Main Logo

Tuesday 5 September 2017

දහම ආගම හා සංස්කෘතිය 3


දහම ආගම හා සංස්කෘතිය 3



අප නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නේ ඇයි? නිවන යනු තවත් අදහසක් පමණ ද? එය ඊනියා වාස්තවික යථාර්ථය වැන්නක් ද? වාස්තවික යථාර්ථය යනු පවත්නා දෙයක් යැයි බොහෝ අය කියනවා. ඒ පවත්නා දෙය තේරුම් ගැනීමට දැනුම අවශ්‍ය බව කියනවා. ඒ වාක්‍යය එතරම් නිරවුල් නැහැ. දැනුම යනු කුමක් ද? ඊනියා දැනුම ඊනියා මිථ්‍යාවෙන් වෙනස් වන්නේ කෙසේ ද? ඊනියා වාස්තවික යථාර්ථයක් ඇත්නම් දැනුම යනු අන් කිසිවක් නොව ඒ වාස්තවික යථාර්ථය දැන ගැනීමයි. බටහිරයන්ට අනුව බටහිර විද්‍යාව මේ යථාර්ථය දැන ගැනීමට ඇති මගයි. බටහිර විද්‍යාව යථාර්ථය නොවූවත් යථාර්ථයට ළඟා වෙමින් පවතින්නේ යැයි ඔවුන්ගෙන් සමහරකු කියනවා.




එයින් කියැවෙන්නේ යථාර්ථය යනු කුමක් දැයි බටහිරයන් නොදන්නා බවයි. එහෙත්, එනම් යථාර්ථය නොදැනත්, බටහිර විද්‍යාව යථාර්ථයට ළඟා වෙමින් පවතින බව බටහිර විද්‍යාඥයන් දන්නවා. ඔවුන් ඒ බව දන්නේ කෙසේ ද? යථාර්ථය යනු කුමක් දැයි නොදැන යථාර්ථයට ළඟා වන බව දන්නේ කෙසේ ද? ඒ ප්‍රශ්නයට පිළිතුරු නොදී බටහිරයන් තම විද්‍යාව අනෙක් දැනුම්වලින්, මිථ්‍යාවලින් වෙන් කර ගැනීමට නිර්ණායක ඉදිරිපත් කරනවා. පොපර්ගේ අසත්‍යකරණ නිර්ණායකය ඉන් එකක්. විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක් කිරීමට හැකි විය යුතු බව පොපර් කියනවා. එහෙත් අසත්‍යකරණයට ලක් කිරීම යන්න ම ප්‍රශ්නවලට තුඩු දෙනවා. අසත්‍යකරණයට ලක් කරන්නේ ප්‍රවාදයේ කිනම් කොටස් ද? කිනම් අංග ද? කුන්ට අනුව බටහිර විද්‍යාව වර්ධනය වන්නේ අසත්‍යකරණයට ලක් කිරීමෙන් නොව සුසමාදර්ශ (පැරඩයිම) වෙනස් කිරීමෙන්. පොපර් ජ්‍යොතිෂය මෙන් ම මාක්ස්වාදය ද අසත්‍යකරණයට ලක් කිරීමට නොහැකි බව කියමින් බටහිර විද්‍යා ලෙස සලකන්නේ නැහැ. ඒ දෙක ම පොපර්ගේ නිර්ණායක අනුව මිථ්‍යා.



බටහිරයන් පමණක් නොව අප ද කරන්නේ දැනුම නිර්මාණය කිරීම. ඊනියා යථාර්ථය ද අපේ නිර්මාණයක්. අපේ හිතළුවක්. මනසේ නිර්මාණයක්. එය පංචෙන්ද්‍රිය ගෝචර නොවන හිතළුවක්. අඩුම තරමෙන් මනසෙන් මවාගත නොහැකි හිතළුවක්. අප එවැනි හිතළුවලට පට්ටපල් බොරු යැයි කියනවා. සියලු දැනුම් බටහිර වේවා පෙරදිග වේවා අපේ හිතළු. හිතළු සියල්ල බොරු. එයින් පංචෙන්ද්‍රිය ගෝචර වී හෝ නොවී හෝ මනසෙන් මවාගත හැකි හිතළු බොරු. මනසෙන්වත් මවාගත නොහැකි හිතළු පට්ටපල් බොරු. බොරු මෙන් ම පට්ටපල් බොරු ද අපේ නිර්මාණ. මේ නිර්මාණ පුද්ගලයකුගේ ඉන්ද්‍රියවලට මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂයි. මෙහි මනස ඉන්ද්‍රියකින් බැහැර ව සඳහන් කර ඇතත් මනස ෂඩේන්ද්‍රියවලින් එකක් ලෙස බොහෝ බෞද්ධයන් සලකනවා.



