Main Logo

Monday 6 June 2016

බටහිර මම හා අපේ මම

බටහිර මම හා අපේ මම

මෙරට ඇත්තේ ප්‍රොසේතන්ත බුද්ධාගමක් යැයි කියූ ගණනාථ ඔබේසේකර, ගොම්රිච් ආදීන්ට පමණක් නොව බටහිර බුද්ධාගම, නූතන බුද්ධාගම, බුද්ධාගම නූතනකරණයට ලක්වීම ගැන ලියන බටහිර උගතුන්ට ද තේරුම්ගත නොහැකි කරුණක් වී ඇත්තේ බටහිර මා යන සංකල්පය හා අපේ මා යන සංකල්පය අතර ඇති වෙනසයි. නූතන බුද්ධාගමක් ගැන ලියන සමහර බටහිරයන් අය සම්බන්ධයෙන් හොඳ  උදාහරණයක් නම් ඩේවිඩ් මැක්මහන් ය. ඔහු ලියා ඇති බෞද්ධ නූතනවාදය නිර්මාණය කිරීම (ද මේකින් ඔෆ් බුඩිස්ට් මොඩර්නිසම්) යන පොත කියවීමෙන් වුවත් ඉහත සඳහන් වෙනස අවබෝධ කරගත හැකියි. ඔහුගේ මා හා මගේ මා අතර විශාල වෙනසක් තිබෙනවා.


අප බොහෝ දෙනකු හිතන්නේ ඕනෑම සංස්කෘතියක මා යනුවෙන් කියැවෙන්නේ එකම කරුණු බවයි. වෙනත් අයුරකින් කියනවා නම් ඉංගිරිසි අයි යන සංකල්පය හා සිංහල මා යන සංකල්ප දෙක ම එක ම තේරුමක් දෙන සංකල්ප ලෙස බොහෝ දෙනා තේරුම් ගන්නවා. ඒත් ඒ එහෙම නෙවෙයි. ඉංගිරිසි අයි යන්න සිංහලට මම ලෙස පරිවර්තනය වෙනවා. ඒක වෙන ම කරුණක්. එහෙත් එසේ පරිවර්තනය වන්නේ එකම සංකල්පය නෙවෙයි. සංකල්ප පරිවර්තනය කිරීමත් වෙනත් සංස්කෘතියක සංකල්ප අවබෝධ කරගැනීමත් ඉතාමත් අසීරුයි. සිංහල බෞද්ධ ඉතා විශිෂ්ට යැයි කදයන විද්‍යාඥයන්ට බටහිර විද්‍යාවේ සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කර ගැනීමට බැරි ඒ නිසයි.

යුරෝපයේ ඇති වූ ප්‍රොතෙස්තන්ත ආගම්වල එක් අරමුණක් වූයේ පුද්ගලයා පූජකයන්ගෙන් ස්වාධීන කිරීමයි. එය පහළොස්වැනි සියවස අග ඇති වූ චින්තන විප්ලවයෙහි ප්‍රතිඵලයක් වුනා. එම චින්තන විප්ලවයෙන් පසු බිහි වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ප්‍රධාන අංගයක් වූයේ සාමූහිකත්වයට විරුද්ධ ව පෞද්ගලිකත්වය වර්ධනය කිරීමයි. කතෝලික ආගම සාමූහිකත්වයට මුල් තැනක් දුන් අතර පූජකවරු පුද්ගලයා හා දෙවියන් වහන්සේ අතර මැදිහත් කරුවන් වුනා. මාටින් ලූතර් වැනි අය කීවේ පුද්ගලයන්ට පල්ලියට නොගොස් දෙවියන් වහන්සේ සමග එකතු විය හැකි බවයි. එනම් දෙවියන් වහන්සේට පෞද්ගලික ව යාඥා කළ හැකි බවයි. 

එහෙත් සිංහල බුද්ධාගමේ ද ඇතුළු බුද්ධාගම්වල භික්‍ෂූන් වහන්සේ පුද්ගලයා හා නිවන අතර ඇති මැදිහත්කරුවකු නො වෙයි. නිවන දෙවියන් වහන්සේවත් සදාකාලික ස්වර්ගයක්වත්, බ්‍රහ්මන්වත් වෙනත් කිසිවක්වත් නෙවෙයි. එය වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ වාක්‍යයෙහි එය යනුවෙන් යෙදීම වුවත් වැරදියි. අප නිවන යනුවෙන් වචනයක් යොදාගත් පමණින් නිවන වෙනත් නාම පදයක් ලෙස සැලකීම වැරදියි. 

අද බටහිර මා කියන්නෙ පෞද්ගලිකත්වය ඉතාමත් වර්ධනය වූ සංකල්පයකට. අපේ මා කියන සංකල්පය හා සාමූහිකත්වය අතර තිබෙන සම්බන්ධය පසුගිය  දවස්වල ඇතිවෙච්ච ගංවතුර වෙලාවෙදි දැක්ක. අප දිව්‍ය ලෝක සැප සම්පත් ගැන කතාකරත් මා කියල අයකු නැති බව දන්නවා. මා කියන එක අප ත්‍රිලක්‍ෂණය ගැන අනවබෝධය නිසා අවිද්‍යාව නිසා සංස්කරණය කරගත් සංකල්පයක්. බටහිර මා කියන සංකල්පය එහෙම නෙවෙයි. ඒක එක්කො ආත්මවාදියි. නැත්නම් සියල්ල මරණය සමග කෙළවර වන බව කියන ද්‍රව්‍යවාදීයි, එසේත් නැත්නම් උච්ඡෙදවාදියි. අපේ මා නැතිවත් පුනබ්භවයක් තිබෙනවා. නාගසේන හාමුදුරුවන් මිලින්ද රජුට කී ආකාරයට නැවත භවයක් ලබන්නේ මාත් නොවෙයි, අන් අයකුත් නො වෙයි.

මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.   

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


2016 ජූනි 06