Main Logo

Thursday 14 September 2017

හාමුදුරුවරුන්ට අපහාස කරන අමන දේශපාලනඥයෝ


හාමුදුරුවරුන්ට අපහාස කරන අමන දේශපාලනඥයෝ



එංගලන්තය ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක් වන්නා සේ ම ඉතාලිය කතෝලික රටක් වන්නා සේ ම ඉන්දියාව හින්දු රටක් වන්නා සේ ම සවුදි අරාබිය මුස්ලිම් රටක් වන්නා සේ ම ලංකාව සිංහල බෞද්ධ රටක්. ඉන්දියාව රටක් වුනේ ඉංගිරිසින් එහි ගියාට පස්සෙ. හින්දු ආගම ඇති වුණෙත් හයවැනි සියවසෙන් පස්සෙ. ක්‍රිස්තියානි මුස්ලිම් කතෝලික ආගම්වල ඉතිහාසය සිංහල බෞද්ධ රටේ ඉතිහාසය තරම් පැරණි නැහැ. ලෝකයේ තිබෙන අඛණ්ඩ පාරම්පරික ජීවමාන සංස්කෘතීන් අතර සිංහල බෞද්ධ සංස්කෘතිය පැරණි ම ජීවමාන සංස්කෘති දෙකෙන් එකක්. අනෙක චීන සංස්කෘතිය.



සිංහල බුද්ධාගම කියන්නෙ බුදුදහම නො වෙයි. සිංහල බුද්ධාගමේ හාමුදුරුවරුන් වැඩ ඉන්නේ අපට ධර්මයෙන් අනුශාසනා කරන්න පමණක් නො වෙයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ දවසේ සිට ම උන්වහන්සේලා රජවරුන්ට හා ජනයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. ඒ බව වෙනත් ආගමිකයන් මෙන් ම ජාත්‍යන්තරවාදී ඕල්කට් බෞද්ධයනුත් දැන ගන්නවා හොඳයි. සිංහල බෞද්ධයන් ඇතැම් විට හාමුදුරුවරුන් විවේචනය කරනවා. ඒ පෞද්ගලික ව මිස ප්‍රසිද්ධියේ නො වෙයි. හාමුදුරුවරුන් රහත් වී නැහැ. උන්වහන්සේලාත් පෘථග්ජන. උන්වහන්සේලා අතින් වැරදි වෙන්න පුළුවන්. එහි ඵල විපාක උන්වහන්සේ විඳිනු ඇති. උන්වහන්සේලා කෝටියක් සංවර සිල් නොව පන්සිල් බිඳ ගත්තත් අප පන්සිල් ගන්නේ උන්වහන්සේලගෙන් මිස අමන දේශපාලනඥයන්ගෙන් නො වෙයි. එහි පරස්පරයක් දැකිය හැක්කේ ජාත්‍යන්තරවාදී බෞද්ධයකුට පමණයි. ගුරු හාමුදුරු කෙනකු සිටින, ඕපපාතික ව පහළ නොවූ හාමුදුරුවරුන්ට සිංහල බෞද්ධයන් ගරු කරනවා, වඳිනවා. අද බොහෝ විට අමන දේශපාලනඥයන්ටත් සිසුන් හා වෙනත් අය වඳින නිසා ඔවුන් හිතනවා ඇති ඔවුනුත් අපේ වැඳුම් ගන්න බිහි වුණු අය ලෙස.



හාමුදුරුවරුන්ගේ ශීලය වැදගත්. එහෙත් සිංහල බෞද්ධයන්ට එය එක් නිර්ණායකයක් පමණයි. සිංහල බෞද්ධයන්ට හාමුදුරුවරුන් ජාතියේ මුරදේවතාවුන් වහන්සේ. අපේ හාමුදුරුවරුන්ගේ වැදගත් කාර්යයක් වන්නේ ජාතිය, ඒ කියන්නේ සිංහල ජාතිය රැක ගැනීම. සමහර විට සිල් රැකීමටත් වඩා ජාතිය රැකීම වැදගත් වෙන්න පුළුවන්. සිංහල ජාතිය නොවන්නට ලොවේ ථෙරවාදයක් නැහැ. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. සිංහලයන්ට ජාතිය රැක ගැනීමට උපදෙස් දුන්නේ අවවාද අනුශාසනා කෙළේ සිංහල හාමුදුරුවරු. සිංහලයන් ජාතියක් වූයේ බටහිර ඊනියා ධනපති විප්ලවය ඇතිවීමට බොහෝ කලින්. යුරෝපයේ ජාතීන් ඇති වූයේ ඊනියා ධනපති විප්ලවයෙන් පසුව.



සරත් ෆොන්සේකා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට චීවර ධාරියකු පිස්සකු යැයි කියනවා. සරත් ෆොන්සේකා යුද්ධ දක්‍ෂයෙක්. ඒ ගැන වාදයක් නැහැ. ඔහු හමුදාපති ලෙස වැදගත් කාර්යයක් ඉටු කළා. එහෙත් ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු ඔහු රටට වින කරනවා.  කුප්‍රසිද්ධ සුදු කොඩි කතාව මගින් ඔහු රටට මහත් හානියක් කළා. ඊනියා යුද්ධාපරාධ කතා ඇති වූයේ ඉන් පසුව. අද ඔහු ජගත් ජයසූරිය ගැන ඊනියා යුද්ධාපරාධ කතා කියනවා. ඒ සියල්ල ඔහු හමුදාපති ව සිටි කාලයේ සිදු වූ දේ. ඒ සියල්ල යුද්ධාපරාධ නම් ඔහු එයට වග කිව යුතුයි. ඊනියා අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ දී ආණ්ඩුව දක්වන මන්දගාමි භාවය ගැන දින කිහිපයකට පෙර හුසේන් කුමාරයා ජෙනීවාහි දී කතා කර තිබුණා. මෛත්‍රිපාල ඊයේ අදාළ පනතට අත්සන් කළා. මේ නිවට ආණ්ඩුවට බටහිරයන් නියම කළ කාර්යභාරය ගැන අප කියා බොහෝ කල්. අප කියන දේ අසන්නේ කවුද?



