Main Logo

Thursday 30 June 2016

බ්‍රෙක්සිට් හා එට්කා

බ්‍රෙක්සිට් හා එට්කා

බ්‍රෙක්සිට් කියන්නෙ බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම යන්න ඉංගිරිසි බසින් කියන ආකාරය කෙටිකර තනාගත් වහරක්. එට්කා යන්න මුල අකුරුවලින් තනාගත් වහරක්. බිරිතානිය, බිරිතානිය කිව්වත් රටක් හැටියට එක්සත් රාජධානිය, යුරෝපා සංගමයෙන් වෙන්වන්න තීරණය කරපු බව දැන් කවුරුත් පාහේ දන්නවා. රනිල් කියන්නෙ බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීම නිසා ඉන්දියාවත් සමග අත්සන් කරන්න යන ගිවිසුම ඉක්මන් කරන්න ඕන කියලා. මිනිසුන් මෙහෙම මුළා කරන එක දේශපාලනඥයකුට වුනත් වටින්නෙ නැහැ.


බිරිතානිය යුරෝපා සංගමයෙන් ඉවත්වෙන්න ජනමත විචාරණයකින් තීරණය කරලා. ඒත් තාම ඉවත්වෙලා නැහැ. ඉවත් වීමේ ක්‍රියාවලියට අවුරුදු දෙකක් විතර යයි කියලා සමහරුන් කියනවා. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තියෙනවා. අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් ඒ විස්තර ලබාගන්න පුළුවන්.  ඒක නිසා රනිල්ට එට්කා ගිවිසුම අත්සන් කරන්න කලබල වෙන්න දෙයක් නැහැ. රනිල්ගෙ හිස ගිනි අරගෙන වෙන්න පුළුවන්. ඒත් එට්කා අත්සන් කරන්න හිස ගිනි ගත්තකු එගිනි නිවන ලෙස ක්‍රියා කරන්න අවශ්‍ය නැහැ.

බිරිතානිය හරි එක්සත් රාජධානිය හරි කියලා කිව්වට වැදගත් වෙන්නෙ එංගලන්තය. මේ ඉවත්වීමේ තියෙන්නෙ ජාතිකත්ව ඉස්මතු වීමක්. රනිල්ට තියා කැමරන්ටවත් ඒක තේරෙන්නෙ නැහැ. පළමුවැනි ලෝක යුද්ධෙ කියන එකින් පස්සෙ රටවල් එකතුකර විකෘති රටවල් ඇති කිරීමේ ව්‍යාපෘතියක් තිබුණා. සෝවියට් දේශය බිහිවුණෙත් ඒකෙ ප්‍රතිඵලයක් හැටියට. එංගලන්ත අධිරාජ්‍යයත් තවත් ශක්තිමත් වුණා. ව්‍යාජ ජාත්‍යන්තරවාදයක් එක්ක පංති විඥානය වගේ සංකල්ප ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබුණා. ඒත් ඒ දෙකම වියුක්ත පට්ටපල් බොරු. මේ එකක්වත් ඇඟට (හිතට) දැනේනෙ නැහැ. ලිබරල් හා මාක්ස්වාදී උගතුන්ට පමණක් ඒවා තේරෙනවා. ඔවුන්ටත් දැනෙන්නෙ නැහැ. ඒත් ජාතිකත්වය නම් කාටත් වගේ දැනෙනවා.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දී එංගලන්තය හා වේල්සය ඉවත්වීමටත් ස්කොට්ලන්තය හා අයර්ලන්තය වෙන් නොවීමටත් ඡන්දය දුන්නා. මෙයින් කියැවෙන්නෙ එංගලන්තයට හා වේල්සයට වෙන්වෙන්න ඕන බවත් උතුරු අයර්ලන්තයට හා ස්කොට්ලන්තයට වෙන් නොවෙන්න ඕන බවත් නොවෙයි. උතුරු අයර්ලන්තයට හා ස්කොට්ලන්තයට එංගලන්තයෙන් වෙන්වෙන්න ඕන කියන එක කියැවෙනවා. ඒ රටවලත් ජාතිකත්වය මතුවෙලා. ඔවුන්ට එංගලන්තයෙන් නිදහස් වෙන්න ඕන. ස්කොට්ලන්තයේ ප්‍රධාන ඇමතිනිය කියා සිටියේ ස්කොට්ලන්තය වෙන්වීමට දෙවැනි ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවයි. 

