Main Logo

Sunday 26 June 2016

ඩබ් ඒ එස් පී ලෝක ආධිපත්‍යය

ඩබ් ඒ එස් පී ලෝක ආධිපත්‍යය

මේ අපේ රටේ සහකාර පොලිස් අධිකාරී තනතුරක් හඳුන්වන ඉංගිරිසි අකුරු හතරක් සිංහලෙන් ලියා ඇති ආකාරය නෙවෙයි. ඇමරිකන් ස්වදේශිකයන් ඔය ඉංගිරිසි අකුරු හතරෙන් කියැවෙන අය හා ඒ සම්බන්ධ කතාව, ඕන නම් සංසිද්ධිය ගැන හොඳින් දන්නවා. එහෙත් ඒ වියුක්ත සංකල්පයක් හැටියට නොවෙයි. ඇතැමුන් ද හොඳින් දන්නා පරිදි මේ අකුරුවලින් ඉංගිරිසියෙන් කියැවෙන්නේ වයිට් ඇංග්ලො සැක්සන් ප්‍රොටෙස්ටන්ට් යන්නයි. එනම් සුදු ඇංග්ලො සැක්සන් ප්‍රොතෙස්තන්ත කියන්නයි. අපට ඕන නම් ඒ එස් පී සුද්දන් කියලත් කියන්න පුළුවන්. අප ඇංග්ලො සැක්සන් සංස්කෘතියේ ආරම්භය ගැන ඊයේ ටිකක් කතාකළා. අද තවදුරටත් ඒ ගැන කතාකරමු. 


එහෙත් එයට පළමුව ඇමරිකාවේ ස්වදේශිකයන් මේ සංස්කෘතිය පිළිබඳ ව හිතන ආකාරය ගැන යමක් කියන්න ඕන. ඒක අපේ වියුක්ත සංකල්පවලට වඩා වැදගත්. ඔවුන් බොහෝ දේ දැනගෙන තියෙන්නෙ සිහින මගින්. අප මෙයට ආධ්‍යාත්මිකතාවක් කියලා කියමු. මේ අධ්‍යාත්මය දියුණු කිරීමෙන් ලැබෙන තත්වයක්. සිත දියුණු කිරීම ලෙසත් එය හඳුන්වන්න පුළුවන්. භාවනාව, යෝග අභ්‍යාස ආදී විවිධ ක්‍රමවලින් ඒ කළ හැකියි. මේ හැම ආධ්‍යාත්මිකතාවක ම මොකක් නමුත් දර්ශනයක්, දැකීමක් තියෙනවා. නිවන් අවබෝධය එයට වෙනස්. ඒ දැකීමක් දර්ශනයක් නැතිව කෙරෙන අවබෝධයක්. විදර්ශනා භාවනාව යන්නෙහිත් එවැනි තේරුමක් තියෙනවා කියලා මට හිතෙනවා.

කොහොම වුනත්  ඇමරිකාවේ ස්වදේශිකයන් අතර ඇතැම් වැඩිහිටියන්ට යම් ආකාරයක ආධ්‍යාත්මික ශක්තියක් තිබුණ කියලා හිතන්න පුළුවන්. ඔවුන්ට සිහින මගින් යම් යම් දේ දැකීමේ ශක්තිය තිබිලා තියෙනවා. මේ වැඩිහිටියන් සුද්දන් තම භූමියට එන බව සිහිනෙන් දැක තිබෙනවා. ඒ දැනුම ලබාගැනීමේ එක ක්‍රමයක්. ස්වදේශික ඇමරිකානුවන් සුද්දන් (කොලම්බස්ගෙන් පසු පැමිණි විවිධ සුද්දන්, ඉංගිරිසි, ස්පාඤ්ඤ, පෘතුගීසි, ප්‍රංශ ආදීන් පමණක් නොව එයට පෙර දොළොස්වැනි සියවසේ පමණ හමු වූ වයිකින්ග්වරුන්) ගැන කියා ඇති දේ කෙනකුට ජීවිත කාලයක් අධ්‍යයනය කරන්න පුළුවන්. 

