Main Logo

Sunday 12 March 2023

ගෝඨාභයගේ ජයග්‍රහණය

 ගෝඨාභයගේ ජයග්‍රහණය

 

2019 ජනාධිපතිවරණය එළඹෙත් ජාතිකවාදීන් අපේක්‍ෂකයකු ගැන හිතන්න වුණා. ජාතික සංවිධාන රාශියක් තිබුණත් ඒවාහි ප්‍රකාශකයන් ලෙස කටයුතු කරන්නන් තරමට සිටියත් සංවිධානවල සුදුසු අපේක්‍ෂකයකු සිටියේ නැහැ. අවසානයේ දී සිහියට නැගුණේ ගෝඨාභය රාජපක්‍ෂයි. මගේ මතය අනුව නම් රාජපක්‍ෂ පවුලේ වඩාත් ජාතිකත්වයක් ඇත්තේ ගෝඨාභයට. ඔහු ජාතික ඇඳුමවත් කපටි කිට නමින් හැඳින්වෙන ඇඳුමවත් අඳින්නෙ නැහැ. සාටකය පළඳින්නෙත් නැහැ. එහෙත් ඔහුට අනෙක් රාජපක්‍ෂලාට වඩා ජාතිකත්වයක් තිබුණා, තියෙනවා.

 

ජාතිකවාදීන් මට මතක හැටියට කොල්ලුපිටියේ පැවති රැස්වීමක දී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස තෝරා ගත්තා. එයට ඔහුගේත් කැමැත්ත පළවුණා. මා හිතනවා තීරණය නිවැරදි කියා. එහෙත් ඇතැම් ජාතිකවාදීන් දැන් කියන්න පුළුවන් දේශපාලන අත්දැකීම් නැති අයකු තෝරා ගැනීම වැරදි කියා. බණ්ඩාරනායක මැතිණියට වඩා අත්දැකීම් ගෝඨාභය රාජපක්‍ෂට තිබුණා. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සහ තවත් කටයුතුවල දී ඔහු දේශපාලනයෙන් වෙන් වී සිටියේ නැහැ. ආරක්‍ෂක ලේකම් වීම දේශපාලන කටයුත්තක්. කොටි පරාජය කිරීමේ දී නම් ඔහු තීරණාත්මක සාධකයක් වූ බවයි මගේ විශ්වාසය.

 

එහෙත් ඔහුට රාජපක්‍ෂ පවුලේ සහාය ලැබුණේ නැහැ. රාජපක්‍ෂ පවුලට අවශ්‍ය වුණේ බැසිල් රාජපක්‍ෂත් ඉන් පසු නාමල් රාජපක්‍ෂත් බලයට පත් කිරීම. මහින්ද රාජපක්‍ෂට වුවමනාව ආකාරයෙන් තිබුණා දැයි කියන්න බැහැ. ඔහුට දේශපාලනයේ කරන්න පුළුවන් දේ හා බැරි දේ ගැන වැටහීමක් (ඉවක්) දැනුමක් (දැනීමක්) තියෙනවා. සිංහලයන් න්‍යායෙන් නොව ඉවෙන් දැනීමෙන් වැඩ කරන්නන්. දැනීම හා දැනුම යන වචනවල ඇති සමීප භාවය සලකන්න.

 

ගෝඨාභයට රාජපක්‍ෂ පවුලේ විරෝධය තදින් තිබුණා. එහෙත් ජාතිකවාදීන් තම ස්ථාවරයේ දැඩි සිටියා. අවසානයේ දී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති රැස්වීමක දී මහින්ද තම සොහොයුරා ජනතාවට භාර කළා. ගෝඨාභයට සිංහල ඡන්දවලින් පමණක් වුවත් ජයග්‍රහණය කිරීමට හැකි බව ජතිකවාදීන් දැන සිටියා. පනස්හයෙන් පසු ජාතිකත්වය මතු වී ඇත්තේ 2005 දී හා 2019 දී. ඉනුත් 2019  දී පනස්හයේ දීටත් වඩා නැගිටීමක් තිබුණා.

 

පනස්හයේ පිටරට සිටි අයට වඩා ජාතිකත්වයක් 2019 පිටරට සිටි අයට තිබුණා. ඒත් අර මධ්‍යම පාංතික කොටසක් තමයි. ඔවුන් ගෝඨාභයට ඡන්දය දීම සඳහා ලංකාවට ආවා. අවසානයේ දී ගෝඨාභය රාජපක්‍ෂ සිංහල ඡන්දවලින් පමණක් ජය ගත්තා. සිංහල නොවන ඡන්දත් ලැබෙන්න ඇති. හැටනව ලක්‍ෂයක් ඔහුට ඡන්දය දී තිබුණා.

