Main Logo

Thursday 2 June 2016

රනිල් කොටින්ට දුන් පෝලියෝ සහතිකය

රනිල් කොටින්ට දුන් පෝලියෝ සහතිකය

පසුගියදා රනිල් දකුණු කොරියාවට ගියා. ඒ නැගෙනහිර පළාතේ මහ ඇමතිට හමුදාව පණවා තිබූ තහනම් නියෝග අවලංගු කිරීමට පියවර ගැනීමෙන් පසුව. රාජිතට අනුව නම් හමුදාව කියන්නෙ අමාත්‍යාංශයක්වත් නොවන දෙපාර්තමේන්තුවක් පමණයි. දෙපාර්තමේන්තුවකට තමන්ට තර්ජනය කර අපහාස කළ පුද්ගලයකුට තම ආයතනවලට පැමිණීම තහනම් කරන්න බලයක් නැද්ද? ඒ බලය තියෙන්නෙ කැබිනට්ටුවට විතර ද? මේ නීතිය ගෙවල්වලටත් බලපානවා ද? ගෘහමූලිකයකුට යම්කිසි හේතුවක් නිසා වෙනත් අයකුට ගෙට ඇතුල්වීම තහනම් කරන්න බැරි ද? අනෙක හමුදාව ගත් තීරණය වැරදි නම් නීත්‍යානුකූල නොවෙයි නම් සිංහල විරෝධී නිවට ආණ්ඩුව ඒ තීන්දුව ඉවත් කෙළේ මොහොකට ද? නීත්‍යානුකූල නොවන තීන්දු අහෝස්ි කිරීමේ  බලය ඇත්තේ කාට ද? එසේ අහෝසි කිරීම නීත්‍යානුකූල ද? නීත්‍යානුකූල නොවන තීන්දු ඉබේම අහෝසි වෙනවා ද? නීත්‍යානුකූල නොවන තීන්දුවකට එරෙහිව මහ ඇමතිට අධිකරණයට ගොස් ඒ බව පැහැදිලි කරන්න බැරි ද? 


අහමඩ් හමුදාවට නින්දා කරනවා මදිවාට රාජිතත් නින්දා කරනවා. හමුදාව අමාත්‍යාංශයක්වත් නෙවෙයි කියන එක ධුරාවලිය අනුව ඇත්තක් වුවත් එය හමුදාවට කරන නින්දාවක්. මේ රටේ දෙපාර්තමේන්තු අමාත්‍යාංශ බවට පත්වීමත් අමාත්‍යාංශ ලෙස තිබුණු ආයතන දෙපාර්තමේන්තු බවට පත්වීමත් ගැසට් නිවේදනයක ප්‍රශ්නයක් පමණයි. හමුදාවට මෙහෙම මදි පුංචිකම් කරන එක අද ඊයෙ සම්බන්ධන්ලගෙ, අහමඩ්ලාගෙ, රාජිතලගේ වැඩක් විතරක් නොවෙයි. ඇංග්ලිකන් සංස්කෘතියේ එ ජා පක්‍ෂයට ඒ ගැන ඉතිහාසයක් තියෙනවා. කිරිඇල්ල කිවුවෙ ඕනෑම ගොනකුට යුද්ද කරන්න පුළුවන් කියලා. රවි කරුණායක හමදුාව සැහැල්ලුවට ලක් කෙළේ කිලිනොච්චි මැදවච්චි කතා කියමින්. රනිල් හමුදාව අල්ලාගත් තොප්පිගල නිකම් ම කැලයක් කියල කිවුවා. එදා ඔවුන් හමුදාවට නින්දා කෙළේ විරුද්ධ පක්‍ෂය ලෙස. අද ඔවුන් ආණ්ඩුව ලෙස හමුදාවට නින්දා කරනවා. භයානකකම ඇත්තේ එතැනයි.   

රනිල් කොරියා ගියේ ජාත්‍යන්තර රෝටරි සමාජයේ් සම්මේලනයට. ඒකෙ 2015-2016 ජාත්‍යන්තර සභාපති කේ ආර් රවින්ද්‍රන් කියල තැනැත්තෙක්. ඔහු ලංකාවේ දෙමළ කියල හිතන්න පුළුවන්. රනිල් කොරියාවෙදි ඒ සමාජයේ සාමාජිකයන් අමතල අමතක කරන්න බැරි  කතාවක් කියල තියෙනවා. මා දැන් සඳහන් කරන්නෙ ඒ කතාවෙදි කියැවුණු දේ.1995 දි (චන්ද්‍රිකාගේ සිංහල විරෝධි ආණ්ඩුව කාලෙ) රොටරි සමාජයේ රවීන්ද්‍රන් පෝලියෝ එන්නත සඳහා ආධාර ප්‍රමාණයක් (සියල්ල නොවේ) දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය (දෙපාර්තමේන්තුවක් නොවේ) එක්ක සාකච්ඡා කරල තියෙනවා.  එහි නිලධාරීන් කියා තිබෙනවා ඔවුන්ට අනුව යුද්දෙ පවතින ප්‍රදේශවල හැරෙන්න අනෙක් ප්‍රදේශවල එන්නත ලබා දිය හැකි බව. එවිට රොටරි සමාජය කියා ඇත්තේ ඔවුන්ට එයට එකඟවන්න බැරි බවත් රටෙන් බාගයකට පමණක් එන්නත දීමට නොහැකි බවත්. රොටරි සමාජය බාගය කියල කියන්නෙ කොපමණකට ද කියන එක පැහැදිලි නැහැ. අමාත්‍යාංශය කියල තියෙන්නෙ යුද්දෙ පවතිද්දි ඒ ප්‍රදේශවල එන්නත ලබදීමට නොහැකි බව. 

