Main Logo

Monday 27 June 2016

බුදුදහම පාවාදීම

බුදුදහම පාවාදීම

මේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ  ස්ටැන්ලි තම්බයියා  බුඩිසම් බිටේ‍ර්ඩ්  නමින් ලියූ පොත ගැන නොවෙයි. ඒ පිළිබඳව ඒ දිනවල ම ඉහත සඳහන් නමින් ම පොත් පිංචක් පළ කළා. බොහෝ දෙනකුට ඒ බව මතක නැතිව ඇති. කොහොමත් සිංහල බෞද්ධයන් සාමූහික ව ජීවත්වන්නේ වර්තමානයේ. එහෙත් පෞද්ගලික ව නම් අතීතයේත් අනාගතයේත් ජීවත්වෙනවා. තම්බයියා යනු යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් යොදාගනු ලැබූ දෙමළ ක්‍රිස්තියානි උගතෙක්. ඔවුන් විසින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ ගණනාථ ඔබේසේකරවත් යොදා ගනු ලැබුවා. ඔහු මා දන්නා තරමින් නාමිකවවත් සිංහල බෞද්ධයෙක්. සිංහල බෞද්ධ ද දෙමළ ක්‍රිස්තියානි ද භේදයකින් තොරව ඔවුන් යොදා ගැනුණේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව.


මේ ලිපියෙහි සඳහන් බුදුදහම පාවාදීම මෙවැනි මහාචාර්යවරයකුගේ වැඩක් නෙවෙයි. ඔහු සිංහල බෞද්ධයකු නූනත් බෞද්ධයෙක්. ටිබැට් බෞද්ධයෙක්. නමින් දලයි ලාමා. ඇමරිකානුවන් ඔහු හඳුන්වන්නේ දහහතරවැනි දලයි ලාමා නමින්. බටහිරයන් අපට වඩා නිශ්චිත ව යමක් ප්‍රකාශ කරනවා. මේ දලයි ලාමාට කලින් තවත් දලයි ලාමාලා හිටි බවත් දලයි ලාමා යන්න එවිට නිශ්චිත ව්‍යවහාරයක් නොවන බවත් ඔවුන් දන්නවා. බැරි වෙලාවත් අප විශ්වාස කරන අන්දමට බුදුන්වහන්සේලා මින් පෙර ද වැඩ විසූ බව බටහිරයන් යම් ක්‍රමවෙිදයකින් දැනගතහොත් ඔවුන් බුදුන් වහන්සේ හඳුන්වනවා ඇත්තේ විසිඅටවැනි හෝ වෙනත් සංඛ්‍යාවකින් හෝ කියැවෙන බුදුන් වහන්සේ ලෙස. බටහිරයන්ගේ සිතුම් පැතුම්, චින්තනය අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෝ මටත් දැන් ඔවුන්ගේ චින්තනය තේරෙනවා. ඇංග්ලො සැක්සන් සංස්කෘතිය තව පිම්මක් පැනීමට ලැහැස්ති වෙන බව එංගලන්තෙ ජනමතවිචාරණේට කලින් ම තේරුම් ගන්න පුළුවන් වුනා.  

ඇමරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ ඩේවිඩ් බැරැෂ් නම් යුදෙවු ජන වාර්ගිකයා ලියූ බුඩිස්ට් බයොලොජි නම් පොතේ දලයි ලාමා (අපි අපට පුරුදු විධියට අර දහහතර විශේෂණය අයින් කරමු) ගැන වර්ණනා කරනවා. ඔහු දලයි ලාමාගේ ප්‍රකාශයක් ගැන කියනවා. ඒ අනුව දලයි ලාමා (බටහිර) විද්‍යාව හා බුදුදහම අතර වෙනසක් ඇත්නම් හා (බටහිර) විද්‍යාව ඒ සත්‍ය බව ඒකාන්ත ව කියන්නේ නම් අප (බටහිර) විද්‍යාව  පිළිගත යුතු යැයි කියා තිබෙනවා. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි සුදු ඇංග්ලො සැක්සන් ප්‍රොතෙස්තන්ත සංස්කෘතිය දලයි ලාමා යොදා ගන්නවා තම මතවාදී ආධිපත්‍යය තහවුරු කරගැනීමට. දලයි ලාමාට අනුව අයින්ස්ටයින්ලා බුදුන්වහන්සේට උඩින් ඉන්නවා! විද්‍යාත්මක බුදුදහම ගොස් ඇති දුර කොතරම් ද? බැරැෂ් සහ ඇමරිකන් බෞද්ධයන් යැයි කිවහැකි අය පටිච්චසමුප්පාදය දකින්නේත් ද්‍රව්‍ය ලෝකයේ හා මනසේ සහසම්බන්ධයක් ලෙස. මේ ගැන අප පසුව තවදුරටත් කතා කරමු. සිංහල බෞද්ධයන් යැයි කියන විද්‍යාඥයන් ඉංජිනේරුවන් ආදීන්ගෙන් කිහිප දෙනකුවත් බැරැෂ්ගේ පොත වර්ණනා කරනවා!

