත් අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරනවා පෙන්නනවා. ප්‍රශ්න කිරීම් අවසාන වන්නෙ පුද්ගලයන් ආණ්ඩුව (දේශපාලනඥයන් බලධාරීන් නිලධාරීන්) මැදිහත් වී යමක් කරන්න කියන ඉල්ලීමත් සමග. අද රට පරිපාලනය පැත්තෙන් මධ්‍යගත වෙලා. මධ්‍යගතයේ හරි මැද ඉන්නෙ අදාළ ඇමතිවරයා. නිසා තමයි පාරෙ අලුතෙන් බස් ගමනක් පටන් ගත්තත් ඇමතිවරු කිහිප දෙනෙක් මංගල ගමනට සහභාගි වෙන්නෙ.

 

මෙහි මුල තියෙන්නෙ රාජකාරි ක්‍රමය අහෝසි කිරීම කෝල්බෘක් කැමරන් යෝජනා. එකල කුලියට වැඩ නොකළ සිංහලයන් තමන්ගෙ කටයුතු තමන් බලා කියා ගත්ත සිංහලයන් අද කුලියක් නැතුව කිසිම දෙයක් කරන්නෙ නැහැ. වැඩේට වඩා වැදගත් වෙන්නෙ කුලිය. පළමුව කතා කරන්නෙ කුලිය ගැන. වැටුප කියන්නෙත් කුලියක්. කුලී කාරයන් හැම තැන දකින්න පුළුවන්. අද ගුරු "වෘත්තියත්" කුලිය මත පදනම් වෙන්නෙ. අපේ දෙමවුපියන්ටත් උගන්නවට වැටුපක් ලැබුණා. ඒත් ඔවුන් පාසල් වෙලාවෙන් පස්සෙ කරපු කිසිම ඉගැන්වීමකට සතපහක් ගත්තෙ නැහැ. අදත් එවැනි ගුරුවරුන් ඉන්නවා. වගේ එවැනි වෙදමහත්වරුත් ඉන්නවා. ඒත් අද මූලික වශයෙන් ගත්ත ගුරුකම වෙදකම ඊනියා වෘත්තීන් බව පත්වෙලා. අවාසනාවකට හාමුදුරුවරුනුත් ඇතැම් විට මුදල් බලාපොරොත්තු වෙනවා.

 

ඉංගිරිසින් මෙරට මධ්‍යම පංතියක් බිහි කෙළෙ ආර්ථිකය හා අධ්‍යාපනය මගින්. ව්‍යාපාර හැකියාවක් නොතිබූ අය අධ්‍යාපනය මගින් මධ්‍යම පංතියට ඇතුල් වුණා. අප සාමාන්‍යයෙන් නිදහස් අධ්‍යාපනය කියා කියන්නෙ කන්නංගර මහතා ඇති කළ අධ්‍යාපන ක්‍රමයට. එහෙත් නිදහස් අධ්‍යාපනය ඊට කලින් තිබුණා. ස්වභාෂාවෙන් ඉගැන්වූ පාසල්වල. ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගැන් වූ පාසල්වල තමයි මුදල් අය කෙළෙ. අපේ දෙමවුපියන් ඉගෙන ගත්තෙ සිංහලෙන් ඉගැන්වූ පාසල්වල ගාස්තු නොගෙවා. ආච්චි අම්මාත් එවැනි පාසලක උගත්තෙ. ඇගෙ මව ගැහැණු ළමයින්ට ඉහළට ඉගෙනීමක් අවශ්‍ය නැහැ කියා තුන්වැනි පන්තියෙන් හරි හතරවැනි පංතියෙන් හරි පස්සෙ ඇය පාසලෙන් අස් කරගෙන.

 

