Main Logo

Saturday 25 June 2016

පඬියන්ට ගෝත්‍රවාදීන් නොවන ඇංග්ලො සැක්සන්වරු

පඬියන්ට ගෝත්‍රවාදීන් නොවන ඇංග්ලො සැක්සන්වරු

පසුගිය ජූනි විසිවැනිදා ඉංගිරිසි ජාතිකත්වය මැයෙන් වූ ලිපිය අවසන් කෙළේ මේ ආකාරයටයි. “ජූනි 23වැනි දා එංගලන්තයේ ජනතාව දේශපාලනඥයන්ට එරෙහි වී යුරෝපා සංගමයෙන්  ඉවත්වීමට තීන්දුවක් ගැනීමට වැඩි ඉඩක් තිබෙනවා. එය ඉංගිරිසි ජාතිකත්වය නැවත මතුවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.” එක්සත් රාජධානිය ම සමස්තයක් ලෙස ගතහොත් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට 51.9% ක ඡන්දයෙන් තීරණය කර තිබෙනවා. එංගලන්තය හා වේල්සය ගත්තොත් මේ ඡන්ද ප්‍රමාණය පිළිවෙළින් 53.4%ක් හා 52.5%ක් වෙනවා. එහෙත් ස්කොට්ලන්තයේ එය 38%ක් ද උතුරු අයර්ලන්තයේ 44.2%ක් ද පමණක් වෙනවා. වැඩිකල් යෑමට පෙර ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් ඉවත්වේවි. අයර්ලන්තයේ පවතින කතෝලික ක්‍රිස්තියානි විරසකය නිසා උතුරු අයර්ලන්තය ඇත්තේ අර්බුදයක. තරුණ පරම්පරාව වැඩිපුර ඡන්දය දී ඇත්තේ යුරෝපා සංගමයේ රැඳී සිටීමට බවයි කියැවෙන්නේ. එහෙත් ඔවුන්ට ලංකාවේ 2015 ජනවාරි 8වැනි දා මෙන් තීරණයට බලපෑමක් කිරීමට හැකි වී නැහැ. තරුණයන් වයසට යන විට අදහස් වෙනස් වේවි. මාත් තරුණ කාලයේ දී ජාත්‍යන්තරවාදියෙක්!
 

මේ ඡන්ද ප්‍රතිඵලය නිසා ඩේවිඩ් කැමරන් ඔක්තෝබර් මාසයේ දී අගමැති තනතුරෙන් අස්වීමට යනවා. ඔහු ස්කොට් සම්භවයක් ඇත්තෙක්. ඇමරිකානු රිපබ්ලිකන් ජනාධිපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියා ඇත්තේ මේ ප්‍රතිඵලය වැළඳ ගත යුතු බවයි. පැහැදිලිව ලෝකයේ ඇංග්ලො සැක්සන් බලය තවත් තහවුරු වෙමින් පතිනවා. ව්‍යාජ ජාත්‍යන්තරවාදය ඉතා අඩු වයසකින් මිය ගොස්. ඊනියා වාමාංශික පක්‍ෂ හා ඇතැම් ලිබරල් දක්‍ෂිණාංශික කොටස් පමණක් ජාත්‍යන්තරවාදීන් ලෙස තවමත් හොල්මන් කරනවා. බර්ලින් තාප්පය කැඩී සෝවියට් දේශය බිඳ වැටීමත් සමග ව්‍යාජ ජාත්‍යන්තරවාදය නැතිවීමත් පටන්ගත්තා. 

ජූනි 23 ජනමතවිචාරණයෙන් යුරෝපීය සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීම ඉංගිරිිසි ගෝත්‍රවාදය ඉස්මතුවීමක් ලෙස පඬියන් හඳුන්වනවා ද? සිංහල බෞද්ධකම ගැන කතාකළ විගස ගෝත්‍රවාදය යනුවෙන් කෑමොර ගසන ව්‍යාජ ජාත්‍යන්තරවාදී පඬියන් ඉංගිරිසි ජනමතවිචාරණය ගැන කියන්නේ කුමක් ද? මේ ප්‍රශ්න නගන්නේ ඔවුන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් නො වෙයි. ජනමාධ්‍යයට පින්සිදුවන්නට පමණක් පවතින වැලේ වැල් නැති පඬියන්ට එල්ලෙන්නවත් වැලක් නැහැ. ව්‍යාජ මානවවාදී ජාත්‍යන්තරවාදය ප්‍රංශ විප්ලවයෙන් පැන නැගි බොරුවක්. කාල් මාක්ස් එය වැළඳ ගත්තා. මාක්ස් බර්ලින් තාප්පයට යට වී දෙවැනි වරටත් මියගියා. 

ඇමරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයගැනීමට ඇති ඉඩකඩ වැඩියි. මේ තහවුරු වන්නේ ඇංග්ලො සැක්සන් ජාතිකත්වයයි. චීනය ආර්ථික වශයෙන් ඉදිරියට යන්න පුළුවන්. එහෙත් ඔවුන් වැඩ කරන්නේ කොන්ෆියුෂියස් තාම් දහමක නොව ඇංග්ලො සැක්සන් මතවාදයෙයි. මතවාදීව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ඇංග්ලො සැක්සන් ප්‍රභේදය පරාජය කරන්නට චීනයට බැහැ. ඉන්දියාවටත් බැහැ. වඩා බුද්ධිමත් ඉන්දියානුවන් හා චීනුන් අද ඉන්නේ ඇමරිකාවේ. ඔවුන් ඇංග්ලො සැක්සන් සංස්කෘතියට අනුගත වෙනවා. මෙයට අභියෝගයක් එල්ල කළ හැක්කේ සිංහල ථෙරවාදී බෞද්ධ චින්තනයේ මතවාදවලට. බටහිරයන් අපේ කුඩා දිවයින කුඩා දිවයිනක් ලෙස නොසලකන්නේ එබැවිනුයි. මා මෙසේ කී විට මෙරට පඬියන් සිනහසේවි. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ බැළ මෙහෙකරුවන් වෙන කුමක් කරන්න ද? 

යුරෝපා සංගමය බිඳ වැටීම වළක්වන්න බැහැ. එහි ප්‍රධාන රටවල් දෙක ප්‍රංශය හා ජර්මනියයි. එහෙත් ඔවුන්ට දැන් කළහැකි කිසිවක් නැහැ. ඔවුන්ගේත් බුද්ධිමතුන් සේවය කරන්නේ ඇංග්ලො සැක්සන් සංස්කෘතියටයි. යුදෙවු බුද්ධිමතුන් අද ඉන්නේ ඇමරිකාවේ. ඒ බුද්ධිගලනය පටන්ගත් අයකු ලෙස අයින්ස්ටයින් හැඳින්විය හැකියි. පසුගිය දා ඉංගිරිසි හිටපු ජනමාධ්‍යවේදියකු කියා තිබුණේ දෙකාර්තේලා වොල්ටෙයාර්ලා අයත්වන්නේ ඉතිහාසයට බවයි. ඉතාලිය හා ග්‍රීසිය අද යුරෝපයට බරක් වෙලා. ඒත් යුරෝපයේ මුල ඇත්තේ ඒ රටවල් දෙකයි. 

අප ඇංග්ලො සැක්සන් ඉතිහාසය පාසලේ දී ඉගෙන ගත්තා. මේ ඉතිහාසය පටන්ගන්නේ සැක්සන්වරු ජර්මනියේ සිට පස්වැනි සියවසේ පමණ පැමිණීමත් සමග. එයට කලින් බිරිිතානි දූපත්වල බිරිතානි හා ඇංග්ලි ජනවර්ග ජීවත්වූවා. මේ දූපත් නිතර උතුරු රටවල, අද කියන ආකාරයට ස්කැන්ඩිනේවියානු රටවල, වයිකින්ග් ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණවලට හසුවූවා. එංගලන්තයට පැමිණ මිශ්‍ර වූ සැක්සන්වරුන් හැඳින්වීමට ජර්මනියේ සැක්සන්වරුන් ඇංග්ලො සැක්සන් නම යොදාගත්තා. සසෙක්ස්, මිඩ්ල්සෙක්ස්, එසෙක්ස් ආදී ප්‍රාන්ත මේ සැක්සන් ඉතිහාසයේ ජීවමාන සාධක. පස්වැනි සියවස වන විට අප මහාවංශයත් ලියලා සිංහල බෞද්ධ ජාතිකත්වය ගොඩනගලා ඉවරයි. රෝමන්වරුන් එංගලන්තය ආක්‍රමණය කළත් ලන්ඩනය ඉදිකෙළේ රෝමන්වරුන් වුවත් ඉංගිරිසි භාෂාවට රෝම නැත්නම් ලතින් බලපෑම අඩුයි. ඉංගිරිසි භාෂාව ජර්මානු ආකෘතියේ භාෂාවක්. 

ඉංගිරිසි සංස්කෘතියට පදනම් වූ දෙවැනි ආක්‍රමණය නෝමන්වරුන්ගේ. නෝමන් කියන්නේ ප්‍රංශයේ වයඹ දිග නෝමැන්ඩි නමින් හඳුන්වන ප්‍රාන්තය අයත්කරගත්තවුන්. ඔවුන්ට ද උතුරේ වයිකින්ග් සම්භවයක් තිබෙනවා. 1066 දී සුප්‍රසිද්ධ හේස්ටිංග්ස් සටනින් පසු නෝමන්වරු එංගලන්තයේත් රජවරුන් බවට පත්වූවා. දොළොස්වැනි සියවස පමණ වන විට ප්‍රංශයන් නෝමැන්ඩිය සම්පුර්ණයෙන් ම යටත්කරගත්තා. ඉන්පසු නෝමන්වරුන් එංගලන්තයේ පමණක් රජවරුන් වූවා. මේ රජවරුන්ගේ භාෂාව ඉංගිරිසි නොවෙයි ප්‍රංශ! මා ළඟ දී කියවූ ලිපියක සඳහන් වූයේ ක්‍රිකට් ක්‍රීඩාව ද ප්‍රංශයේ ආරම්භ වූ බවයි! එහෙත් ඇංග්ලො සැක්සන් සංස්කෘතිය ප්‍රංශ සංස්කෘතියට යටවූයේ නැහැ. නෝමන් සංස්කෘතිය ඇංග්ලො සැක්සන් සංස්කෘතියේ කිඳා බැස්සා. එංගලන්ත වැසියන්ට පිටින් පැමිණි සංස්කෘතීන් අවශෝෂණය කරගැනීමේ උරාගැනීමේ හැකියාව තිබුණා. ඇංග්ලො සැක්සන් සංස්කෘතිය ලෝක සංස්කෘතියක් බවට පත්වීම ඇරඹුණේ පහළොස්වැනි සියවසෙන් පසුව. 

