Main Logo

Tuesday 7 June 2016

සාලාව ගිනි ගනියි

සාලාව ගිනි ගනියි

කොස්ගම සාලාවේ පිහිටි හමුදා කඳවුරේ ගින්නක් ඇති වී අවි ගබඩාව සම්පුර්ණයෙන් ම විනාශ වී ගිහින්. මේ අවි ගබඩාව බස්නාහිර පළාතේ තිබු විශාල ම අවි ගබඩාව ලෙස හැඳින්වෙනවා. ඒ අතර අවිගබඩාව වෙනත් තැනකට ගෙන යෑමට මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තීරණය කර තිබූ බවත් මේ ආණ්ඩුවෙන් ඒ ගැන කිසිවක් කර නොතිබූ බවත් කියැවෙනවා. ජ වි පෙ හා පෙරටුගාමීන් බොරු මානව හිතවාදී කමක් ආරෝපණය කරගෙන අවිගබඩාවක් ජනතාව පදිංචි වී සිටින ප්‍රදේශයක පවත්වාගෙන යෑම ගැන කිඹුල් කඳුළු හෙළනවා. මොන තරම් කිඹුල් කඳුළු හෙලුවත් ජනතාව මේ පාර්ජිකා වෙච්ච ඊනියා මාක්ස්වාදීන් වෙනුවෙන් කඳුලක් හෙළන්නේවත් ඡන්දයක් දෙන්නේවත් නැති බව පැහැදිලියි. ඔවුන්ට කළ හැකි එකම දෙය විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනකු මුළාකරගෙන, අනෙක් අය බයකරගෙන තක්කඩි දේශපාලනයක යෙදීම පමණයි.
 

සාලාව ගිනි ගැනීම පිළිබඳ නොයෙක් කතන්දර කියැවෙනවා. ඒ පිලිබඳ පරීක්‍ෂණ කටයුතු රහස් පොලීසියට, එනම් සි අයි ඩියට එනම් අපරාධ විමර්ශන කොට්ඨාශයටත් භාර දී තිබෙනවා. සී අයි ඩිය, එෆ් සී අයි ඩීයෙන් වෙනස් වන්නේ එක අකුරකින් පමණයි. එෆ් සී අයි ඩියට මූල්‍ය කියන විශේ’’’ෂණ පදය එක් වී තිබෙනවා. මේ සියළු විමර්ශන කොට්ඨාශවල රාජකාරිය රාජපක්‍ෂලාට (ඊනියා රෙජිමයට) පහර දෙමින් ඔවුන්ගෙන් පළිගැනීම හා මේ දුර්දාන්ත යටත්විජිතගැති නිවට ආණ්ඩුව ආරක්‍ෂා කිරීම ද කියන ප්‍රශ්නය මතුවෙනවා. 

රනිල්ගේ ආණ්ඩුව හා මහින්දගේ ආණ්ඩුව අතර තිබෙන ප්‍රධාන වෙනස මහින්දගේ ආණ්ඩුව විජාතික හා විදේශික බලවේගවලට නොනැමී රාජ්‍යය ආරක්‍ෂා කිරීමත් රනිල්ගේ ආණ්ඩුව එකී බලවේගවලට යටත්වී ඔවුන් ඉදිරියේ දණ නමමින් රාජ්‍යය ආරක්‍ෂා නොකිරීමත් බව අප නිරන්තරයෙන් කියන දෙයක්. මේ ආණ්ඩුව කරන්නේ කෙසේ නමුත් ආණ්ඩුව ආරක්‍ෂා කරගැනීම පමණයි. රාජ්‍ය ආරක්‍ෂාව ඔවුන්ට තුට්ටු දෙකක් තරම්වත් වැදගත් නැහැ. රාජ්‍ය ආරක්‍ෂාව සඳහා ඇති හමුදාව දෙපාර්තමේන්තුවක් පමණක් යැයි කිවුවේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති රාජිත. එයින් ම පේනවා ආණ්ඩුව රාජ්‍යාරක්‍ෂාව ගැන දක්වන සැලකිල්ල. රාජිත කියන ඔය දෙපාර්තමේන්තුව අයත්වන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයට. ඒ අමාත්‍යාංශයට සරිලන ලේකම් කෙනෙකුත් එයට ලැබිල තියෙනවා. උන්නැහෙ සාලාවෙ ගින්න ගැන පරීක්‍ෂණයක් පවත්වන බව හැරෙන්න වෙනත් දෙයක් කී බවට ආරංචියක් නැහැ. ආරක්‍ෂක අමාත්‍යංශයෙත් ඇමති මෛත්‍රිපාල. එයාවත් රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධනවත් ගින්න ගණන් ගන්නෙ නැති පාටයි.  කොහොමටත් දෙපාර්තමේන්තුවක ගොඩනැගිල්ලක් විනාශ වීම එව්චර ගණන් ගත යුතු දෙයක් නෙවෙයි කියල රාජ්‍යාරක්‍ෂාව භාර ලොක්කන් හිතනවා වෙන්නත් පුළුවන්. කාට හරි හිතෙන්න ප්‍රළුවන් රාජ්‍යාරක්‍ෂාව බල්ලට ගිහිල්ල කියලා. 