 

සිංහල විරෝධීන් විශේෂයෙන් සිංහල බෞද්ධ විරෝධීන් ජයග්‍රහණයෙන් තැති හත්තා. නන්දිකඩාල් පරාජයෙන් පසු ඊනියා යහපාලන ආණ්ඩුවක් අටවා ගත් බටහිරයන් හා ඉන්දියාව ගෝඨාභය ඉවත් කිරීමට සැලසුම් කෙළේ ඔහු ජයග්‍රහණය කිරීමටත් පෙර වෙන්න ඕන. ඔවුන් නොදැන සිටින්න විධියක් නැහැ ගෝඨාභය ජයග්‍රහණය කරන බව.

 

බටහිරයන් ඉන්දියානුවන් හා මෙරට සිංහල බෞද්ධ විරෝධීන් ගෝඨාභය බලයට පත් වී වැඩිකල් යෑමට පෙර තම සැලැස්මට අනුව වැඩ කරන්න පටන් ගත්තා. කොවිඩ් ඇති වුණේ මෙයට අවුරුදු තුනකට පෙර 2020 මාර්තුවේ. එහෙත් එයට පෙර සර් ෆේල් ව්‍යාපාරය පටන් ගැණුනා. ව්‍යාපාරය පටන් ගත් අය දන්නවා ඇති සැලැස්මේ යම්කිසි කොටසක්. ඔවුන්ට කොවිඩ් දෙවියන් දීපු දෙයක් වුණා.

 

කොවිඩ් සමග රටට ලැබෙන ඩොලර් අඩු වුණා. සංචාරක ව්‍යාපාරය කඩා වැටුණා. මදිවාට  විදෙස්ගත ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ උන්ඩියල් හවාල් ක්‍රම හරහා ලැබෙන්න පටන් ගත්තා. උන්ඩියල් ව්‍යාපාරයෙහි යෙදෙන්නන් මෙරටින් අපනයනය කරන භාණ්ඩ සඳහා ලැබිය යුතු ඩොලර් පිටරටවල තැන්පත් කර උන්ඩියල් ව්‍යාපාරය ජයට කරගෙන ගියා. නිසා දෙයාකාරයකින් රටට පාඩු වුණා. බව දවස්වල සඳහන් කර ඇති.

 

අද වන විට තවත් ආකාරයක පාඩුවක් වෙන බව කියැවෙනවා. ඉන්වොයිසි මිල අඩු වැඩි කිරීමෙන්. මේ සියල්ලන්ගෙන් වන ඩොලර්  නොලැබීම වත්මන් විදේශීය ණයට වැඩි බවයි කියැවෙන්නේ. එය එසේ වුවත් එසේ කරන්නන්ට පමණක් ඇඟිල්ල දික් කරන එක වැරදියි. මූලික වැරුද්ද අපේ. අපි මධ්‍යම පාංතික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ආදායමට වඩා වියදම් කර තියෙනවා. අවුරුදු හැත්තෑවක් පමණ. අපේ ප්‍රශ්නය අවශ්‍යතා තීරණය කරන්නෙත් සපයන්නෙත් බටහිරයන් වීම. මධ්‍යම පංතියට බටහිරයන් නියම කරන අවශ්‍යතා කොහොම හරි සපුරාගන්න ඕන.

 

එයට හොඳ උදාහරණය තමයි මේ දිනවල බදු වැඩි කිරීම සම්බන්ධයෙන් කෙරෙන කතා බහ. ළක්‍ෂ දෙක තුන වැටුප් ගන්න අය ණය කැපුණ අතට එන්නෙ වැටුපෙන් බොහො ටිකයි කියනව. ඒකෙන් කන්න බොන්න පුළුවන් කියන ප්‍රශ්නෙ හිතට එනවා. ණය අරගෙන තියෙන්න මොනවට කියලත් කිවුව නම් තමයි හොඳ. අපේ රටටත් වෙලා තියෙන්නෙත් මූලික වශයෙන් ඒක තමයි. අපි  අවශ්‍යතා කියල අනවශ්‍යතා ණය අරන් පොදි බැඳගෙන.