මෙහි සඳහන් කරන්නේ අප වැනි පෘථග්ජනයන්ගේ දැනුම ගැනයි. බුදුන් වහන්සේගේ දැනුම ගැන නො වෙයි. මා හිතන්නේ බුදුන් වහන්සේගේ දැනුම යැයි කීම පවා වැරදි ව්‍යවහාරයක් බව. අප සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ සර්වඥතා ඥානය යනුවෙන්. ඥානය යනු දැනුම නො වෙයි. බුදුන් වහන්සේට එදා බෝධි මූලයෙහි දී නොයෙකුත් ඥාන පහළ වුණා. ඒ සමග උන්වහන්සේ නිවන් අවබෝධ කළා. අප ඥානය හා දැනුම බොහෝ විට එකක් ලෙස සලකනවා. එහෙත් එය වැරදියි.  පටිච්චසමුප්පදායෙහි අවිජ්ජා ගැන කියවෙනවා. ඒ අනිත්‍ය දුඃඛ අනාත්ම විද්‍යමාන නො වීම. ඒ අනවබෝධය. ඒ සමග සංස්කාර ඇති වෙනවා. මේ සංස්කාර යනු දැනුමක්. පටිච්චසමුප්පදායෙහි විඥානය  ගැන කියැවෙනවා. විඥානය කියන්නේ ඥානය නො වෙයි. ඒ වඩා හොඳ ඥානයකුත් නො වෙයි. පටිච්චසමුප්පදායෙන් කැඩීම නිවන් අවබෝධයයි. ඥානය පහළ වන්නේ නිවන් අවබෝධයත් සමග. ඇතැම් ඥාන පහළ වන්නේ බුදුන් වහන්සේට පමණයි.



නිවන යනු මනසෙන් මවා ගන්නා දෙයක්වත් මනසෙන් මවා නොගන්නා දෙයක්වත් නො වෙයි. එය හිතළුවක්, අදහසක් නො වෙයි. නිවන යනු අදහස් නැති කිරීමත් නො වෙයි. අදහස් නැති කළ හැක්කේ අදහස් ඇත්නම් පමණයි. ඇති දෙයක් නැති කිරීම උච්ඡෙදයක්. නැති දෙයක් නැති කරන්න බැහැ. නිවන ශුන්‍යතාවක් නො වෙයි, ඇති දෙයක් නැති කිරීම නො වෙයි. නිවන ඊනියා යථාර්ථයක්වත් පරමාර්ථ සත්‍යයක්වත් නො වෙයි. පරමාර්ථ සත්‍යය යන්න මහායානිකයන්, විශේෂයෙන් ම මහායානිකයන් වූ බ්‍රාහ්මණයන් විසින් නිර්මාණය කරන ලද්දක්.



දැනුම අපේ අවිජ්ජාව, අනිත්‍ය දුඃඛ අනාත්ම අනවබෝධය නිසා නිර්මාණය කෙරෙන්නක් මිස ඊනියා ඇති දෙයක් දැන ගැනීම නො වෙයි. සියලු දැනුම් බොරු. මේ බොරු, බොරු බව අවබෝධ කර ගැනීමටයි අප උත්සාහ කරන්නේ. බොරු, බොරු බව අවබෝධ කර ගැනීම යනු ඇති දෙයක් නැති කිරීම නො වෙයි. එය අදහසක් නො වෙයි. අදහස් බොරු බව අවබෝධ කර ගැනීම තවත් අදහසක් නිර්මාණය කිරීමක් නො වෙයි.



අපේ දැනුම් සාපේක්‍ෂයි. එයින් කියැවෙන්නේ නිවන නිරපේක්‍ෂ බව නො වෙයි. එසේ තර්ක කරන්නේ ද්විකෝටිකය ඇසුරෙන්. යමක් හා එහි විරුද්ධය පමණයි ද්විකෝටිකයේ ඇත්තේ. සාපේක්‍ෂ නොවන්නේ නම් නිරපේක්‍ෂ විය යුතු යැයි කියන්නේත් ඒ න්‍යාය ඇසුරෙන්. බටහිරයන්ට මේ ද්විකෝටිකයෙන් ඉවත් වන්න බැහැ. ඊනියා ද්විමය (බයිනරි) සම්බන්ධකම් ඇත්තේ ම ද්විකෝටිකය හේතුවෙන්. බටහිරයන්ට ද්විමය සම්බන්ධකම් අවශ්‍යයි. පශ්චාත්නූතනවාදීන් කියන්නන්ටත් ඒ ද්විමය සම්බන්ධකම්වලින් ඉවත් වන්න බැහැ. නිවන ද්විකෝටිකයෙන් පමණක් නොව චතුස්කෝටිකයෙනුත් විනිර්මුක්තයි.



(මතු සම්බන්ධයි)





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 05