Main Logo

Saturday 16 September 2017

යුද්දෙන් දිනාගන්න බැරි වූ ඊළම හා පට්ටපල් බොරු  


යුද්දෙන් දිනාගන්න බැරි වූ ඊළම හා පට්ටපල් බොරු


අද බොහෝ දෙනා කතා කරන කරුණක් බවට පත් වී ඇත්තේ දෙමළ ජාතිවාදීන් යුද්දෙන්  දිනාගන්න බැරි වූ දේ වෙනත් ආකාරයකින් දිනා ගන්න හදන බව. මෙය පට්ටපල් බොරුවක්. මා එය කියන්නේ විද්‍යාව පට්ටපල් බොරු කියන අර්ථයෙන්  නො වෙයි. ලංකා වෙබ් සංස්කාරක/පරිපාලක ධර්මසිරි වීරසිංහ නීල මහා යෝධයා නමින් කියන්නේ පට්ටපල් බොරු ය යන අර්ථයෙන්. ධනපාල නමැත්තා පසුගිය දා ලංකා වෙබ් අඩවියේ පළ කළ මඩ ගැහිල්ලකට අසංග නමින් දක්වන ලද ප්‍රතිචාරයකට  පිළිතුරක් ලෙස නීල මහා යෝධයා මෙසේ කියනවා.


“As I have mentioned in one of my notes that the Indian archaeological evidence shows that when Vijaya Singhe landed in Lanka there was an advanced civilisation already in Lanka which was the Hela civilisation. Origin of Sinhala which easily be explained as union of Hela with Sinha dynasty producing a new culture and a nation now we call Sinhala.

I have not come across any article by Nalin De Silva contributing to Hela origin. Instead he is trying to link modern science with Abrahamic religion and discouraging Sinhala only speaking .kids for learning Science.”

මෙහි මා ගැන කියන ඡෙදයෙහි සංක්‍ෂෙප සිංහල පරිවර්තනයකට අනුව නීල මහා යෝධයාට මා විසින් හෙළ සම්භවය පිළිබඳ ලියන ලද එක් ලිපියක්වත් හමු වී නැහැ. මා  විද්‍යාව ඒබ්‍රහමික ආගම සමග සම්බන්ධ කර සිංහල පමණක් කියවන සිසුන් විද්‍යාව ඉගෙනීමට අධෛර්යමත් කරන බව කියනවා. පළමු කී දේ ඇත්තක් වන්න පුළුවන්. මා ලිියූ සියලු ලිපි ඔහු කියවා නැතිව ඇති.  එහෙත් සිංහලයන්ගේ යක්‍ෂ උරුමය ගැන මා කියන්නේ දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ. සිංහලයන්ගේ ආරම්භයට සිංහයන්ගෙන් වූ දායකත්වයත් මා කියා තිබෙන බව ඒ ලිපි කියවූ අය දන්නවා. යක්‍ෂ ගෝත්‍රික හා අනෙක් හෙළ ගෝත්‍රිකයන් සිංහ වාංශිකයන් සමග සිංහල ජාතිය ගොඩනැගු ආකාරය මා කියා ඇත්තේ ඇතැමුන්ගේ විරුද්ධත්වය මැද.



දෙවැන්න නම් පට්ටපල් බොරුවක්. මා කියා ඇත්තේ බටහිර විද්‍යාව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වන බවත් එය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය වන බවත්. සිංහල බෞද්ධයන් බුදුදහම බටහිර විද්‍යාත්මක යැයි පැවසුවත් එක් සිංහල බෞද්ධයකුටවත් අද වන තුරු අඩුම තරමෙන් ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. බටහිර විද්‍යාව නිර්මාණය වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මිස ඊනියා ලෝක සංස්කෘතියක හෝ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හෝ නො වෙයි. මා සිංහල පමණක් කියවන සිසුන් බටහිර විද්‍යාව ඉගෙනීමට අධෛර්යමත් කරනවා යන්න පට්ටපල් බොරුවක්. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කීමෙන් බටහිර විද්‍යාව ප්‍රතික්‍ෂෙප කළ යුතු බවක් මා කොහේවත් කියා නැහැ. එහෙත් නීල මහා යෝධයාගේ පට්ටපල් බොරු නම් මා ප්‍රතික්‍ෂෙප කරනවා. අප කරන්නේ බොරු හා පට්ටපල් බොරු ගෙතීම පමණයි. අප මේ බොරු හා පට්ටපල් බෙරුවලින් කොටසක්  ප්‍රතික්‍ෂෙප කරනවා. ඉතිරි කොටස සමග අප නිවන් අවබෝධ කරගන්නා තුරු ජීවත් වෙනවා.  



