Main Logo

Monday 25 September 2017

මුහුණු පොතෙන් ඉවත්වීම  


මුහුණු පොතෙන් ඉවත්වීම



තවත් රැවටීමක් එළිපත්තේ ලිපියට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඇතැමුන් සිතන්නේ ප්‍රතිචාර මදි නිසා මා මුහුණු පොතෙන් ඉවත් වෙනවා කියා. එක් අයකු කියා තිබුණේ ආධ්‍යාත්මික බලයක් වර්ධනය කර ගැනීමට මුහුණු පොතෙන් ඉවත් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙත් ප්‍රතිචාර මදි නිසා ඉවත් වීම තර්කානුකූල නැහැ කියා. ඔහු මට තර්කය කියා දෙන්නේ ඔහුගේ තර්ක හැකියාවන් මා නොදන්නේ යැයි කියා හිතා ගෙන වෙන්න ඇති. තර්කය යනු කුමක් ද හේතුව යනු කුමක් ද යන්න ගැනවත් ඇතැමුන්ට කිසිම හැඟීමක් නැහැ. මේ සමහරුන් මගෙන් ඉගෙන ගත් අය. මා අදක්‍ෂ ගුරුවරයකු යන්න නම් ඉන් ගම්‍ය වෙන්න පුළුවන්.




මුහුණු පොතේ බොහෝ අය කිසිම වැඩකට සූදානම් අය නො වෙයි. ඒ අය ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට එරෙහි ව ඊනියා ප්‍රතිචාරයක්වත් ලියා නැහැ. රනිල් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අදිටන් කරගෙන ඉන්නවා. ඔහුට බටහිර හා ඉන්දීය සහාය ලැබෙනවා. ව්‍යවස්ථාවට විරුද්ධව මට  එතරම් දෙයක් කරන්න බැහැ. මට අවශ්‍ය සහායක් මුහුණු පොතේ අයගෙන් ලැබෙන්නේ නැහැ. මා සමග රට වටේ ගොස් ව්‍යවස්ථාවට විරුද්ධ ව ජනමතයක් ඇති කිරීමට කී දෙනෙකු සූදානම් ද? ජාතික ව්‍යාපාරයෙනුත් මා කොන් කරලා. ජනමාධ්‍යයෙන් තැනක් දෙන්නේ නැහැ. මට පිරිසක් හෝ ශක්තිමත් ආර්ථිකයක් හෝ නැහැ.



එකල නම් අප කිහිප දෙනකු (නාලක හිමි, කස්සප හිමි, වෛද්‍ය කමලදාස) චන්ද්‍රිකාගේ පැකේජයට විරුද්ධව රට වටේ ගියා. එයින් ප්‍රයෝජනයක් අත් වුණා. අද මට එසේ කිරීමට ශක්තියක් නැහැ. අද කෙරෙන්නේ බොරු බව මට වැටහෙනවා. ඊනියා මාධ්‍ය සාකච්ඡා, සමීප රූප ආදියෙන් කෙරෙන මාධ්‍ය සංදර්ශන පමණයි අද ඇත්තේ. අද බොහෝ දෙනා සූදානම් වන්නේ ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලැබීම වැළැක්වීමට.



මෛත්‍රිපාලගේ කල්ලියේ කී දෙනකු ව්‍යවස්ථාවට විරුද්ධව ඡන්දය දේවි ද? ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන ඒවි ද? නොගෙනාවොත් තුනෙන් දෙක වළක්වන්නේ කෙසේ ද? රනිල්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට නොගෙනවිත් සම්මත කර ගන්න පුළුවන්. දැන් අහන්න එපා ඒ කොහොමද කියලා. මා ඒ සියල්ල කලින් විස්තර කර දී තිබෙනවා. කාලය ලිපි කියවන්න. ජනමාධ්‍ය ඒ ලිපි සත පහකට ගණන් ගත්තේ නැහැ.



ඒකාබද්ධ විපක්‍ෂය තවමත් ව්‍යවස්ථා මණ්ඩලයේ ඉන්නවා. ඔවුන්ට එහි කරන්න පුළුවන් කාර්යය කුමක් ද? මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට ඔවුන්ගේ දායකත්වය කුමක් ද? ඔවුන් ඒ සම්බන්ධ මෙහෙයුම් කමිටුවට කියා ඇතැයි කියන දෙයක්වත් අපට නොකියන්නේ ඇයි? අද ඒකාබද්ධ විපක්‍ෂය තුනෙන් දෙකක් වැළැක්වීම ගැන කියමින් අප රවටනවා.



අප ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කළ යුතු දේ කරන්නේ නැහැ. රට වටේ ගොස් එයට විරුද්ධව ඡන්දදායකයන් සංවිධානය කරන්නේ නැහැ. දන්නේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරු කිරීම පමණයි. එය කරන්නේ කොහොම ද? සල්ලි බෙදල ද? ඒකාබද්ධ විපක්‍ෂයට දෙමළ ජාතිවාදී ප්‍රශ්නය ගැන අවබෝධයක් තියෙනවා ද? දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්නය කුමක් ද කියා ඒකාබද්ධ විපක්‍ෂය දන්නවා ද? නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන තවදුරටත් දේශපාලනික ව වලංගු නොවන බව ඔවුන් දන්නවා ද?



මා මුහුණු පොතෙන් ඉවත් වන්නේ ප්‍රතිචාර හිඟයක් නිසා නො වෙයි. එහි වැඩක් කරන්න පිරිසක් නැති නිසයි. මේ අය අඩුම තරමෙන් ශ්‍රාස්ත්‍රීය වැඩකටවත් සහභාගි වන්නේ නැහැ. ඉතිහාසය ගැන කරුණු සෙවීමට පොරොන්දු වූ පිරිසක් ඉන් පසු පැත්ත පළාතක ආවේ නැහැ. පසුගිය ලිපියට ප්‍රතිචාර අඩු වුණේ එහි වැඩක් කරමු යන යෝජනාව තිබුණ නිසා. වැඩක් කරන එක ප්‍රතිචාර දැක්වීම තරම් පහසු නැති නිසා.



ජනමාධ්‍යත් ජාතික ව්‍යාපාරයත් මා කොන් කරද්දී මට කරන්න පුළුවන් ඉතා සීමිත වැඩ කොටසක් පමණයි. මා එය හිතවත් දෙතුන් දෙනකු සමග කරන්නන්. එය ලේනා වලිගයෙන් මුහුද සිඳීමට ගත් උත්සාහය හා සමානයි. ඒකාබද්ධ විපක්‍ෂයේ බොරු කතාවලින් මාධ්‍ය සංදර්ශනවලින් රට අගාධයට යෑම වළක්වන එක ඉතාමත් අසීරු දෙයක්. ජනමාධ්‍ය හිට් කෑලි කියන්නන්ට ප්‍රචාරය දෙමින් තම ඇගයීම් (රේටින්) වැඩි කර ගන්නවා. හිට් කෑලි කියන්නන් ව්‍යාජ වීරයන් බවට පත්වෙලා මිනිසුන් මුළා කරනවා.



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 25