Main Logo

Wednesday 27 September 2017

සිංහල වෙදකම


සිංහල වෙදකම





බටහිර විද්‍යාව යනු එකම දැනුමවත් ඊනියා විද්‍යාත්මක ක්‍රමය යනු දැනුම ලබාගැනීමට ඇති එකම ක්‍රමයවත් නො වෙයි. බටහිර විද්‍යාව යනු තවත් දැනුමක් පමණයි. බටහිර වෛද්‍ය විද්‍යාව යනු බටහිර දැනුමෙහි එක් තාක්‍ෂණික දැනුමක්. එය රෝග හා රෝග නිවාරණය පිළිබඳ දැනුමක්. ආයුර්වේද වෙදකම හා සිංහල වෙදකම තවත් වෙදකම් දෙකක්. එයට අමතරව හෝමියෝපති වැනි තවත් වෙදකම් තියෙනවා. ඒත් අද මෙරටත් ආධිපත්‍යය ඇත්තේ බටහිර වෙදකමට. එය දේශපාලනය හා බලය මත පදනම් වූවක් මිස ඊනියා සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟාවීමක් මත පදනම් වූවක් නො වෙයි.




අද මෙරට සිංහල වෙදකමට ඇත්තේ ඉතාමත් පහත් තත්වයක්. ආයුර්වේද වෙදකම සිංහල වෙදකමට ඉහළින් ඇති අතර බටහිර වෙදකම ඒ සියල්ලට ම  ඉහළින් තියෙනවා. බටහිර වෙදකම වියුක්තයි. එහි සැත්කම් නම් එතරම් වියුක්ත නැහැ. ශල්‍ය වෛද්‍යවරුන්ට පංචෙන්ද්‍රිය ගෝචර අවයව සමග කටයුතු කරන්නට වෙලා තියෙනවා. සිංහල වෙදකමෙත් ශල්‍ය වෛද්‍ය කර්ම තිබුණු බවට සාධක තියෙනවා.



පොළොන්නරුවේ ආළහන පිරිවෙන් කැනීම්වල දී ශල්‍ය වෛද්‍ය කර්මයෙහි යොදා ගන්නා උපකරණ හමු වී තියෙනවා. බුද්ධදාස රජතුමා හොඳ පශු ශල්‍ය වෛද්‍යරයකු ද වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරණවා. සිංහල වෙදකමේ සැත්කම් නොතිබුණා නම් තමයි පුදුම වෙන්න ඕන. කැඩුම් බිඳුම් වෙදකම ගැන හොඳ වාර්තාවක් සිංහල වෙදකමේ තියෙනවා. සිංහල වෙදකම ආයුර්වේදය තරම්වත් වියුක්ත නැහැ. එවැනි වෙදකමක පංචෙන්ද්‍රිය ගෝචර ශල්‍ය වෛද්‍ය කර්ම තියෙන්න ම ඕන.



සිංහල වෙදකමට තැනක් නොලැබී ඇත්තේ සිංහලයන්ගේ ම දීන යටත් විජිත මානසිකත්වය නිසා. සිංහලයන්ට බටහිරයන් මෙරටට පැමිණෙන විට හොඳ වෙදකමක් තිබුණු බවට සාක්‍ෂි තියෙනවා. එහෙත් ඉංගිරිසි යටත් විජිතවාදීන් විශේෂයෙන් ම අධ්‍යාපනය මගින් අප මනස මුළුමනින් ම මෙන් දීන බවට පත්කර තියෙනවා. එහි අතුරු ඵලයක් ලෙස අප ඉන්දියාවට ද මානසික ව යටත් වී තියෙනවා. විසිවැනි සියවසේ මුල සිට අප සංගීතය හා වෙදකම ඉගෙනීමට ඉන්දියාවට ගොස් තියෙනවා. එංගලන්තයට ඉගෙනීමට ගිය අයට ඉංගිරිසි මානසිකත්වයක් ඇති වුණා වගේ ම ඉන්දියාවට ගිය අයට ඉන්දීය මානසිකත්වයක් ඇති වුණා. සුනිල් ශාන්තයන් වැනි කිහිප දෙනකුට පමණක් ඉන්දීය මානසිකත්වයෙන් කැඩීමට හැකි වුණා. ඒ නිසාම එතුමාට ප්‍රශ්න ඇති කළා. එහෙත් එතුමා එයින් වැට්ටවීමට බැරි වුණා.



ඕල්කට්තුමා මුල් වී ඇරඹූ ඊනියා බෞද්ධ පාසල්වලත් ඒ දීනකම දිගට ම පවත්වාගෙන ගියා. ඒ පාසල්වලත් පාඨමාලා සකස්වුණේ ක්‍රිස්තියානි ආකෘතියට අනුව. ඕල්කට්තුමා බෞද්ධයකු නොව පරම විඥානාර්ථවාදියකු වුණා. තියොසොෆි යන්න සිංහලට පරිවර්තනය කෙරුණේ පරම විඥානාර්ථය ලෙස. එහෙත් එහි  තේරුම දිව්‍ය ප්‍රඥාව යන්නයි. මෙය ෆිලොසොෆි යන්න ප්‍රඥාවට ඇති ආදරය ලෙස නොව දර්ශනය ලෙස පරිවර්තනය වීමට සමානයි. ඕල්කට්තුමා මෙරට පිහිටෙව්වෙ නිව්යෝක් තියොසොෆි සොසයිටියෙ ශාඛාවක්. මේ තියොසොෆියෙ ආසියාවෙ ප්‍රධාන කාර්යාලය තිබුණෙ දකුණු ඉන්දියාවෙ අද්යාර් ප්‍රදේශයෙ. ඕල්කටතුමාට වැඩිම වුණොත් තිබුණෙ ජාත්‍යන්තර බුද්ධාගමක්. මේ ගැන මා කලින් කාලය වෙබ් අඩවියෙ ලියා තියෙනවා. පසුව තවත් ලියන්න ඕන.