මගේ පූර්විකාව මා හිතුවාට වඩා දික් වූවා. දෙමළ ජාතිවාදීන්ට යුද්දෙන් දිනාගන්න බැරි දේ ඔවුන් අද වෙනත් ක්‍රමවලින් දිනාගන්න උත්සාහ කරනවා යන්න නම් ප්‍රතික්‍ෂෙප කළ යුතු පට්ටපල් බොරුවක්. ඇතැම් ජාතිකවාදීන් ඒ බව කියන්නේ දෙමළ ජාතිවාදයේ ඉතිහාසය පිළිබඳ නො දැන. මේ ජාතිකවාදීන් සිතන්නේ දෙමළ ජාතිවාදීන් ඊළම දිනාගන්නට සූදානම් වුනේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් පසුව කියා ද? එසේත් නැත්නම් දෙමළ ත්‍රස්තවාදයත් සමග ඊළම් සටන ඇරඹි බව ඔවුන් සිතනවා ද?  මේ ජාතිකවාදීන් ද මගේ සියලු ලිපි කියවා නැති බව පැහැදිලියි.



දෙමළ ජාතිවාදය බෞතීස්ම කරනු ලැබුයේ 1831 දී. පොන්නම්බලම් රාමනාදන්ට හා පොන්නම්බලම් අරුණාශලම්ට තිබූ ප්‍රශ්නය වූයේ ඊනියා ලාංකික ජාතියේ නායකයන් බවට පත් වීම. ඒ බැරි බව තේරුම් ගැනීමෙන් පසු ඔවුන් සිංහලයන්ට විරුද්ධ ව කටයුතු කළා. වවස්ථාදායක සභාවේ සිංහල නියෝජනය වැඩිවනවාට විරුද්ධව ඔවුන් දිගින් දිගට ම කටයුතු කළා. කාට හරි අහන්න පුළුවන් ඒත් ඔවුන් ඊළමක් වෙනුවෙන් සටන් කෙළේ නැහැ නේද කියා. ඔවුන්ට අවශ්‍ය වූයේ මුළු ලංකාව ම පාලනය කිරීම. එකල මෙරට ඉංගිිරිසි උගතුන් අතර නායකයා වූයේ රාමනාදන්. ඔවුන්ට අවශ්‍ය වූයේ මෙරට නායකත්වය සිංහලයන්ට නොදීමට. සිංහල නියෝජනය වැඩි කිරීමට ඔවුන් විරුද්ධ වූයේ එබැවිනුයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දෙමළ යනුවෙන් මතයක් පැතිරවීමේ අරමුණ වූයේ දෙමළ ජනවාර්ගිකයන්ට මෙරට ප්‍රධාන පාලකයන් වීමට හැකි බව කීමයි. ශ්‍රී වික්‍රම රජු වඩිග වුවත් ඔහු රජකම ලබා ගත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමටයි. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙහි දෙමළ අත්සන් තැබීමක් ගැන කියන්නේත් දෙමළ ඊනියා රාජ්‍ය භාෂාව වූ බව කීමට.



රාමනාදන්ගේ හා අරුණාශලම්ගේ අදහස් ඉතා භායනකයි. ඔවුන් සාර්ථක වූවා නම් උතුර හා නැගෙනහිර නොව  මුළු රට ම ඊළමක් බවට පත් වීමට ඉඩ තිබුණා. 1931 දී ජී ජී පොන්නම්බලම් පනහට පනහ ඉල්ලුවේ සිංහලයන් සුළුතරය කිරීමට. ඔහුගේ යෝජනාව වූයේ සිංහලයන්ට මන්ත්‍රී ආසනවලින් සියයට පනහකුත් අනෙක් අයට සියයට පනහකුත් හිමිවිය යුතු ය යන්න නො වෙයි. සිංහල නොවන්නන්ට සියයට පනහක් වෙන් කළ යුතු බවයි ඔහු කීවේ. ඉතිරි සියයට පනහ නැවත සිංහලයන් හා අසිංහලයන් අතර බෙදීමට ඔහු යෝජනා කළා. සුන්දරලිංගම් අයිලොම් (එදා ඊලම් ලියූ හැටි) ගැන කතා කෙළේ හතළිහේ දශකයේ. පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී නාගනාදන් කියා හිටියේ සිංහලයන්ට දැන් ඉංගිරිසින්ගෙන් නිදහස හිමි වී ඇති බවත් දෙමළ ජනයා දැන් සිංහලයන්ගෙන් නිදහස ලැබිය යුතු බවත්.



