Main Logo

Wednesday 1 June 2016

මහ ඇමතිට පොලිස් බලතල

මහ ඇමතිට පොලිස් බලතල

නැගෙනහිර පළාතේ මහ ඇමති හා උතුරු පළාතේ මහ ඇමති විග්නේශ්වරන් කටයුතු කරන ආකාරයෙන් තවදුරටත් පැහැදිලි වන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා පනත අහෝසි කළ යුතු බවයි. මෙහි දී පැහැදිලිව කිවයුතු කරුණ නම් ඒ සංශෝධනය හා පනත අහෝසි කළ යුත්තේ මහ ඇමතිලාගේ ක්‍රියා කලාපය නිසා නොවන බවය. ඒවා අහොසි කළ යුත්තේ ඒ නැති ප්‍රශ්නයකට ඊනියා විසඳුම් ලෙස එංගලන්තයේ අනුග්‍රහයෙන් ඉන්දියාව අප මත පැටවූ නිසාත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඒ කිසිවකට දේශපාලනික වශයෙන් වලංගුබවක් නැති නිසාත්. මහ ඇමතිලාගේ ක්‍රියාවලින් සිදුවන්නේ ඒ නිගමනය තහවුරු කිරීමක් පමණයි. 


අප  සංකල්ප පටලවා ගත යුතු නැහැ. මා සාමාන්‍යයෙන් පටලවා ගන්නෙත් නැහැ. මා බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියල කියන්නෙ ඒකෙ තේරුම හරිහැටි දැනගෙන. ඇතැම් පඬියකු එය බටහිර විද්‍යාව නොව විද්‍යාව හැටියට අරගෙන එයින් විජ්ජා යන්න කියැවෙනවයි කියල විජ්ජා බුදුදහමට සම්බන්ධකරල අමුතු කතාවක් කියන්න හදනවා. මොවුන්ගේ අවශ්‍යතා හා ව්‍යාපෘති ගැන මා හොඳින් දන්නවා. බටහිර විද්‍යාව මිස විද්‍යාව පට්ටපල් බොරුය කියල මා සඳහන් කරල නැහැ. ඒ කියන්නෙ බටහිර විද්‍යාව හැරෙන්න අනෙක් දැනුම් ඇත්ත කියන එක නෙවෙයි. පෘථග්ජනයන් හැටියට අප කියන හැම දෙයක් ම බොරුයි කියල බුදුදහමෙ සඳහන් වෙනවා. බුදුදහමෙ විජ්ජා කියන්නෙ බුදුහාමුදුරුවන්ගෙ විජ්ජාචරණ සම්පන්න ආදී වශයෙන් කියන තැන්වල. මා හිතන්නෙ නැහැ ඒ පඬියා හැරෙන්නට අනෙක් අයට බටහිර විද්‍යාව පට්ටපල් බොරූය කියන එක තේරුම් ගන්න බැරි වුනා කියලා. පඬියාගේ කතාවල ඇති පරස්පර ලියන්න ගියොත් වෙනත් දෙයක් ලියන්න හම්බවෙන්නෙ නැහැ. ඒත් යක්‍ෂ ජනතාවගේ වචනයක් වූ සෙප්පඩ විජ්ජා අද ව්‍යවහාර වන අර්ථයෙන් ගෙන පඬියන්ගෙ සෙප්පඩ විජ්ජා ගැන නම් පසුව කතාකරන්න වේවි.

කොහොම වුණත් මේ ලිපිය කියවන සාමාන්‍ය අයකු මා දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා අහෝසි කළ යුතු ය කියල කියන්නෙ මහ ඇමතිලාගේ ක්‍රියාවන් නිසා කියල නිගමනය නොකරාවි. ඒත් පඬියන් නම් එසේ කිරීමට ඉඩ තිබෙනවා. ඒ සියල්ල නන්දිකඩාල් ජයග්‍රහනයෙන් පස්සේ දේභපාලනික ව අහෝසි වුනත් අපට එය නීති පොතට ඇතුල් කරන්න බැරිවුනා. එය මහින්දගේ වරදක් නිසා සිදුවූවක් නොවෙයි. අප කිසිවකුට ඒ අවස්ථාවෙදි ඒ බවක් මතක් වුනේ නැහැ. ඊට පස්සෙ නම් හුඟ දෙනෙක් ඒ බව කියන්න පටන්ගත්ත. ඒත් එතකොට පෙරහැර ගිහිල්ල. ඒ වුනත් දැන් ඒ වෙනුවෙන් උද්ඝෝෂණයක් පටන් ගෙන තිබීමේ වරදක් මා දකින්නේ නැහැ. 

විග්නේෂ්වරන් කඳවුරු අයින් කරල ඒ ඉඩම් බෙදාදෙන්න කියල ඉල්ලනවා. සම්බන්ධන් අවසර නැතිව හමුදා කඳවුරකට ඇතුල් වෙලා කිසිම වරදක් නොකළ අයකු ලෙස ඉන්නවා. නිවට ආණ්ඩුව ඔහු ආරක්‍ෂා කරනවා. අහමඩ් තමන්ගෙ ආණ්ඩුකාරයාටත් නාවික හමුදා නිලධාරියකුටත් තර්ජනය කරනවා. මහ ඇමතිලට පොලිස් බලතල දුන්නොත් කොහොමට තියේවිද? පනත අනුව පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වැඩ කරන්නේ පළාතෙ මහ ඇමති යටතෙ. ආණ්ඩුවට ඉහළින් මහ ඇමති නියෝජ්‍ය පොලිස්පතිට අණ දේවි. විශේෂ කාර්ය බලකායට මහ ඇමති කියන ආකාරයට කටයුතු කරන්න වේවි. ත්‍රස්තවාදීන්ට පොලිස් ආරක්‍ෂාව උතුරු හා නැගෙනහිර පළාත්වල මහ ඇමතිල දේවි. 

පනතෙ මේ කාරණා තිබුනත් ඒවා ක්‍රියාත්මක කෙරෙන්නෙ නැහැ. දෙමළ ජාතිවාදීන් ඉල්ලන්නෙ ඒ ක්‍රියාත්මක කරන ලෙසයි. ආණ්ඩුවෙ ඉඩම් අයිතිය පිළිබඳ ව නඩු තීන්දුවක් තිබෙනවා. ඒත්  ඒක පනතකින් සම්මත කළ යුතුයි. නඩු තීන්දුව කාට හරි අභියෝගයට ලක්කරන්න පුළුවන්. 

මේ සියල්ල අපට ජයගත හැකියි. පළමුව සිංහල බෞද්ධයන්ගෙන් 75%ක්වත් එකතු කර, ඒ සමග ම මෙන් සියළු සිංහලයන්ගෙන් අති විශාල පිරිසක් ද ඊනියා අඩුකුල දෙමළ ජනයා ද එකතු කරගන්න පුළුවන් නම් ඒ ප්‍රශ්නයක් වන එකක් නැහැ. 

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා 

2016 ජූනි 01