Main Logo

Friday 8 September 2017

ලලිත් හිරබත් කන්නේ කා වෙනුවෙන් ද?


ලලිත් හිරබත් කන්නේ කා වෙනුවෙන් ද?



මා මෙහි කියන දේට මේ ලිපි කියවන බොහෝ දෙනා එකඟ නොවන්න පුළුවන්. මේ ලිපි කියවන සුළු පිරිසෙන් බහුතරය ඒකාබද්ධ විපක්‍ෂයට පක්‍ෂ අය. එහෙත් ඔවුන් අකමැති වුවත් ඒ සාකච්ඡා නොකර බැහැ. ලබන මැතිවරණයේ දී මට තරග කිරීමේ ආශාවක්වත් ඊනියා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යෑමේ අවශ්‍යතාවක්වත් නැහැ. ඡන්දය හෝ නායකයන්ගේ කැමැත්ත හෝ මගේ ප්‍රශ්නයක් නො වෙයි.




ලංකා වෙබ් අඩවියට අනුව මා අවස්ථාවාදියෙක්, මා බුද්ධාගමට විරුද්ධ අයෙක්. එයට ලියන ඇතැමුනට අනුව මා බටහිර විද්‍යාවවත් බුදුදහමවත් නොදත් අයෙක්. මා සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් කිසිවක් ඉගෙන නොගත්තත් ඉන් උපාධියක් දී ඉක්මනට පිටත් කළ අයෙක්.  තවත් අයට අනුව මා වැදගත් යමක් නොලිව් අයෙක්, විශේෂයෙන් ම පාසල් ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පොත් නොලියූ අයෙක්. මා කොළඹ විශ්වවිද්‍යාලයේ සිටිය දී විනය විරෝධී වැඩ කර නෙරපනු ලැබ පසුව මගේ මිතුරකු කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති වීමෙන් පසු එහි මහාචාර්ය පදවියක් ලබාගත් අමනයකු බව කියන්නන් ද සිටිනවා. එහෙත් මට පුදුම මා කොළඹ විශ්වවිද්‍යාලයේත් සහාය මහාචාර්ය පදවියක් දැරීමත් එය ලැබුණේ කෙසේ ද යන්නත් පිළිබඳ ව. මා දක්‍ෂයකු නොවන බව මා දන්නවා. මට මහාචාර්ය පදවියක් ලැබුණේ හැට වියේ දී. ඉහත සඳහන් මගේ මිතුරාට මහාචාර්ය පදවිය ලැබුණේ අවුරුදු තිස්පහේ දී. අවුරුදු තිහේ දී මහාචාර්ය පදවි ලැබූ අයත් ඉන්නවා.



මේ ලිපිය ලංකා වෙබ් චෝදනා සියල්ල සනාථ කරන එකක් ලෙස එයට ලියන එය කියවන අය සලකන්න පුළුවන්. මා ලියන දේ කියවන තුන්හාර සීයක්වත් ලෝකයේ විසිරී සිටීමත් පුදුමයක්. ඒ සංඛ්‍යාවත් අඩු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මා ලියන්නේ මගේ අවස්ථාවාදීබව නිසා විය හැකියි.



ලලිත් වීරතුංග හා අනුෂ  පැල්පිට හිරගෙදරට යෑම හිතට වේදනා ගෙන දෙන්නක්. මා අනුෂ නම් එතරම් දන්නේ නැහැ.  ලලිත් නම් දන්නවා. එහෙත් මෙය පෞද්ගලික ව ලියන්නක් නො වේ.  ඔවුන්ට ඇති චෝදනා අධිකරණයේ දී ඔප්පු වෙලා. දැන් නොයෙකුත් ප්‍රශ්න අහනවා. ලලිත් හිරේ ගියේ මොන වරදක් කරල ද? සිල් රෙදි බෙදුව හින්ද කියන එක අප බොහෝ දෙනා කියනවා.  සිල් රෙදි බෙදීම නිසා මෙලෙස හිරබත් නියම කිරීම නීති ගරුක දැයි ඇතැමුන් අහනවා. ඒ මදිවාට දඩත් නියම කරලා. සිංහල බෞද්ධ රටේ සිල් රෙදි බෙදීම වරදක් ද කියා අහන අයත් ඉන්නවා.



ඒ නඩු තීන්දුවේ වරදක් තියෙනවා නම් ඉහළ උසාවියකට, අභියාචනා අධිකරණයට යන්න පුළුවන්. මහින්ද රාජපක්‍ෂ කියා තිබුණේ නඩු තීන්දුවට විරුද්ධව අභියාචනාධිකරණයට යන බවයි. එහෙත් ඒ කටයුතුවල කෙළවරක් වන තුරු ලලිත් හිරබත් කාවි. මේ නීති හා අධිකරණ හිරගෙවල් පද්ධතිය අනුව යම් කිසි අයුරකින් ලලිත් හා අනුෂ පසුව නිවැරදි කරුවන් වුණත් ඔවුන් අද හිරබත් කෑම ගැන වන්දියක් ගෙවන්නේ නැහැ. නිරපරාදේ හිරබත් කෑමට සිදුවන අයට ඒ වෙනුවෙන් කිනම් වන්දියක් ගෙවිය යුතු ද? නීති විශාරදයන් ඒ ගැන කල්පනා කර තිබෙනවා ද?



