Main Logo

Thursday 23 June 2016

වෙනස, හඳුනාගැනීම සහ පැවැත්ම

වෙනස, හඳුනාගැනීම සහ පැවැත්ම

වංශපුර දේවගේ ජානක

සංයුක්ත වශයෙන් මේ සංකල්ප තුන එකිනෙකින් වෙන්කර ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිද? එනම් යම් ප්‍රපංචයක් සම්බන්ධයෙන් එහි අනන්‍යතාවත් (identity) වෙනස්වීමත් (change) ගැන නොසලකමින් එහි පැවැත්ම (existence) තේරුම්ගත හැකිද? එමෙන්ම අහවල් දෙයක් ලෙස යමක් හඳුනානොගෙන එහි පැවැත්මක් හෝ වෙනස්වීමක් ගැන තේරුම්ගත හැකිද? එමෙන්ම අනිත් සංකල්ප දෙක යොදා ගන්නේ නැතිව එහි වෙනස්වීම ගැන තේරුම්ගත හැකිද?



යම් ප්‍රපංචයක් සම්බන්ධයෙන් පැවැත්ම, හඳුනාගැනීම සහ වෙනස යන සංකල්ප තුන වෙන්කල නොහැකි යැයි මම සිතමි. අඩු තරමින් පෘතග්ජන මිනිසුන්ට සංයුක්ත වශයෙන් මේ සංකල්ප වෙන් කර ගත නොහැකියැයි තර්ක කල හැකිය.


අපිට පැවැත්ම යන සංකල්පය තේරුම්ගත හැක්කේම යම් කිසි දෙයක පැවැත්මක් ලෙසය. එනම් පවතින්නේ අහවල් දේ යැයි නොකියා පවතීයැයි කීමෙන් තේරුම්ගත හැකි දෙයක් නැත. දෙයක් ගැන කීපමණින්ම හඳුනාගැනීමක් සිදුවේ. ඒ දෙය අපි කලින් දැන සිටි දෙයක් හෝ නොදැන සිටි දෙයක් හෝ විය හැකිය. වැදගත් ඒ බව නොවේ. වැදගත් වන්නේ දන්නා හෝ නොදන්නා දෙයක් ලෙස හඳුනාගැනීමක් නොකර පැවැත්මක් ගැන කථා කල නොහැකිවීමය. ඒ තර්කය අනිත් අතටත් කල හැකිය. යමක් හඳුනාගන්නවා යන්නෙන් අදහස් කෙරෙන්නේ කුමක්ද? එක්කෝ යමක් පවතිනවා යැයි කීමය නැත්නම් නොපවතිවා යැයි කීමය.


අනිත් අතට යමක් පවතිනවා යන්නෙන් අපි තේරුම් ගන්නේ එක්කෝ එය නොවෙනස් වෙන දෙයක් බවය නැත්නම් වෙනස් වෙන දෙයක් බවය. උදාහරණයක් ලෙස යම් කාලයක් තුල නොවෙනස්වුනු දෙයක් අපි පවතින ලෙස තේරුම් ගන්නෙමු. එහිදී පැවැත්ම ලෙස තේරුම් ගන්නේ වෙනස් නොවීමය. අඳුරේ නිවි නිවී දැල්වෙන යමක් අඳුරට සාපේක්‍ෂව වෙනස් වන නිසා අපි නිවී දැල්වෙන යමක් පවතින්නේ යැයි ගන්නෙමු. එහිදී පැවැත්ම වෙනස්වීමය. අනිත් අතට අපිට යමක් වෙනස් වෙනවා යයි කිව හැක්කේද එය පවතින දෙයක් ලෙස සලකමිනි. 

මේ අකාරයට යම් නිශ්චිත ප්‍රපංචයක් සම්බන්ධයෙන් එහි පැවැත්ම අනන්‍යතාව සහ වෙනස්වීම එකිනෙකට බැඳී ඇති වෙන් කර හඳුනාගත නොහැකි සංකල්ප ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම ඉහත සංකල්ප එකක්වත් ඊටත් වඩා මූල ධර්ම වූ සංකල්පල වල එකතුවකින් තේරුම්ගත නොහැකිය. එකිනෙකට බැඳී පවතී යන්නෙන් එක් සංකල්පයක් අනිත් සංකල්ප දෙකට තව දුරටත් බිඳිය හැකි යැයිද අදහස් නොවේ. එසේ නම් පැවැත්ම අනන්‍යතාව සහ වෙනස්වීම යන සංකල්ප තව දුරටත් බෙදිය නොහැකි මූලික සංකල්ප ලෙස සැලකිය හැකිය.


එය පිළිගත හැකිනම් ඉන් කියවෙන්නේ අපි පෘතග්ජනයින් වශයෙන් ගොඩනඟන සංකල්ප විශ්ලේෂණය කරගෙන යාමේදී හමුවෙන සරලම සංකල්ප එකිනෙකින් වෙන් කර ගත නොහැකි බවය. එහි අපූරු බවක් නැත්ද? අපි ගොඩනඟන සමහර සංකීර්ණ සංකල්ප එකිනෙකින් ස්වාධීනව (නිරවුල්?) තේරුම් ගත හැකි යැයි අපි සිතන්නෙමු. නමුත් ඒවාගේ මුලට ගොස් බලන විට ඒවායෙහි ස්වාධීනත්වයක් නැත (අවුල්?). එකිනෙකට බැඳී ඇත. එය එසේ වන්නේ සියලු සංකල්ප ශුන්‍ය බැවින්ද?