මෙහි දී කිවයුතු වැදගත් කරුණක් තියෙනවා. බෞද්ධ පොතපතට අනුව ක්‍රි ව 458 දී චීන බෞද්ධ භික්‍ෂූන් වහන්සේ පස් නමක් ඇමරිකාවට වැඩම කර තිබෙනවා කියලා මේ ස්වදේශිකයන් ගැන ලියලා තියෙන එක පොතක කියැවෙනවා! උන්වහන්සේ මෙක්සිකෝවට හෝ ගෝතමාලාවට හෝ වැඩම කර ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. ලංකාවටත් වැඩම කළ ෆා හියන් හාමුදුරුවන්ගේ සංචාර ක්‍රි ව 399-412 කාලයේ සිදුවුනු බවයි කියැවෙන්නේ. ලංකාව හා රටවල් කිහිපයක් හැරෙන්නට සෙසු ලෝකයට බෞද්ධ පණිවුඩය රුචි නොවීම අපි පසුව කතාකරමු. කොහොමටත් මේ රුචි වූ රටවල් කිහිපය අතර ප්‍රධාන රට ලංකාව. ලංකාව ගැන ඒ එස් පී සුද්දන්ට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක. ඇංග්ලො සැක්සන් ප්‍රොතෙස්තන්තයන්ට මිසක් වයිකින්ග්වරුන්ට ලෝක ආධිපත්‍යයක් නොලැබුණේ ඇයි ද යන්නත් කල්පනා කළ යුතු හොඳ ප්‍රශ්නයක්. සොල්හයිම්ලා වයිකින්ග්ලගෙන් පැවත එන්නන්. අයකුට කියන්න පුළුවන් නෝමන්වරුන් මගින් වයිකින්ග්වරුන් ලෝක ආධිපත්‍යයක් පිහිටුවා ගත්තා කියලත් 1066 හේස්ටිංග්ස් සටන ජයග්‍රහණය කිරීම එහි මුල කියලත්.  

ස්වදේශික ඇමරිකානුවන් සුද්දන්ට අයිතිකරගැනීමට තිබූ ඇල්ම රෝගයක් ලෙස හැඳින්වූ බව කලින් දවසෙ සඳහන් කළා. සුද්දන් ගැන ඔවුන් කී තවත් දෙයක් නම් සුද්දන් හේතු සොයන්නන් කියලයි. සුද්දන් හැම තිස්සෙම හේතු සෙවීම ස්වදේශික ඇමරිකානුවන්ට තේරුණේ නැහැ. ස්වදේශිකයන් තේරුම් ගත්තේ වෙනත් ආකාරවලින්. හේතුවක් ඇත්නම් පමණක් යමක් තේරුම් ගත්තා සේ සැලකීමට සුද්දන් පුරුදු වී සිටියා. යමක් මගේ හිතට දැනෙන විධිය කියලා හරි මට හීනෙන් පෙනිච්ච විධිය හරි කියලා සුද්දන් කියන්නෙ නැහැ. හේතු හොයන එකේ වැරුද්දක් නැහැ. එහෙත් ඒක යමක් දැනගන්න තිබෙන එකම විධිය නෙවෙයි. ලංකාවෙ ඉන්න හේතුවාදී පඬියන්ට මේව තේරෙන්නෙ නැහැ. කාලාම සූත්‍රයට අනුව නම් හේතුවක් තිබීම නිසා පමණක් යමක් පිළිගැනීමට බැහැ. හේතුවාදීන්ට කාලාම සූත්‍රය තේරෙන්නෙ නැහැ.  ස්වදේශික ඇමරිකානුවන්ට අනුව සුද්දන් හැම එකක් ම මැන්නා, කාලයත් මැන්නා. මේ ස්වදේශික ඇමරිකන් ක්‍රමය නොවෙයි. 

ඇංග්ලො සැක්සන්වරුන් ප්‍රෙතෙස්තන්ත වුනේ ක්‍රි ව 1509 –- 1547 රජකළ අටවැනි හෙන්රිගෙ කාලෙ. එයට හේතුව ලෙස සලකන්නේ විවාහකයකු වූ හෙන්රි දික්කසාද වී ඈන් බොලින් විවාහ කර ගැනීමට පාප්තුමා අවසර නො දීම (හෙන්රි ඈන්ගෙන් පස්සෙත් තවත් විවාහ කිහිපයක් ම කරගත්තා). ඒත් ඒක එහෙම ම වෙන්න බැහැ. මේ කාලෙ වන විට එංගලන්තයටත් මාටින් ලූතර්ලාගෙ අදහස් පැතිරිලා. ලූතර් 1517 දී තම ප්‍රවාද (තීසීස්) අනූපහ නමින් හැඳින්වෙන කෘතිය පළකළා. ලූතර් ඒ දවස්වල ජර්මනියෙ සැක්සනියෙ (එංගලන්තයට පස්වැනි සියවසේ ගිය සැක්සන්වරු ක්‍රි ව 200-700 කාලයෙහි මේ ප්‍රදේශය අත්කරගෙන හිටියා) පූජකවරයෙක්. ඔහු පාප්වහනේසේගේ ක්‍රියා ප්‍රශ්න කළා. ලූතර්ගේ කාලෙ සැක්සනිය අයිතිවෙලා තිබුනෙ රෝම අධිරාජයාට. එකල පාප්තුමාට අනුව දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය පමණක් මදි. යහපත් වැඩත් කළ යුතුයි. මේ යහපත් වැඩ අතර පල්ලියට මුදල් පරිත්‍යාග කිරීමත් තිබුණා! ලූතර් මේවා ප්‍රශ්න කළා. දෙවියන් වහන්සේ සමග පෞද්ගලික ව සම්බන්ධ විය හැකි යැයි ඔහු කියා සිටියා. ලූතර් නියෝජනය කෙළේ පහළොස්වැනි සියවස අග ඉතාලියේ ඇරඹුණු චින්තන විප්ලවය. එහි සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ඉස්මතු කෙරුණා. එහෙත් ලූතර් හේතුවාදියකු නොවෙයි. ඔහු එක්තරා ආකාරයකින් භක්තිවාදයකු වූවා. ඔහු කියා සිටියේ දෙවියන් වහන්සේ ගැන හේතු නොඅසන ලෙසයි.

