Main Logo

Thursday 21 September 2017

රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය


රනිල්ගේ ප්‍රජාතන්ත්‍රවාදය



තිබෙන නරක ආණ්ඩු ක්‍රමවලින් හොඳ එක ප්‍රජාතන්ත්‍රවාදය බවට මතයක් බටහිර තිබෙනවා. වින්ස්ටන් චර්චිල් ද එයට සමාන දෙයක් කියා තිබෙනවා. ඒ බටහිරයන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන දේ. අපට ඔය ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණෙත් එංගලන්තයෙන්. පාර්ලිමේන්තුව ඇති වුණේ එංගලන්තයේ. අගමැති, කතානායක ආදී ධුර ද අපට ලැබුණෙ එංගලන්තයෙන්. ධුරය විතරක් නොවෙයි රනිලුත් ලැබුණෙ එංගලන්තයෙන්. බටහිර දැනුම ද අපට වැඩියෙන් ලැබුණෙ එංගලන්තයෙන්. බටහිර විද්‍යාවත් එහෙමයි. නිව්ටන් හිටියෙත් එහෙ. එයාගෙ ගුරුත්වාකර්ෂණෙ ගඳ සුවඳ දන්න කවුරුන්වත් නැහැ. ඒත් ඒක අප ඇත්ත කියලා කියනවා. බටහිර විද්‍යාව ඊනියා සත්‍යය කියලා කියන්නෙ අපේ රටේ විතරක් නො වෙයි. ඇතැම් පඬියකුට නොතේරුණත්, අප සයන්ස් කියන දැනුම් පද්ධතියට විද්‍යාව කිව්වත් වෙන නමක් කිව්වත් අපට ඒක ඊනියා සත්‍යය වෙන්නෙ බටහිරයන් ඒක ඊනියා සත්‍යය හැටියට ගන්න නිසයි. මේ සියල්ල බටහිර ආධිපත්‍යය. පාර්ලිමේන්තුවෙන් ලැබෙන්නෙත් බටහිර ආධිපත්‍යය.




පාර්ලිමේන්තුවට සෙංකෝලය උස්ස ගෙන එන එක මහා ගාම්භීර වැඩක් හැටියට අප සලකනවා. ඒත් වාසුදේව ඒක දවසක් උස්සන් ගියා. අද පළාත් සභාවල සෙංකෝල කඩන්නෙ දෙවෙනි ඉනිමෙ අවන්ත අනුහස්ගෙ පිත්ත කඩනවා වගේ. අපි අනුහස්ලා ගැන කතා කරාට අනුහස්ලා අප ගැන කතා කරන්නෙ නැහැ. ඔවුන්ට අනුව අප හිට් කෑලි තියා වර්තමානෙ ගැනවත් දන්නෙ නැති මැන්ටල්. අපට ඇඩ්වටයිසින් තේරෙන්නෙ නැහැ. ඇඩ්වටයිසින් දන්නෙ නැති අය ගැන දන්නෙ අඹු දරුවො විතරයි. අපි වගේ නොවෙයි මෛත්‍රිපාල ඇඩ්වටයිසින් දන්නවා. ඒත් එයාගෙ කතාව අහන්න අඹුවයි දරුවොයි නැත්නම් වෙන කවුරුන්වත් නිව්යෝක් මෙගා සිටියෙන් හොයා ගන්න බැරිවෙයි කියල හිතුවද දන්නෙ නැහැ.



මේ සෙංකෝලෙට තියෙන ගෞරවය මොකක් ද? බලාගෙන යනකොට පිත්තයි සෙංකෝලෙයි දෙක ම ලැබිල තියෙන්නෙ එංගලන්තෙන්. එංගලන්තෙට පින් සිද්ද වෙන්න එංගලන්තෙ පැවැත්වෙන ඊළඟ ලෝක කුසලානෙට ලංකාවට කරදරයක් නැතිව යන්න පුළුවන් වෙලා. අපට එංගලන්තෙ නැතුව ම බැහැ. එංගලන්තෙ තමයි ක්‍රිකට් ක්‍රීඩාවට වෙන ක්‍රීඩාවක නැති දෙවෙනි ඉනිමක් ලබා දුන්නෙ. ඒත් අපට දෙවෙනි ඉනිමක් ලැබෙන පාටක් නැහැ. මැකො කියන විධියට නම් මැච් එක ගහන්න පිච් එක හදල නැහැ. තිබුණ පිච් එක හොඳ නැතිලු.



එංගලන්තෙ අප දිහා හොඳින් බලාගෙන ඉන්නවා.  මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ක්‍රියාත්මක වෙන බවට ඔවුන් සහතික දෙනවා. යහපාලනෙ නිසා යම්තම් ප්‍රජාතන්ත්‍රවාදයයි ක්‍රිකටුයි දෙක ම බේරිලා. අපි දැන් එංගලන්තෙ කියන ඕන ම දෙයක් කරනවා. අතුරුදහන් වූවන්ගෙ කාර්යාල පිහිටුවනවා. අතුරුදහන් වූවන් එංගලන්තෙ හිටියත් අතුරුදහන් කළා යැයි කියන අය ලංකාවෙන් එංගලන්තෙට හරි වෙන රටකට හරි ගෙනියන්න පනත් හදලා දෙනවා. ඒ පනත් අමුතු ක්‍රමයෙ ඒවා. ඒ පනත් රනිල්ගෙ ප්‍රජාතන්ත්‍රවාදයෙ පනත්. ඒ පනත් නිසා  අපට ජී එස් පී + ලැබෙනවා. කාටද ආඩම්බරේ.