සීයා තරුණ කල මියගියත් ආච්චි අම්මා බොහොම අමාරුවෙන් ආප්ප පූච්චලා විකුණලා මාමටත් අම්මාටත් උගන්නලා. ආච්චි අම්මාට ගොඩ යෑමේ වුවමනා තියෙන්න ඇති. අප කුඩා කල ඇය අප සමග කී කතාවක් නම් මාමාට ඉංගිරිසි අධ්‍යාපනයක් දීමට ඇයට අවශ්‍ය වූ බවත් එබැවින් එවකට පාණදුරේ ශ්‍රී සුමංගල විදුහලේ විදුහල්පති සිටි ගිණිගේ මහතා හමු වී ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට කටයුතු කළ බවත්. මාමා පසුව කොළඹ කාර්මික විිදුහලට ඇතුල් වී සුදුසුකම් ලබා අධ්‍යාපන අමාත්‍යාශයේ පාසල් ගොඩනැගිලි පරීක්‍ෂකවරයකු බවට පත් වුණා. අම්මා සිංහල පාසල් ගුරුවරියක වුණා. අපේ දෙමවුපියනුත් මාමාත් මා පළමුව තර්ස්ටන් විදුහලටත් පසුව රාජකීය විදුහලටත් යැවුවා. මා අපේ දරුවන් ඉගෙනීමට පිටරට යැවුවා කියා දෙරණේ ඩිල්කාත් 360 නිෂ්පාදකත් වෙනත් බොහෝ දෙනාත් විශ්වාස කරනවා. කෙසේ නමුත් ඔවුන් දැන් උතුරු අමෙරිකාවේ තොරතුරු තාක්‍ෂණ අංශයේ රැකියා කරනවා. දැන් සීයා කෙනකු වූ මට අපේ ආච්චි අම්මා මතක් වෙනවා. ඇය කිසි දිනෙක සාරියකින් සැරසී සිටිනු මා දැක නැහැ. දැනට අවුරුදු පනහකට පමණ පෙර මිය යන තුරුම ඇය ඇන්දේ රෙද්ද  හා කබාකුරුත්තුව ලෙස හැඳින්වුණු අත් දිග හැට්ටය. 

 

මා කිසිවකු විවේචනය කරනවා නො වෙයි. අපේ අධ්‍යාපනයේ අරමුණ ගොඩ ඒම. ආර්ථිකයෙන් වගේ අධ්‍යාපනයෙනුත් මධ්‍යම පාංතික ආකල්ප ලැබෙනවා. අප ජීවත් වන්නේ ආකල්ප සමගයි. අපේ ප්‍රශ්නය අපට ඉන්දියාවට මෙන් අපේ මධ්‍යම පංතියක් බිහි කර ගැනීමට නොහැකිවීම. අපට ඇත්තෙ බටහිරයන්ගෙ මධ්‍යම පංතියක්. මා හිතන්නෙ එයට ප්‍රධාන හේතුව අපට බුද්ධිමය සම්ප්‍රදායක් නැති වීම කියා. ඉන්දියාවෙ බ්‍රාහ්මණයන්ගෙ බුද්ධිමය සම්ප්‍රදායක් තිබුණා. මහායානය බිහිවීමට මෙන් නැතිවීමට හේතු වුණෙ බ්‍රාහ්මණ බුද්ධිමය සම්ප්‍රදාය. ඉංගිරිසින් බුද්ධිමය සම්ප්‍රදායක් නොතිබූ අප තමන්ට අවශ්‍ය ආකාරයට සකස් කළා. අපට ඉංගිරිසි මධ්‍යම පංතියක් ලැබුණා. මධ්‍යම පංතිය ඉංගිරිසියෙන් කතා කිරීම අනිවාර්ය නැහැ.  

 

මේ සමග පළවන්නේ ගුරු වෘත්තීය සටනක්.

 

ලි. 1. මට හදිසියේ මෙටා මිතුරු ඉල්ලීම් රාශියක් ලැබී තියෙනවා. හේතුව මා දන්නේ නැහැ. කෙසේ වෙතත් මා පන්දාහේ සීමාව ආසන්නයේ බැවින් කිහිප දෙනකුගේ ඉල්ලීම් පමණයි ඉටු කරන්න වෙන්නෙ. එමෙන් ඇතැම් මෙටා මිතුරන් ඉවත් කරන්නත් සිදු වෙනවා.

 

ලි. 2. මේ මට වෛද්‍ය රුවන් ජයතුංගගෙන් ලැබුණු ලිපියක්. අනුව විප්ලවයට සිතුවල්ලක් ලිපියේ සංශෝධනයක් කර ඇති. මා දැන සිටි අධ්‍යාපන සුදුසුකම පමණක් සඳහන් කිරීම ගැන මා උගත් වෙදමහතාට මගේ කණගාටුව පළ කරනවා. "මහත්මයානෙනි ඔබගේ ලිපියේ මගේ අධ්‍යාපන සුදුසුකම් නිසි ලෙස සඳහන් කරන්නේ නම් මැනවි (වෛද්‍ය උපාධිය - යූක්‍රයීනයේ) මනෝ විද්‍යා උපාධි - කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ වොෂ්බන් විශ්ව විද්‍යාලයේ, ළමා මනෝ විද්‍යාව පිලිබඳ අධ්‍යනයන් එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයේ)"   

 

මෙය මෙහි පළ කරන්නේ විප්ලවයට සිතුවිල්ලක් ලිපිය දැනටමත් කියවා ඇති අයට උගත් වෙද මහතාගේ සුදුසුකම් දැනගැනීමට සැලැස්වීමට මිස මධ්‍යම පාංතික ආකල්පවලට උදාහරණයක් හැටියට නොවෙයි.