එවිට රාජෙන්ද්‍රන් කියා තිබෙන්නෙ යුද්දෙ ගැන ඒගොල්ල බලාගන්නන් කියලා. එවිට සෞඛ්‍ය අමාත්‍යංශය කියල තියෙනවා  ඔබ යුද්දෙ නවත්වනව නම් අප මුළු රටේම එන්නත දෙන්නන් කියලා. මාස කිහිපයකට පස්සෙ රවින්ද්‍රන් එල් ටී ටී ඊ සංවිධානයෙන් ලියුමක් ගෙනත් දීල තියෙනවා ආණ්ඩුව ආයුධ බිම තියනවා නම් ඔවුන්ද ආයුධ බිම තියන්න සූදානම් කියලා. ඒ අනුව සටන් විරාමයක් ඇති කරල පෝලියෝ එන්තත රට පුරාම දීල තියෙනවා. මේ කතාව කියලා රනිල් මෙහෙම කතාවකුත් කියල තියෙනවා. ලංකාවේ දැන් පෝලියෝ නැහැ. රවීන්ද්‍රන් නැත්නම් ඒක කෙරෙන්නෙ නැහැ. ඔහු සටන් විරාමයක් ඇති කෙරෙවුවා. අප සියළු දෙනාම එකිනෙකාට තියෙන බයට වඩා අපේ දරුවන්ට ආදරෙයි.

රනිල් මේ කියන්නෙ ප්‍රභාකරන් හා කොටි ද දරුවන්ට ආදරේ බවයි. රනිල් ප්‍රභාකරන්ට හා කොටින්ට සහතිකයක් දීල තියෙනවා ජාත්‍යන්තර රොටරි සාමාජිකයන් ඉදිරියේ. රනිල්ට මතක නැහැ මේ කොටි ළමා සොල්දාදුවන් යොදාගත්ත බව. කුඩා ළමුන් අම්මලාගෙන් උදුරාගෙන මරා දැමූ බව.  රනිල්ලා කොටින්ට දෙන සහතික හමුදාවට දෙන්නේ නැහැ. දැන් බටහිරයන්ගේ අවශ්‍යතාවට හා තමන්ගේත් අවශ්‍යතාවට ඊනියා අතුරුදහන් වූ අය ගැන සෙවීමට කොමිසමක් පත්කරන්න යනවා. මංගල සමරවීර ඒ ගැන තම ස්වාමිවරුන්ට දැනුම් දීල තියෙනවා. 

රනිල්ගෙ කතාවෙ තවත් පැත්තක් තියෙනවා. රවින්ද්‍රන්ට හා රොටරි සමාජයට කොටින් එක්ක හොඳ සම්බන්ධයක් තිබූ බවත් පේනවා. රවින්ද්‍රන්ට සටන් විරාමයක් ලබාගැනීමට අපහසුවක් වී නැහැ. කාලෙකට ඉස්සර ජ වි පෙ සමග සම්බන්ධකම් පවත්වපු අයටත් දඬුවම දුන්න. දැන් ජ වි පෙ තම ඊනියා මාක්ස්වාදී දැක්ම අනුව සිංහල විරෝධී ආණ්ඩුව පත්කරන්න සහාය දීල බොරුවට ආණ්ඩුවෙ වැරදි දකින වෙලාවක්. ජ වි පෙ සමග සම්බන්ධකම් තිබුණු අයට දැන් නම් දඬුවම් කරන එකක් නැහැ. ඒ කෙසේ වුවත් කොටින් එක්ක සම්බන්ධකම් තිබුණු රවින්ද්‍රන්ලා හා ඊනියා ජාත්‍යන්තර සමාජ  තවත් කොපමණ ඇත් ද?  නිවාඩු තියෙන වෙලාවක රනිල් ඒ ගැනත් රටට කියනවාද? 

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)




නලින් ද සිල්වා 

2016 ජූනි 02