රනිල් ප්‍රජාතන්ත්‍රවාදය ඉගෙන ගත්තෙ ජේ ආර් මාමගෙන්. මාමගේ ප්‍රජාතන්ත්‍රවාදයෙ ජනමත විචාරණයක් කියලා එකක් තිබුණා. ඒකත් බටහිරින් ගත්ත එකක්. ජනමත විචාරණයට ලාම්පු කළගෙඩි සෙල්ලම කියලත් කියනවා. ඒ සෙල්ලමෙන් පස්සෙ පාර්ලිමේන්තුව කල් දාගත්ත. ජනමත විචාරණය එක් දින සීමිත ඕවර තරගයක් වගේ. ඒකෙ දෙවෙනි ඉනිමක් නැහැ. එක දවසෙන් වැඩේ ඉවරයි. රනිල්ට අද ඕන වෙලා තියෙනවා පළාත් සභා ඡන්ද නොපැවැත්වීමට. රනිල්ගෙ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එක දවසෙ පැවැත්වීම කියන්නෙ නොපවත්වනවාට. ඒකෙ දෙවෙනි ඉනිමක් නැහැ. කවදාවත් පිච් එක හදන්නෙ නැහැ. මැකෝටත් ප්‍රශ්නයක් නැහැ. අර ඡන්ද ලැයිස්තු පිළියෙළ කරන්නෙ අහවල් දේකට ද? 



රනිල්ගෙ ප්‍රජාතන්ත්‍රවාදයෙ තියෙන වචන ඉගෙන ගන්න ටිකක් කල් යනවා. ජ වි පෙ නායක අනුර නම් ඒව දන්නවා. අනුර ඉන්නෙ රනිල්ගෙ මැච් නොපවත්වන ප්‍රජාතන්ත්‍රවාදයෙ. මැච් එක ගැහුවොත් අනුරට වෙන්නෙ ලයනල් සඳුන්ට වෙච්ච දේ. රනිල්ගෙ පනතෙ පළාත් සභා නැහැ. තියෙන්නෙ පළාත් ආයතන. දැන් ඒ පනත අනුරගෙයි සම්බන්ධන්ගෙයි පිහිටෙන් තුනෙන් දෙකේ ඡන්දෙන් සම්මත වෙලා. පළාත් සභාවල වැඩ පාර්ලිමේන්තුවෙන් තීරණය වෙලා. සම්බන්ධන්ගෙනුත් සහායෙන්. විග්නේස්වරන් මොනව කියාවි ද දන්නෙ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙට නම් ඒක ප්‍රශ්නයක් වෙලා. එහි උපදේශකයො සිංහල බෞද්ධ විරෝධීන්.



කාන්තා නියෝජන ප්‍රතිශතය සියයට තිහක් කරන එක හරි ද? ඇමති ධුරත් සියයට තිහක් කාන්තාවන්ට දුන්නොත් නරක ද? රටේ නොවෙයි ලෝකයේවත් කාන්තාවො සියයට තිහක් දේශපාලනයට උනන්දු ද? ලංකාවෙ කාන්තා දේශපාලනඥයන් හුඟ දෙනෙක් දේශපාලනයට ඇවිත් ඉන්නෙ එක්කො පියා නිසා, නැත්නම් ස්වාමි පුරුෂයා නිසා. කාන්තාවන් ඔය කියන තරම් පිරිසක් නිසගයෙන් දේශපාලනට එන්නෙ නැහැ. පිරිමින් සියයට තිහක් ගෙදර වැඩට හිත දෙන්නෙත් නැහැ. රනිල්ට ඡන්ද නොපවත්වන්න ඕන  වුණාම විතරක් කාන්තාවන් ඕන. කාන්තාවන් හා පිරිමින් අතර තියෙන ගුණාත්මක වෙනස රනිල්ට තේරෙනවා ද? විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන සිසුන්ගෙන් සියයට පනහක් පිරිමි විය යුතු යැයි කියලා පනතක් ගෙනෙමු ද? 



අතුරුදහන් වූවන් ගැනත් රනිල් කියන්නෙ බයිලා. එයා කියනවා පනත බලපාන්නෙ අනාගතයට කියලා. ඒක ඇත්ත. ඒ්ත් පොඩි කොස්සක් තියෙනවා. මට අනාගතයෙදි ආරංචියක් ලැබුණොත් අවුරුදු විසිපහකට ඉස්සෙල්ල ඊනියා අතුරුදහන් වුවකු ගැන මට ඒ ගැන අනාගතයෙ දී ක්‍රියා කරන්න පුළුවන්. අතුරුදහන් වීම අනාගතයෙදි සිද්ධ වෙන්න ඕන නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙට බැහැ රනිල්ට සාර්ථක ව මුහුණ දෙන්න. රනිල් එංගලන්ත නියෝජිතයා. ඒකාබද්ධ විපක්‍ෂෙ පුරෝහිතයො දහතුනට පක්‍ෂයි. එහි බොහෝ දේශපාලනඥයනුත් දහතුනේ ඉන්නෙ. ඇඩ්වටයිසින් කාරයොත් මේ පුරෝහිතයන්ට තැන දෙනවා. ආයෙ දෙවෙනි ඉනිමක් නැහැ. අනුහස්ට තේරෙනව ද මන්ද.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 21