මා බැරැෂ්ගේ පොත කියවා තරමක් කල්ගත වූ නමුත් දලයි ලාමාගේ ප්‍රකාශය සම්පුර්ණයෙන් කියවා තිබුණේ නැහැ. මට මිතුරකු මගින් ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන් ලැබුණා. එය පළවී ඇත්තේ දලයි ලාමාගේ ද යුනිවර්ස් ඉන් අ සිංගල් ඇටම්ඃ ද කොන්වර්ජන්ස් ඔෆ් සයන්ස් ඇන්ඩ් ස්පිරිචුයැලිටි හෙවත් විශ්වය තනි පරමාණුවක ඃ විද්‍යාවේ හා ආධ්‍යාත්මිකතාවේ අභිසරණය (එක්වීම) නම් පොතෙහි. ඒ ප්‍රකාශයෙහි කියැවෙන පාවාදීම ඒ අයුරින් ම දැනගැනීම අවශ්‍ය නිසා මා එය ඉංගිරිසියෙන් ම පළකරනවා.“If scientific analysis were conclusively to demonstrate certain claims in Buddhism to be false, then we must accept the findings of science and abandon those claims.” 

දලයි ලාමා සුදු ඇංග්ලො සැක්සන් ප්‍රොතෙස්තන්ත ආධිපත්‍යයට කෙතරම් යට වී ඇත් ද? ඔහු කියන ආකාරයට බුදුදහම වැරදි විය හැකියි. බටහිර විද්‍යාත්මක විශ්ලේෂණයෙන් බුදුදහමෙහි ඇතැම් ඉගැන්වීම් අසත්‍ය යැයි ඒකාන්ත වශයෙන් පෙන්නුම් කෙරෙන්නේ නම් අප බටහිර විද්‍යාව පිළිගෙන බුදුදහමෙහි අදාළ ඉගැන්වීම් අත්හැරිය යුතු යි. මෙහි දී පඬියකු බටහිර විද්‍යාවේ ඒකාන්ත වශයෙන් යමක් පෙන්නුම් නොකරන්නේ යැයි කියමින් දලයි ලාමා බේරා ගැනීමට තැත් කරාවි. ඒත් ඒ පඬියන්ට අනුවත් බටහිර විද්‍යාව සත්‍යය කරා ළඟා වෙනවා. දලයි ලාමා කළ යුත්තේ සත්‍යය සෙවීමට හෝ එයට ළඟාවීමට හෝ සිවුර පැත්තකින් තබා බටහිර විද්‍යාඥයකු වීමයි. බැරි නම් අඩුම තරමෙන් බටහිර ඊනියා විද්‍යා ලේඛකයකු වීමයි. එහෙත් එසේ කළ සැණින් බටහිරයන් ඔහු අත්හරීවි. ඔහුට කලිසමක් ඇඳගෙන ඉන්දියාවේ, යුරෝපයේ හා ඇමරිකාවේ පයිසයක් හෝ පැන්සයක් හෝ නොවටිනා මිනිසකු විය හැකියි. දලයි ලාමා බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව දැන සිටියේ නම් මේ තුට්ටුවක් නොවටිනා ප්‍රකාශය නොකරන්න තිබුණා. ස්වදේශික ඇමරිකානුවන්ගේ (රතුත් නැති ඉන්දියානුවනුත් නොවන ඊනියා රතු ඉන්දියානුවන්) සිහින මගින් දැනුම ලබාගත් වැඩිහිටියන් තම ආධ්‍යාත්මිකතාව දලයි ලාමා කර ඇති ආකාරයෙන් පාවා නොදෙන බවට සැකයක් නැහැ. මෙයින් දලයි ලාමාගේ දේශපාලනික බංකොලොත් බව ද පෙන්නුම් කෙරෙනවා. අපේ විද්‍යාත්මක බෞද්ධයන්ටත් අන්තිමේ දී සිද්ද වෙන්නෙ බුදුදහම අත්හරින්න.

අමෙරිකාවෙ වැඩිපුර තියෙන්නෙ මහායාන බුද්ධාගම. ඉනුත් ටිබැට් තන්ත්‍රයානය. සෙන් බුද්ධාගමත් තරමක් තියෙනවා. ඒත් මේ ඔක්කොම ගත්තත් ඉතාමත් ටිකයි. ථෙරවාදය තියෙන්නෙ සිංහල හා අනෙක් ථෙරවාදී පන්සල්වල හා යුදෙවු බුද්ධිමතුන් ඉතාමත් ටික දෙනකු අතර පමණයි. මහායාන කතාවලට බටහිරයන්ගෙ ආකර්ෂණයක් තියෙනවා. මේ වෛදික කතාවලින් ගලා එන දේ. බටහිර විද්‍යාවට ඊනියා යථාර්ථය කියන සංකල්පය අවශ්‍යයි. එය වෛදික කතා මගින් මහායානයෙන් ලබාගන්න පුළුවන්. බ්‍රහ්මන් මොනයම් ආකාරයකට හරි ඊනියා යථාර්ථය සමග ගැලපෙනවා. දලයි ලාමාගේ විශ්වය තනි පරමාණුවක යන්නෙන් කියැවෙන්නේත් එයයි. බටහිරයන් තියරි ඔෆ් එව්රිතින් හෙවත් සියල්ල පිළිබඳ ප්‍රවාදයක් හොයන්නෙත් ඒ අරුතෙන්. ථෙරවාදයටත් යථාර්ථය කියන සංකල්පය ඇතුල් කරන්න ඇංග්ලො සැක්සන් ආධිපත්‍යයට යටවූ උගතුන් වෑයම් කරනවා. ඔවුන් රහතන් වහන්සේ අවබෝධ කරගත් යථාභූත යන්න පෘථග්ජන යථාර්ථ සංකල්පයක් බවට පත්කරන්න උත්සාහ ගන්නේ ථෙරවාදයත් ඇංග්ලො සැක්සන් ආධිපත්‍යයට යට කිරීමටයි. දලයි ලාමා මෙන් බුදුදහම පාවාදීමට අපට අවශ්‍ය නැහැ.   




මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

නලින් ද සිල්වා

2016 ජූනි 27