රන්ජන් රාමනායක බී එම් ඩබ්ලිව් සංඝ මුදලාලිලා ගැන කතා කර තිබුණා. හාමුදූරුවරුන් ගැන සිංහල බෞද්ධයනට නැති රුදාවක් කතෝලික රන්ජන් රාමනායකට තියෙන්නෙ කොහොම ද? රන්ජන් රාමනායක සාමාන්‍යයෙන් කරන්නේ අනුන් ලියා දෙන පිටපතක් අනුව රඟපෑම. සමහර විට පිටපත ඔහු ම ලියනවාත් වෙන්න පුළුවන්. සිංහල බෞද්ධයකු සමහර කතෝලික පියතුමන්ලාගේ පිළිවෙත පිළිබඳ යමක් කීවොත් කුමක් සිදු වේවි ද? සිංහල බෞද්ධ රටේ ඊනියා ප්‍රමුඛස්ථානය කෙසේ වෙතත් බලය ඇත්තේ කාට ද? සිංහල බෞද්ධයනට ද?



සිංහල බෞද්ධයනට එරෙහි වන ඇතැමුන් සිංහල බෞද්ධ පවුල්වල උපත ලත් අය. ඔවුන් අද රැකෙන්නේ ඔවුන්ට ප්‍රසිද්ධිය ලැබෙන්නේ කෙසේ ද? ඔවුන් සිංහල බෞද්ධයනට එරෙහි වන්නේ ඔවුන්ගේ ඊනියා මානව හිතවාදයක් නිසා ද? සිංහල බෞද්ධයනට එරෙහිව යන මේ සියලු දෙනා අවසාන වශයෙන් පදනම් වන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුමෙහි. ඒ දැනුම් ආධිපත්‍යයට ඔවුන් කිසි දිනෙක විරුද්ධ වන්නේ නැහැ. ඔවුන්ගේ ඊනියා සමාජවාදයත් සේවය කරන්නේ බටහිර ආධිපත්‍යයට. අද සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ප්‍රධාන වශයෙන් ඇප කැප වී සිටින්නේ මාක්ස්වාදීන්.



අද අමන දේශපාලනඥයන් විවේචනය කරන්නේ සිංහල ජාතිය, සිංහල බුද්ධාගම වෙනුවෙන් කතා කරන පෙනී සිටින හාමුදුරුවරුන්. මෙය බොහෝ දෙනාට අමතක වන කරුණක්. ඊනියා දුසිලුන් ඇත්තේ සිංහල ජාතියට සිංහල බෞද්ධයනට වී ඇති අසාධාරණය ගැන කතා කරන හාමුදුරුවරුන් අතර පමණ ද? අමනයන්ගේ ව්‍යාපෘතිය ඉතා පැහැදිලියි. එය ඉංගිරිසි ආණ්ඩුකාරයන්ට තිබු ව්‍යාපෘතියමයි. කඩහපොල හාමුදුුරුවන්ට වෙඩි තැබුවේ උන්වහන්සේ සිංහල ජාතිය හා සිංහල බුද්ධාගම වෙනුවෙන් ක්‍රියා කළ බැවින්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට ප්‍රශ්නය වූයේ කහකඩ හමුදාව ලෙස හැඳින්වුණු හාමුදුරුවරුන්. අදත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ අයට ප්‍රශ්නයක් වී ඇත්තේ සිංහල ජාතිය සිංහල බුද්ධාගම ගැන වැඩ කරන හාමුදුරුවරුන්. මොවුන් දන්නා කරුණ නම් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නම් එවැනි හාමුදුරුවරුන් මර්දනය කළ යුතු බව.



සරත් ෆොන්සේකා මෙන් ම රන්ජන් රාමනායකත් එ ජා පක්‍ෂයේ සාමාජිකයන්. ඔවුන් හාමුදුරුවරුන්ට එල්ල කරන ප්‍රහාර ගැන පක්‍ෂ නායකයා නිහඬ ඇයි? රනිල්ටත් අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම ද? ඒ බැරි නම් දුර්වල කිරීම ද? මහානායක හිමිවරුන් ද විරුද්ධ වන විට නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ඒ සඳහා නො වේද? රනිල්ගේ සංස්කෘතිය කුමක් ද කියන එක ඔහු කරන කියන දෙයින් පැහැදිලි වෙනවා. පස්දුන් රටේ ඉරටු තියෙන කොහු තියෙනවා ද කියලා අහගන්න ඕනෙ කාගෙන් ද? මේ ආණ්ඩුවේ නායකයා ලෙස පෙනී සිටින්නේ මෛත්‍රිපාල. සරත් ෆොන්සේකා මෙන් ම රන්ජන් රාමනායකත් ආණ්ඩුවේ. ආණ්ඩුවේ නායකයා ලෙස මෛත්‍රිපාල ඔවුන් පිළිබඳ ව කරන්නේ කුමක් ද? මහින්ද හිතවතුන් යැයි කියන්නන් තනතුරුවලින් ඉවත් කරන මෛත්‍රිපාල සිංහල බෞද්ධ හාමුදුරුවරුන්ට අපහාස කරන අයට කරන්නේ කුමක් ද? මෛත්‍රිපාලට මහින්ද කෙරෙහි මෛත්‍රියක් නැති කමෙන් සිංහල බෞද්ධකම නැති කිරීමට කටයුතු කරනවා ද?









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 14