Main Logo

Monday 18 September 2017

විස්සේ අවුල


විස්සේ අවුල


විස්ස ගැන අද තරමක කතාවක් පවතිනවා. විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවේ පළාත් සභා ඡන්ද කල් දැමීමට. බොරු කයිවාරු කියෙව්වත් ආණ්ඩුව මැතිවරණවලට බයයි. පහුගිය අවුරුදු දෙකට ආණ්ඩුව එක මැතිවරණයක්වත් පවත්වලා නැහැ. පවත්වපු සමුපකාර ඡන්දවලින් එ ජා ප පරාදයි. මෛත්‍රිපාලගේ කල්ලියට ඇපත් නැහැ. මෛත්‍රිපාල ඒක නොදන්නවා නො වෙයි. මෛත්‍රිපාලත් රනිලුත් එකතු වෙලා අද කරන්නෙ මැතිවරණ කල් දාන එක. මෛත්‍රිපාල රනිලුත් එක්ක එකතු වෙලා ශ්‍රී ල නි පක්‍ෂ සම්මේලන පැවැත්තුවට වැඩක් නැහැ. මෛත්‍රිපාලගෙ වෛරය හා බය නිසා රට අගාධයට යනවා.



විස්ස ගැන කිහිප දෙනකු උසාවි ගියා. ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ පිළිබඳ තීන්දුව කතානායකට යවලා. ඒක රහසක්. ඒත් මේ රටේ රහස් නැහැ. අනෙක් අතට මිනිසුන් නඩු තීන්දුව මෙහෙමයි කියලා විවිධ මත පළ කරනවා. අද ඒ පිළිබඳ ව තියෙන ප්‍රධාන මතය තමයි විස්ස සම්මත කර ගැනීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතුය කියන එක. එය එහෙම ද කියලා කියන්න අපට බැහැ. සමහරවිට ඒක ඇත්ත වෙන්න පුළුවන්. එහෙම නම් ඒක හොඳයි. ඒත් ආණ්ඩුව ජනමත විචාරණයක් පවත්වා වි ද? ආණ්ඩුවට ඒ පිළිබඳ ජනමත විචාරණයක් දිනීමට තරම් ජනබලයක් නැහැ. ඒත් දිනන්න පුළුවන් වෙන ක්‍රමවලින්.


විස්ස මගින් පළාත් සභාවල කටයුතුවලට මැදිහත් වීමක් වන නිසා එය පළාත් සභාවලට යොමු කරන්න සිද්ධ වුණා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ දහතුන් වැනි සංශෝධනයට අනුව. විශේෂයෙන් ම අද ඇති සංශෝධිත ව්‍යවස්ථාවේ 154 G (2) (b), 154 G (3) (b)  අනුව. මේ වගන්ති දෙක ම ජේ ආර් සම්මත කර ගත්තෙ ව්‍යවස්ථා විරෝධී ව. ඒ බව අප කිහිප වරක් ම කියා තියෙනවා, ලියා තියෙනවා. ඒත් කිසිවකු ඒ ගැන තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ. අඩු තරමින් මා වැරදි නම් ඒ බව කියන්නේත් නැහැ. මේ ලිපි ලිවීමෙන් රටට වැඩක් වෙන්නෙ නැති බවත් මා දන්නවා.


ඉහත සඳහන් වගන්ති අනුව විස්ස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙනවා. දහතුන  සම්මත වී ඇති ආකාරයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නැහැ. දහතුන කෙටුම් පතේ එහෙම තිබුණත් ජේ ආර් ඒ ජනමත විචාරණ කතාව ඉවත් කළා. තුනෙන් දෙක පමණක් තියෙන්න ඇරියා. 


යම්කිසි ආකාරයකින් ශ්‍රෙෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තීරණය කර ඇත්නම් ඒ ඉහත සඳහන් වගන්ති අනුව නො වෙයි. ඉහත සඳහන් වගන්ති අනුව තීරණයක් දුන්නොත් එයින් සිදු වන්නේ දහතුන තවත් තහවුරු වීම පමණයි. ඒත් ශ්‍රෙෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් පැවැත්විය යුතුය ලෙස තීරණයක් දී ඇත්නම් ඒ කර ඇත්තේ ජනතාවගේ පරමාධිපත්‍යය ගැන ඇති ව්‍යවස්ථා සැලකිල්ලට ගෙන. 


