Main Logo

Thursday 28 September 2017

සිංහලයාගේ පරම යුතුකම බුද්ධාගම පෝෂණය කිරීමයි




සිංහලයාගේ පරම යුතුකම බුද්ධාගම පෝෂණය කිරීමයි



මා මෙහිදී සඳහන් කරන්නේ බුදුදහම නොවන බව පැහැදිලි වෙන්න ඕන. ඒ වගේ ම ඇතැමුනට පැහැදිලි නැති වුවත් බුද්ධාගම යන්නෙන් මෙහි දී අදහස් කෙරෙන්නේ සිංහල බුද්ධාගමයි. එහෙමත් නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතියයි. මෙරට බුදුසසුන කියාත් කියන්න පුළුවන්. සිංහල බෞද්ධ සංස්කෘතිය හෙවත් සිංහල බුද්ධාගම එක තැනක තිබෙන්නක් නො වෙයි. සෑම සංස්කෘතියක් වගේ ම එයත් දිනෙන් දින වෙනස් වෙනවා. ඒ වෙනස් වීම පෝෂණයක් වෙන්නත් පුළුවන්, පරිහාණියට යෑමක් වෙන්නත් පුළුවන්.



අද රට දිහා බැලුවම සිංහල බෞද්ධයන් පොදුවේ ගත් කල සිංහල බුද්ධාගම පෝෂණය කරන බවත් ආණ්ඩුව ඉංගිරිසින් අනුගමනය කරමින් බුද්ධාගම පරිහාණිය කරා මෙයෙවන බවත් පැහැදිලියි. මෙතරම් බුද්ධාගම නින්දාවට හෑල්ලුවට ලක් වූ කාලයක් මට මතක නැහැ. භික්‍ෂූන් වහන්සේ අද නිකම්ම නිකම් චීවරධාරීන් වෙලා. කාට හරි මේ වචනයට විවිධ අරුත් දෙන්න පුළුවන්. ඒත් මේ සමාජයේ සාමාන්‍යයෙන් චීවරධාරියා කියන්නේ ගෞරවයකින් නො වෙයි.



සරත් ෆොන්සේකා හා රන්ජන් රාමනායක පරදවමින් මංගල සමරවීර භික්‍ෂූන් වහන්සේට චීවරධාරි රස්තියාදුකාරයන් කියනවා. මේ තිදෙනා ම අද එ ජා පක්‍ෂයේ සාමාජිකයන්. ඒත් පක්‍ෂයේ නායක රනිල් ඒ තිදෙනා කියා ඇති දේ සම්බන්ධයෙන් මේ වන තුරු ප්‍රසිද්ධියේ කිසිවක් කියා නැහැ. මෙය බරපතල තත්වයක්. හාමුදුරුවරුන්ගෙ වැරදි තියෙන්න පුළුවන්. ජ වි පෙ, පෙරටුගාමී ආදී පක්‍ෂ හාමුදුරුවරුන්ගේ විනය ගැන තැකුවේ නැහැ. ජාතික හෙළ උරුමය තම පවිටු දේශපාලනය සඳහා හාමුදුරුවරුන් යොදා ගත්තා. භික්‍ෂු දේශපාලනයක් තියෙනවා. එය වර්තමානයේ දී විද්‍යාලංකාර ප්‍රකාශයෙන් කියැවෙනවා.



මංගල සමරවීර ආදීන් අපහාස කරන්නේ උපසම්පදා භික්‍ෂූන් වහන්සේට. එයින් රන්ජන් රාමනායක කතෝලික. අමතක කරන්න එපා ඔවුන්ගේ නායක රනිල්ගේ පියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රනිල්ගේ බාප්පා ඒ ආගමේ ම බිෂොප්වරයෙක්. බටහිරයන්ට මේ ආණ්ඩුව පත් කර ගැනීමට අවශ්‍ය වුණේ ම සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට, එය නැති කිරීමට බව අප එකල කිව්වා. එහෙත් බොහෝ සිංහල බෞද්ධයන් ඒ බවක් විශ්වාස කෙළේ නැහැ. රනිල් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නෙ ඩොයිලි දුන්නා වගේ. සුද්දන් සිංහල බෞද්ධයන් මර්දනය කිරීමට යොදා ගත්තේ වැඩිපුර ම සිංහල බෞද්ධයන්. ඌව දිසාපති විල්සන් ඩොයිලි සමග එක් වී 1815 සිංහල ඉංගිරිසි ගිවිසුම බිඳ දැම්මා. සිංහලයන් එයට විරුද්ධව නැගී සිටියා.



මුතුකුඩ නාට්‍යය විකාශය වන්නේ මේ පසුබිමේ. අද දිනයෙහි සමහරවිට නාට්‍යයෙහි විල්සන්ට වෙඩි තියාවි. මේ සිද්ධිය හා 1817 -18 සැමරීමට අප 1998 දී වෙල්ලස්සට ගියා. මහමුදළි මිණිබිරිය වූ චන්ද්‍රිකාගේ වේල්ස් කුමාරයා වෙනුවට චින්තන පර්ෂදයේ අප වෙල්ලස්සේ කුමරු සැමරුවා. ඒ වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරීමට අප බලාපොරොත්තු වූ නමුත් අපට එය කර ගැනීමට බැරි වුණා. ඩොයිලිලා ගිය මග රනිල්ලා මංගලලා යනවා. කලකට පෙර මංගල පුංචි බොරැල්ලේ දී බුදු පිළිම වහන්සේ නමක් බෙල්ලෙන් රැගෙන තම අබෞද්ධ සංස්කෘතිය  ලොවට ම පෙන්නුවා.



නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමටත් පෙර එ ජා පාක්‍ෂිකයන් හැසිරෙන්නේ මෙහෙම නම් ව්‍යවස්ථාව සම්මත කර ගතහොත් ඔවුන් හැසිරෙන ආකාරය සිතා ගත හැකියි. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම වචන කිහිපයක් පමණයි. ඩොයිලි පටන් ගත් දේ රනිල් අවසන් කරාවි. සිංහලයන් ඒ කිරීමට ඉඩ දෙනවා ද? අවුරුදු දෙසියකට ඉහත කරන ලද වැරදි අප නැවතත් කරනවා ද? සිංහලයන්ගේ පරම යුතුකම බුද්ධාගම ආරක්‍ෂා කර පෝෂණය කිරීමයි.



අප එය කරන්නේ අඩුම තරමෙන් ගැමුණු රජු දවස සිට. එතුමා කීවේ තම ව්‍යායාමය රජසැප පිණිස නොව බුදුසසුනේ චිරස්ථිතිය සඳහා බවයි. අද බොහෝ දේශපාලනඥයන් බුදුදහම තම චිරස්ථිතිය සඳහා යොදා ගන්නවා. මෙරට කිහිප වතාවක් ම බුදුන් වහන්සේට පූජා කෙරුණු රටක්. ඒ රට දඹකොළ පටුනේ සිට දෙවුන්දරට විහිදෙනවා. අද අපට දඹකොළ පටුන නැහැ. ඇත්තේ පේදුරුතුඩුවක්. ඒ සුද්දන්ගේ නමක්.  ව්‍යවස්ථාවෙන් පසු පේදුරුතුඩුවත් නැති වෙනවා. ඊට පස්සෙ විග්නේස්වරන් කියන විධියට තමයි අපට පිළිම වහන්සේ තනන්න වෙන්නෙ. දහතුන්වැනි සංශෝධනයෙන් පස්සෙ දඹකොළ පටුනෙ පරමාධිපත්‍යය වෙන පළාත්වල ඉන්න සිංහලයන්ට නැහැ. ව්‍යවස්ථාවෙන් පස්සෙ අපට මොනව ඉතිරි වෙයි ද?



බුදුන් වහන්සේට පූජා කළ රටේ සරත් ෆොන්සේකාට, රන්ජන් රාමනායකට, මංගල සමරවීරට භික්‍ෂූන් වහන්සේට අපහාස කිරීමට රනිල් ඉඩ දී තියෙන්නේ කෙසේ ද? හාමුදුරුවරුන්ගෙ වැරදි තියෙනව නම් ඒවා හාමුදුරුවරු බලා ගනීවි. පන්සිල්වලින් එක් සිල් පදයක්වත් නොරකින අය හාමුදුරුවරුන්ට අපහාස කරන්නේ කෙසේ ද? රාජ්‍ය නොවන ගැත්තන් ඇතුලු සිංහල බෞද්ධ විරෝධීන් මෙසේ කරන්නේ සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ බෙදීම් නිසයි. අද භික්‍ෂූන් වහන්සේත් බෙදිලා. රට ජාතිය ආගම වෙනුවට පක්‍ෂය මුල් තැනට ඇවිල්ල. අපේ පක්‍ෂයෙ අය මොකක් කළත් හරි අනෙක් පක්‍ෂෙ අය මොකක් කළත් වැරදී කියන ප්‍රතිපත්තියක අප අද ඉන්නෙ. සුද්දන් අපට දුන්න ඉනා බෙහෙත තමයි දේශපාලන පක්‍ෂ ක්‍රමය.



පසුගිය මැතිවරණයේ දී නව ව්‍යවස්ථාවක් සිංහල බෞද්ධයන්ට විරුද්ධව ගෙන ඒමට එ ජා පෙරමුණ කටයුතු කරන බව අප කීවත් බොහෝ සිංහල බෞද්ධයන් එයට සවන් නොදුන්නේ  ඔවුන්ගේ බෞද්ධකමට වඩා යූ ඇන් පී කම මතුවීමෙන්. සිංහලයන් අවුරුදු දෙදහස් ගණනක් බුද්ධාගම, බුදුසසුන රැකගෙන පෝෂණය කළා. එය අපේ උරුමය හා වගකීම. අද ලෝකයේ ථෙරවාදයක් ඇත්තේ සිංහලයන් නිසා. ලංකාවට පමණක් නොව මේ ලොවට ම කවදා නමුත් සෙතක් ගෙන දිය හැක්කේ ථෙරවාදයටයි. අප එය රැක ගන්නවා ද නැද්ද? ගිහියන්ට බැරි නම් භික්‍ෂූන් වහන්සේ පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වන්නේ නම් සසුනට ඉන් වැඩක් වනු ඇති. විග්නේස්වරන් මල්වත්ත හා අස්ගිරිය දෙමගක යන බව කිව්වා. ඔහු ඉන් සතුටු වන බව රහසක් විය නොහැකියි. අප භේද වී සිටින තාක් මංගලලා සිංහල බෞද්ධයනට තවත් පහර දේවි. අපට පක්‍ෂයට වඩා රට ජාතිය ආගම වැදගත්. අපේ පරම යුතුකම බුද්ධාගම රැක ගෙන පෝෂණය කිරීම මිස පක්‍ෂය රැක ගැනීම නො වෙයි. 









මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 28