දෙමළ වෙල්ලාලයන්ට මුළු රටේ ම නායකයන් වන්නට බැරි බව තේරුම් ගත් පුද්ගලයා චෙල්වනායගම්. ඔහු ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තේ 1949 දී රජයේ ලිපිකරු සේවා සංගම් කාරයාලයේ දී. කලක් මේ වෘත්තීය සමිතිවල නායකත්වය දැරුවේ දෙමළ අය. ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවා ගත්තේ දෙමළ රාජ්‍යයක් පිහිටවීමට මිස වෙනත් කාර්යයකට  නො වෙයි. අදත් මේ පක්‍ෂය ක්‍රියාත්මක වෙනවා. චෙල්වනායගම් සිංහල ජනයා නොමග යැවීමට ඒ පක්‍ෂය ෆෙඩරල් පක්‍ෂය ලෙස ඉංගිරිසියෙන් නම් කළා. එමෙන් ම ඔහු කියා සිටි කරුණක් වූයේ දැන් ටිකක් පසුව හුඟක් යන්නයි. එහි තේරුම දැන් ෆෙඩරල් පසුව ඊළම යන්නයි. අදත් දෙමළ ජාතිවාදීන් ක්‍රියාත්මක වන්නේ ඒ ප්‍රතිපත්තියෙහි පිහිටා. ඔවුන් ටිකෙන් ටික තම අරමුණ කරා යනචා. ඔවුන්ගේ සූත්‍රය සන්ධීය, සහසන්ධීය හා වෙන ම රාජ්‍යය යන්නයි. දැනටමත් ඔවුන් දහතුනෙන් ලංකාව සන්ධීය කරගෙන.



ප්‍රභාකරන් මේ අරමුණ වෙනුවෙන් ආයුධ ගත්තා පමණයි. අරමුණ හුඟක් කල් සිට පැවතෙනවා. දෙමළ ජාතිවාදීන් යුද්දෙන් බැරි වූ දේ වෙනත් අයුරකින් දිනාැනීමට කටයුතු කරනවා නො වෙයි. ඔවුන් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වී ඇත්තේ ඒ සඳහායි. අප ඒ බව අමතක කළ යුතු නැහැ. හමුදා ජයග්‍රහණයෙන් පසු දෙමළ ජාතිවාදය ම, ඒ සමස්ත ක්‍රියාවලිය ම  දේශපාලනික ව පරාජය වුණා. අප අද දෙමළ ජාතිවාදීන්ට කිසිම ඉඩක් නොදිය යුතුයි. නන්දිකඩාල් ජයග්‍රහණයත් සමග දහතුන ද දේශපාලනික ව පරාජය වුණා. අද එය නීති පොතෙන් (ව්‍යවස්ථාවෙන්) ඉවත් කළ යුතුයි. 



දෙමළ ජාතිවාදීන් යුද්දෙන් දිනා ගන්න බැරි වූ දේ වෙනත් ආකාරයකට (ව්‍යවස්ථාවෙන්) දිනා ගැනීමට යනවා නො වෙයි. සිංහලයන්ගේ මෝඩකම නිසා සිංහලයන්ට දෙමළ ජාතිවාදයේ විකාශය නොතේරෙන නිසා දෙමළ ජාතිවාදීන් පියවරක් පස්සට ගෙන එය අලුත් දෙයක් ලෙස පෙන්නනවා. දෙමළ ජාතිවාදයේ වත්මන් ස්ථාවරයත් නන්දිකඩාල් සමග පරාජය වුණා. එයට ඉඩක් නැහැ.              





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 16