අද සංස්කෘතියෙ ප්‍රධාන කරුණු වන ගොවිකම, වෙදකම හා ගුරුකම (ඉගැන්වීම) තීරණය වන්නෙ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය විධියට. බටහිර ඉතා වියුක්ත වෙනවා. ඉන්දියාව තරමකට වියුක්තයි. එය වෛදික බමුණන්ගෙන් ලැබෙන්නක්. අපේ සංස්කෘතිය සංයුක්තයි. අප දැනුම ලබා ගන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන්, අනුමානයෙන් නොවෙයි. බටහිර දැනුම ලබා ගන්නේ අනුමානයෙන්. එහි ඇත්තේ හිතළු. සමහර හිතළු හරියනවා. හරියනවා කියන්නෙ හරි කියන එක නොවෙයි. ඔය හරියන බව මනින්නෙ සංඛ්‍යානාත්මක වෙසෙසියාව ආදී ක්‍රමවලින්.



පසුගිය ජූලි විසිපස්වැනි දා සයන්ටිෆික් කමියුනිටි සඟරාවෙ ලිපියක් පළවුණා මේ සංඛ්‍යානාත්මක වෙසෙසියාව පිළිබඳ ව. බටහිර වෛද්‍ය විද්‍යාවෙ දැනුම, ඊනියා සායනික නැහැසුම්වල සංඛ්‍යානාත්මක වෙසෙසියාව, බොහෝ විට රැඳෙන්නේ p අගය යනුවෙන් හැඳින්වෙන අගයක් මත. මේ අගය 0.05 සිට 0.005 දක්වා අඩුකළ යුතු යැයි එක්තරා කණ්ඩායමක් කියන බව ඒ ලිපියෙහි සඳහන් වුණා. අගය 0.05 ලෙස ගැනීම නිසා වැරදි නිගමනවලට පැමිණෙන බව ඒ කණ්ඩායම පෙන්වා දෙනවා. මේ අගය 0.0 කළ යුතු වුවත් එසේ කරන්නට බැහැ. බටහිර වෛද්‍ය විද්‍යාව වැරදි ඖෂධ නියම කිරීම වළක්වන්නත් බැහැ. ඖෂධ හරියනවා කියන්නේ ඖෂධ හරිය කියන එක නො වෙයි. 



සිංහල වෙදකමේ පදනම ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය. මෙහි ඉන්ද්‍රිය යන්නට මනසත් ඇතුල් වෙනවා. සිංහල බෞද්ධයනට ඇත්තේ ෂඩේන්ද්‍රිය. බටහිරයන් මනස මොළයට ඌනනය කරන්න හදනවා. ඔවුන් නාම රූප, රූපයට පමණක් සීමා කරනවා. අපේ බෞද්ධයන් යැයි කියා ගන්නන් සමහරු නාම රූප මත නොව රූප පමණක් මත පදනම් වන්නන්. ඔවුන්ට සිංහල වෙදකම තෙරෙන්නේ නැහැ. සිංහල වෙදකමේ කෘෂිරසායනික වකුගඩු රෝගයට පිළියම් තිබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ නැහැ. අප වෙදමහතකු මහාවිලච්චියේ ප්‍රදේශයේ වකුගඩු රෝගීන් සුව කළා. එයට ජනමාධ්‍ය ප්‍රචාරය දුන්නේ නැහැ. 



පසුගිය සති අන්තයේ මා වාහල්කඩ වෙද හාමුදුරුවන්ගේ ආශ්‍රමයට ගියා. උන්වහන්සේ රෝගීන් සුව කරන්නේ පත්තිණි මැණියන්ගේ දේව මණ්ඩලයේ ආධාරයෙන්. කලකට පෙර අප නාථ දේව මණ්ඩලයේ ආධාරය ලබා ගත් විට බටහිර විද්‍යාඥයන් අපට තර්ජනය කළා. ඔවුන්ගේ සංගම්වලින් මා ඉවත් කිරීමට ඇතැමකුට අවශ්‍ය වුණා. අප අත්දුටුවේ, අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් වක්‍ර ව ලබාගන්නේ, ප්‍රත්‍යක්‍ෂ දැනුමක්. එය ආධ්‍යාත්මික ව ලබා ගන්නක්. ආධ්‍යාත්මිකව ලබාගන්නා දැනුම එක්කෝ සෘජුව ම ලබාගන්න පුළුවන්. එහෙම නැත්නම් වක්‍ර ව අද්‍යශ්‍යමාන ප්‍රාණීන්ගෙන් ලබාගන්න පුළුවන්. අදෘශ්‍යමාන ප්‍රාණීන් ඉන්න බව පෙන්නීමට කියන අයට මා කියන්නේ ගුරුත්වාකර්ෂණය කියන පට්ටපල් බොරුව තියෙන බව පළමුව පෙන්වන්න කියා.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



http://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 27