මේ අදහස් ඇන් බොලින් 1533 සිදු කෙරුණු තම විවාහයට පෙරත් දැනගෙන සිටි බව කියැවෙනවා. ඒ කියන්නෙ එංගලන්තෙ රජමාළිගාව ඇතුළෙත් මේ රෙපරමාදු (ප්‍රතිසංස්කරණ) නැත්නම් එංගලන්තෙ දි  ප්‍රොතෙස්තන්ත (විරුද්ධ) අදහස් තිබුණා කියන එක. ඇය හෙන්රි වෙනස් කරන්නත් ඇති. කැන්ටබරියේ බිෂොප් පදවියට නම් කිරීමේදීත් ඇය බලපෑම් කර තිබෙනවා. ඉංගිරිසි ඉතිහාසයෙ මේ කාල පරිච්ඡෙදය ඉතා වැදගත්. වුල්සි කාදිනල්, ක්‍රොම්වෙල් ආදීන්, පාර්ලිමේන්තු බලය ගැන කියැවෙනවා. හෙන්රි අයර්ලන්තයේ පළමු ඉංගිරිසි රජු. වේල්සය නෛතිකව ඈඳාගත්තේත් මේ කාලයේ. කතෝලික පල්ලියෙන් කැඩී හෙන්රි එංගලන්ත සභාව පිහිටුවා. විවිධ පණත් මගින් සභාව හැඩගැස්සුවා. එංගලන්ත සභාවේ ප්‍රධානියා කැන්ටබරියේ ආච් බිෂොප්  නෙවෙයි. ඒ එංගලන්තයේ  රජු. අදටත් එසේමයි. රජු භක්තියෙහි ආරක්‍ෂකයා. මා අවුරුදු අටේ පමණ කාලයේ පාසලෙන් අප රැගෙන ගියා  එලිසබෙත් රැජනගේ මෞලි මංගල්‍යය පිළිබඳ චිත්‍රපටිය බැලීමට. ඇය මෞලි මංගල්‍යය සඳහා වෙස්ට්මිනිස්ටර් පල්ලියට එනවිට බිෂොප්ලා නැගිටනවා දැක මට පුදුම හිතුනා. අපේ හාමුදුරුවරුන් අගමැතිටවත් වෙනත් කාටවත් එහෙම නැගිටින්නේ නැති නිසා. 

අටවැනි හෙන්රිගේ කාලයේ තමයි වර්තමාන එක්සත් රාජධානියෙහි පටන් ගැනීම. ඒ ඇංග්ලො සැක්සන්වරු ප්‍රොතෙස්තන්ත වූ යුගය. එංගලන්තයේ ජාතික ගීය ගෝඩ් සේව් ද ක්වීන්. අපට බයිලා කියන ඩේවිඩ් කැමරන් දැන් අවුරුදු කිහිපයකට පෙර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දී ප්‍රකාශ කළා එංගලන්තය ක්‍රිස්තියානි රටක් බවත් එය ක්‍රිස්තියානිය විසින් හැඩගෑස්සූ බවත්. මෙහි ක්‍රිස්තියානි කියන්නෙ එංගලන්ත සභාවෙ ක්‍රිස්තියානිය. අපේ පඬියන් මේවා ගැන කියන්නෙ නැහැ. ඔවුන් අනාගමික රාජ්‍ය ගැන බහුබූත කියවනවා. කොහොමටත් සුදු ඈංග්ලො සැක්සන් ප්‍රෙතෙස්තන්ත ලෝක ආධිපත්‍යය හැඩ ගෑසුණේ ඔය ආකාරයටයි. පඬියන් ඒ ආධිපත්‍යයට යටයි.




මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි. 
(හටටපසඃ//තතත.ෆඅචඑබඔඔක.චඔම/ණඅලඉන-ඩඑ-ූඉලවඅ-188511888194878/)


නලින් ද සිල්වා

2016 ජූනි 26