ගින්න ගැන කතාකරන එක රනිල් පවර ගෙන. බෑණා රාජ්‍ය ඇමති නිසා මාමා ඒ වැඩෙත් කරනවා ද කියලා කාට හරි හිතෙන්න පු්‍රවන්. කොහොමටත් ඒකෙනුත් තේරෙනවා ආණ්ඩුවෙ රනිල්ගෙ කියලා. ඒ වුනත් අපට සාලාවෙ ගින්න හිතෙත් ගින්නක්. අපට ඒක දැනෙවා. මේ ගින්න අපට අනුභූතියක්, අපට ප්‍රත්‍යක්‍ෂයක්. ඒක ගැන බටහිර විද්‍යාවෙ වගේ අනුභූතියක් ප්‍රත්‍යක්‍ෂයක් නොවන කතන්දර එක එක්කෙනා කියනවා අහගෙන ඉඳලා පමණක් හරියන්නෙ න ැහැ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. මේ ගින්න ඇතිවෙන්නෙ යම් පසුබිමක. අද හමුදාවෙ බුද්ධි අංශයෙ සමහර දෙනා හිර කරලා. ගින්න ගැන හොයන්නත් බුද්ධි අංශයට දෙන්නෙ නැහැ. බුද්ධි අංශය ගැන ආණ්ඩුව බය ද? 

හමුදා කඳවුරු ඊනියා මානව කතා කිය කියා ජනතාවට බෙදා දෙනවා. ඒත් ඒක උතුරු හා නැගෙනහිර පළාත්වල පමණයි. අනෙක් පළාත්වල එහෙම කෙරෙන්නෙ නැහැ. ආණ්ඩුව හිතා මතා ම රාජ්‍යාරක්‍ෂාවට තිබෙන හමුදාව දුර්වල කරනවා.  ආණ්ඩුව හමුදාව සැහැල්ලුවට පත කරලා. සම්බන්ධන් කාගෙන්වත් කිසිම අවසරයක් නැතිව හමුදා කඳවුරකට ගිහිල්ල. සම්බන්ධන්ට එහෙම යන්න අයිතියක් තියෙනවළු.  ඒ මොන නීතියට, මොන සම්ප්‍රදායට එකඟ ව ද කියලා ආරක්‍ෂක ලේකම් හරි ඇමති හරි අපට කියනවා ද? නැගෙනහිර පළාතෙ ආණ්ඩුකාරය අහමඩ් සාම්පූර් නාවික කඳවුරේ ප්‍රධානියාට අනාරාධිතව උත්සවයකට ගිහින් තර්ජනය කරලා බැන්න. අහමඩ්ට ලැබුණු දඬුවම අපේ වියදමෙන් නාවික හමුදා කඳවුරේ දී හොඳ භෝජන සංග්‍රහයක් ලැබීම. ඒ්කට නම් අහමඩ්ට ආරාධනා කරලා තියෙනවා. ඒ ආරාධනාව ආරක්‍ෂක අමාත්‍යංශෙ අනුමැතිය නැතිව ලැබෙන්නෙ නැහැ. එ භෝජන සංග්‍රහයට හලාල් කෑම තිබුණ ද නැද්ද කියල අහමඩ් කියලා තිබුනෙ නැහැ. 

කොහොමටත් අහමඩ්ගෙ තර්ජනයෙන් පස්සෙ හමුදාව අහමඩ්ට කඳවුරුවලට යෑම තහනම් කළා. ආණ්ඩුව  ඒක නීති විරේධී කියලා නීති විරෝධි බව අයින් කෙරුවා. ඒ අයින් කෙරීම නීත්‍යානුකූල ද නැද්ද කියලා ආරක්‍ෂක අමාත්‍යාංශය කිවුවෙ නැහැ. රාජිත කිවුවෙත් නැහැ. රාජිතට වෛද්‍ය නිලධාරින්ගෙ සංගමයත් එක්ක වැඩ තිබුණ නිසා වෙන්න ඇති. ඒ කොහොම වෙතත් නැගෙනහිර පළාතෙ නාවික හමුදා ආඥාධිපති රොසයිරෝ ව මාරු කරන්න ආණ්ඩුව කටයුතු කළා. එහෙම කරපු ආණ්ඩුව ඒ තනතුරට පත්කෙළේ සින්නයිය කියලා තැනැත්තෙකු. මේ මාරුකිරීම හා පත්කිරීම සාම්පුර් සිද්ධියට සම්බන්ධ වුවත් නැතත් සින්නයිය ගැන කරුණක් දෙකක් කියන්න තියෙනවා. මේ ආණ්ඩුව සින්නයියාව නැවතත් නාවික හමුදාවෙ තනතුරකට පත් කෙළේ රාජපක්‍ෂ ආණ්ඩුව ඔහු දේශපාලන වශයෙන් පළිගැනීමකට ලක්කර හමුදාවෙන් ඉවත් කළ අයකු බව කියමින්. මෙහි එයටත් වඩා බරපතළ ප්‍රශ්නය වන්නෙ සින්නයියා ඒ අතරතුර කාලයේ මෙරට ඇමරිකන් තානාපති කාරයාලයේ ආරක්‍ෂක විශේෂඥයකු ලෙස සේවය කර තිබීමයි. විදේශීය තානාපති කාර්යාලයක සේවය කළ අයකු හමුදා සේවයට බඳවා ගැනීම මෙරට ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුනොකරන්නේ ද?

සාලාවෙ ගින්න ඇතිවූයේ මේ පසුබිමේයි. මේ ආණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යංශය රාජ්‍යාරක්‍ෂව ගැන එහෙම කටයුතු කරන විට සාලවෙ ගින්නත් එක්ක සාමාන්‍ය මිනිසුන්ගෙ පපු හෝස් ගාලා පත්තුවෙනවා. සාලාවෙ ගින්න නිවා දැම්මත් ආණ්ඩුවට මිනිසුන්ගෙ හදවත්වල ගින්න නිවන්න බැහැ.    

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)



නලින් ද සිල්වා 

2016 ජුනි 07