මේ ඉතිහාසය අපේ ඉතිහාසයත් සමග සංසන්දනය කළ හැකියි. බිරිතානි දූපත් වගේ ම ලංකාවත් දුපතක්. ඉංගිරිසිකාරයන්ට ඇත්තේ දූපත් මානසික තත්ත්වයක් කියා පඬියන් කියන්නෙ නැහැ. සිංහල සංස්කෘතියත් ඉංගිරිසි සංස්කෘතිය වගේ ම මිශ්‍ර සංස්කෘතියක්. එංගලන්තය යුරෝපයට යටවූයේ නැහැ. අදත් යටවන්නේ නැහැ. අප චෝල, පාණ්ඩ්‍ය චේර හා වෙනත් ආක්‍රමණවලට යටවූයේ නැහැ. අපටත් පිටින් පැමිණි සංස්කෘතිකාංග අවශෝෂණය කරගැනීමේ හැකියාව තිබුණා.  එහෙත් අප සුද්දන් වූයේ නැහැ. අප රටවල් ආක්‍රමණය කරන්න ගියේ නැහැ. ඒ අපේ බෞද්ධකම නිසා. ඒ නිසා ම ඇංග්ලො සැක්සන් සංස්කෘතියට අභියෝග කරන්න පුළුවන් සිංහල බෞද්ධ සංස්කෘතියට. ඒ ලෝකය යටත්කිරීමට නොවෙයි. ලෝකය නාස්තිකාර පරිභෝජනවාදී පෞද්ගලිකත්වය ඉස්මතු කරන ආකල්පවලින් ගලවාගැනීමට. බටහිරයන් අනෙක්  රටවල්් ද යටපත්කිරීමට උත්සාහ ගත්තත් ඒවා නිර්මාණවාදී හෝ ධුරාවලිත (ධුර අනුව වැලක් සේ සකස් වූ) නිසා ඒ සංස්කෘතීන් ඔවුන්ට අභියෝගයක් වන්නේ නැහැ. ඇංග්ලො සැක්සන් සංස්කෘතිය උතුරු ඇමරිකාවට ගිය විට එහි ස්වදේශිකයන් සුද්දන්ගේ අයිතිකරගැනීමට ඇති ඇල්ම ගැන සඳහන් කර ඇත්තේ රෝගයක් ලෙස. අපට ඉතා මැතක් වන තුරු ඒ රෝගය තිබුණේ නැහැ. අපේ ගෙවල් වටා තාප්ප ඉදිවෙන්න පටන් අරන් තාම අවුරුදු හැත්තෑපහක් නැහැ. අපට පොල් අතු වැටක්වත් තිබුණේ නැහැ.

අද ඇංග්ලො සැක්සන්  සංස්කෘතිය දෙමළ ජාතිවාදය යොදාගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකිරීමට. එහි දී ඔවුන් යුරෝපා සංගමය ලවා අපට තහංචි පැනෙව්වා. රනිල් අඩම්බරයෙන් කතාකරන මත්ස්‍ය තහනම ඉවත්කිරීම, ජී එස් පී සහන ස්වාමියකු ගැත්තකුට දෙන තෑගි පමණයි. යුරෝපා සංගමයෙන් එංගලන්තය ඉවත්වීම අපට එක්තරා ආකාරයකට හොඳයි. එංගලන්තයේ වාසය කරන ලංකාවෙන් ගිය දෙමළ ජනයා බහුතරයක් ඉවත්වීමට විරුද්ධව ඡන්දය දෙන්න ඇති. එහෙත් අපට ඇංග්ලො සැක්සන් සංස්කෘතික ආධිපත්‍යයට නිකම් මුහුණ දෙන්න බැහැ. ඒ සඳහා සැලසුම් තිබිය යුතුයි. එයට සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ ප්‍රවාද අවශ්‍යයි. අපේ ආකල්පවල ද වෙනසක් අවශ්‍යයි



මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද / කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි. 
(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)

(https://www1.kalaya.org)   


නලින් ද සිල්වා

2016 ජූනි 25