පළමුවැනි ලෝක යුද්ධෙ කියන එකෙන් පස්සෙ ව්‍යාජ ජාත්‍යන්තරවාදයක් හා කම්කරු පංති විඥානයක් තහවුරු වුනා නම් දෙවැනි ලෝක යුද්ධෙ කියන එකෙන් පස්සෙ ව්‍යාජ ජාතිකවාද ජයග්‍රහණය කළා. ඉන්දියාවට ලංකාවට හා තවත් රටවලට නිදහසක් කියලා එකක් ලැබුනෙ ඒකෙන් පස්සෙ. ඒත් මේ නිදහස ලබාගත්තෙ ඉංගිරිසින් විසින් පුහුණු කරන ලද පිරිසක්. නේරු කියන්නෙ ඉන්දියාවෙ කාශ්මීර පණ්ඩිත් පරම්පරාවට අයත් (ඔහු පණ්ඩිත් නේරු වන්නෙ ඒ නිසා) මව්පසින් බ්‍රහ්මණ වූ ඊනියා වංශවත් පුද්ගලයකු. ඔහු කේම්බ්‍රිජ් විශ්්වවිද්‍යාලයෙන් ස්වාභාවික විද්‍යා පිළිබඳ උපාධියක් ලබා නීතිය හැදෑරුවා. ඔහුගේ පියා මෝතිලාල් නේරු ඉංගිරිසින් පිහිටු වූ ඉන්දීය ජාතික සංගමයේ සභාපතිවෙලා හිටියා. මා මේ කරුණු සඳහන් කරන්නේ අපේ රටවල නිදහස් ව්‍යාපාර සුද්දන් විසින් පුහුණු කරනු ලැබූ පුද්ගලයන්ගේ නායකත්වයෙන් සිදුවුනා කියන එක පෙන්වන්න. අපේ රටවල තිබූ ජාතික ව්‍යාපාර සුද්දන්ගේ ව්‍යාජ ජාත්‍යන්තරවාදීන් විසින් පරාජය කෙරුණා.

හිට්ලර්ගෙ තිබුණෙ ව්‍යාජ ජාත්‍යන්තරවාදයට එරෙහි වූ ජාතිවාදයක්. ඔහු යුදෙවුවන් පහත්කර සැලකුවා. ව්‍යාජ ජාත්‍යන්තරවාදීන් එකතු වී ඔහු පරාජය කළා. බර්ලින් තාප්පය බිඳ වැටුනට පස්සේ ජාතිකවාද නැවතත් ඉදිරියට එනවා. ඒත් සුද්දන් වැඩේ අත්හරින්නෙ නැහැ. ඔවුන්ට රනිල්ලා වගේ අය ඉන්නවා. මෝදිලා වගේ ව්‍යාජ ජාතිකවාදයට මාරු වුනු අයත් ඉන්නවා. මේ අතර ආර්ථික ප්‍රශ්නත් බලපානවා. එංගලන්තයේ ජාතිකත්වය මතුවෙන්න ප්‍රධාන හේතුවක් වන්නෙ සාංක්‍රමණිකයන්ගෙ ප්‍රශ්න. අද ඇමරිකාවෙ හරිහරියට සුද්දන් හා සාංක්‍රමණිකයන් ඉන්නවා. 

රටවල් අතර වෙළෙඳ ගිවිසුම් ඇතිවන එක නරක නැහැ. ඒත් ඒවා ප්‍රධාන වශයෙන් ආර්ථික ගිවිසුම් වෙන්න ඕන. වෙළෙඳ ගිවිසුමට උඩින් දේශපාලනය මතුවන විට ඒක ප්‍රශ්නයක් වෙනවා. එට්කා ගිවිසුම ආර්ථික ගිවිසුමකට වඩා දේශපාලනික ගිවිසුමක්. ඒ ඉන්දියාව අප මත තම දේශපාලන ආධිපත්‍යය පැතිරවීම සඳහා ඇතිකරන ගිවිසුමක්. ඒක අපේ ජාතිකත්වයට පහරක්. ඉන්දියාව අප යටකරගන්න හදනවා. මාමගේ ඉන්දු ලංකා ගිවිසුම සහ බැණගෙ එට්කා ගිවිසුම එක ජාතියෙ පොල්. මේ අර්ථ ක්‍රමයෙහි අපට අද ආර්ථික ගිවිසුම් අවශ්‍ය වෙන්නෙ භාණ්ඩ වෙළෙඳාමකට හා සේවා හුවමාරුවකට වඩා භාණ්ඩ නිෂ්පාදනය වැඩි කිරීම සඳහා, ශ්‍රම පුහුණුව වැඩි කිරීම සඳහා, යටිතල පහසුකම්, මහා මාර්ග දුම්රිය මාර්ග (අධි වේගීත් ඇතුළුව) වර්ධනය කිරීම සඳහා බව පෙනී යන්න ඕන.

එංගලන්තය ජාතිකත්වය මගින් ව්‍යාජ ජාත්‍යන්තරවාදයෙන් මිදෙන්න හදන කොට රනිල් ඒක දඩමීමා කරගෙන මෙහි ව්‍යාජ ජාත්‍යන්තරවාදය වෙනුවෙන් අපේ ජාතිකත්වය දුර්වල කරන ගිවිසුම් කඩිමුඩියේ අත්සන් කරන්න කතා කරනවා. අනෙ අම්මපා මෙහෙමත් මිනිහෙක්!  සුද්දන් අනුව යන්න කැමති රනිල්ට එට්කා එක්සිට් නැත්නම් එට්කෙක්සිට් කිවුවත් තේරෙන්නෙ නැහැ.  




මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද / කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

(https://www1.kalaya.org)   


නලින් ද සිල්වා

2016 ජූනි 30