ජනතාවගේ පරමාධිපත්‍යය ගැන කියැවෙන්නේ තුන්වැනි ව්‍යවස්ථාව අනුව. එහි ජනතාවගේ ඡන්ද බලයත් අඩංගු වෙනවා. මේ ව්‍යවස්ථාව ඇතුළු තවත් ව්‍යවස්ථා කිහිපයක් සංශෝධනය කිරීමට නම් අසූතුන්වැනි ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍යයි. පළාත් සභා මැතිවරණ එක දවසක තිබීමට යෝජනා කිරීම මගින් ඇතැම් පළාත් සභාවල වාසය කරන ජනතාවගේ ඡන්ද බලය යම්කිසි කාලයකට නැති කරනවා. එය ජනතා පරමාධිපත්‍යයට හානියක්. විස්සට ජනමත විචාරණයක් පැවැත්විය යුතු නම් එසේ කෙරෙන්නේ අසූතුන්වැනි ව්‍යවස්ථාව යටතේ. ඒ එසේ නම් එයින් තහවුරු වන්නේ පළාත් සභා නොව ජනතා පරමාධිපත්‍යයයි.


ආණ්ඩුව ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වුවොත් දෙමළ ජාතික සංධානය එයට විරුද්ධ වීමට ඉඩ තියනවා. ඒ ජනතා පරමාධිපත්‍යයක් නිසා නොව විස්ස මගින් පළාත් සභාවල අයිතියක් පාර්ලිමේන්තුව ඩැහැ ගන්නේ ය යන නිගමනය මත. එවිට ජනමත විචාරණයක දී උතුරේ හා නැගෙනහිර යම් ප්‍රමාණයක් ඡන්ද ආණ්ඩුවට විරුද්ධව දෙන්න ඉඩ තියෙනවා. ආණ්ඩුවට එවිට ජනමත විචාරණයක් පවත්වා දිනිය හක්කේ හුදු මර්දනයෙන් පමණයි. ආණ්ඩුවට සයිටම් බොරු නිදහස් අධ්‍යාපන විරෝධය දඩමීමා කරගෙන මර්දනයක් දියත් කරන්නත් පුළුවන්. 


කොහොමත් විස්ස සම්මත නොවුණොත් මැතිවරණ කොමිසමට ඇතැම් පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට සිදු වෙනවා. ආණ්ඩුව ඒ ප්‍රශ්නයට කෙසේ මුහුණ දේවි ද?  මෛත්‍රිපාල කල්ලියට එහි දී ඇපත් නැති වෙනවා. රනිලුත් සමහර විට එයට, එනම් මෛත්‍රිපාලගේ ඇප නැති කිරීමට, කැමති වෙන්නත් පුළුවන්. අද ඒකාබද්ධ විපක්‍ෂය කළ යුත්තේ විස්ස පිළිබඳ ඇති විවිධ විකල්ප සාකච්ඡා කර ඒ සඳහා සූදානම් වීමයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයට සැලැස්මක් නැහැ. වැල යන පැත්තට මැස්ස ගැසීමට දක්‍ෂ ඊනියා දේශපාලන විචාරකයන්, පඬියන් නම් ඒකාබද්ධ විපක්‍ෂයට ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ගෙන් පසුගිය කාලයේ සිදු වී ඇති සේවය කුමක් ද? ඔවුන්ගේ උපදෙස්වලින් ආණ්ඩුව තහවුරු වෙනවා. ඇතැමුන් පඬියන් මෙන් කියන්නේ කවදා හරි ආණ්ඩුවට මැතිවරණයක් පැවැත්වීමට සිදු වේවි කියයි! ඒකාබද්ධ විපක්‍ෂය මේ පඬියන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. මේ පඬියන් ඒකාබද්ධ විපක්‍ෂය සමග සිටින්නේ රනිල් ඔවුන්ට තැනක් නොදෙන නිසා පමණයි.


ප්‍රාදේශීය සභා මැතිවරණ නොපැවැත්වීම මගින් ආණ්ඩුව තුන්වැනි ව්‍යවස්ථාව කඩකර ජනතා පරමාධිපත්‍යය උදුරා ගෙන ඇත් ද? ඒ සම්බන්ධයෙන් මල් පොහොට්ටුවට ගත හැකි පියවරක් වේ ද? ජනතා  පරමාධිපත්‍යය උදුරා ගන්නා පාලකයන්ට පත්තනික්කුජ්ජනය හෙවත් පාත්‍ර අනෙක් පැත්ත හැරවීමට අපේ හාමුදුරුවරුන්ට හැකි ද? උන්වහන්සේට අදාළ දේශපාලනඥයන් සහභාගි වන සියළු රැස්වීම් හමුවීම් ආදියට සහභාගි නො වී සිටිය හැකි ද?  





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

http://www1.kalaya.org

නලින් ද සිල්වා

2017 සැප්තැම්බර් 18