මෙරට තිබෙන්නේ සිංහල බෞද්ධ නීති පද්ධතියක් නො වෙයි. එය ලන්දේසීන් අපට දුන් රෝම ලන්දේසි නීති පද්ධතිය. රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ හා දකුණු අප්‍රිකාවේ පමණයි. ඒ නීතියෙහි සිල් රෙදි බෙදීම නිවැරදි කියා නැහැ. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීමක් ගැන ව්‍යවස්ථාවේ සඳහන් වෙතත් ඒ විවරණය කරන්නේ කෙසේ ද කියා සඳහන් වන්නේ නැහැ. මේ රිලිජන් ඔෆ් බුද්ධො කියා ඩොයිලිලා කී පද්ධතියක් ද? රිලිජන් යන්නට අප ආගම කියා අද කියනවා. එය වෛදික අර්ථයකින් කියැවෙන්නක් නො වෙයි. මේ සංකල්ප නිරවුල් කර ගැනීමට නීල මහා යෝධයන් විරුද්ධයි. සිංහල බෞද්ධ නීති පද්ධතියක් ගැන තබා සිංහල බෞද්ධ විද්‍යාවක් ඇතුළු දැනුමක් ගැන කතා කිරීමත් මේ සිංහල බෞද්ධ රටේ වරදක් යැයි කියන්නේ තමන් සිංහල බෞද්ධයන් යැයි කියන්නන්. පඬියන්ට අනුව දැනුම බටහිර පෙරදිග බෞද්ධ ආදී වශයෙන් වර්ග කරන්න බැහැ. ඒත් වැව් තැනූ අයගෙන් පැවත එන පඬියන්ට බටහිර විද්‍යාවේ සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කර ගන්න බැහැ. වැව් තැනුවේ බටහිර විද්‍යාවේ ආධාරයෙන් ද?



අධිකරණය රෝම ලන්දේසි නීතියට අනුව තීරණය කර ඇත්තේ  ලලිත් අනුෂ වරදක් කර ඇති බවයි. ඔවුන් මහජන මුදල් අවභාවිතය කර ඇති බවයි.  අධිකරණය කියනවා ඒ දෙදෙනා එකී මුදල් පෞද්ගලික පරිහරණයට ගෙන නොමැති බව. එහෙත් අධිකරණයට අනුව ඔවුන් එකී මුදල් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් තමන් පත් කළ අයට ආධාර පිණිස යොදා තිබෙනවා. මේ 2015 ජනාධිපතිවරණයට ටිකකට කලින්. ඔවුන් පත් කෙළේ, අඩුම තරමෙන් ලලිත් පත් කෙළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බව කවුරුනුත් දන්නවා.



ලලිත් මේ මුදල් සිල් රෙදි බෙදීමට යෙදුවේ තමාගේ ම  සිතිවිල්ලක් අනුව ද? ඔහු තම වුවමනාවට මහින්ද රාජපක්‍ෂට ආධාර කිරීමට සිල් රෙදි බෙදුවා ද? නැත්නම් වෙනත් අයගේ වුවමනාවට සිල් රෙදි බෙදුවා ද? ඒ ප්‍රශ්නය අධිකරණයේ ඇසුවත් ලැබෙන පිළිතුරක් නැහැ. අධිකරණය සාමාන්‍යයෙන් එවැනි ප්‍රශ්න අහන්නෙත් නැහැ. අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර සිද්ධියට මැදිහත් වුණේ කාගේ වුවමනාවට ද? මා මේ සිල් රෙදිවලට හිරේ යැවුවා නම් බැඳුම්කරයට හිරේ යවනවා ද යන ප්‍රශ්නය අසනවා නොවනවා. එවැනි ප්‍රශ්නවල තර්කයක් නැහැ. මට අවශ්‍ය සිල් රෙදි බෙදීම පිළිබඳ තීරණය කාගේ ද කියා දැන ගැනීමට. එහෙත් එයට අපට ඇත්තේ හිතළු පමණයි. ඒ හිතළු සංයුක්ත හිතළු. බටහිර විද්‍යාවේ නම් ඇත්තේ වියුක්ත හිතළු පමණයි. ඒ සමහර හිතළු සන්නිකර්ෂණ ව හරියනවා. හිතළු දහස් ගණනකින් එකක් හරියනවා. හිතළුවලට පට්ටපල් බොරු යැයි කී විට ඕල්කට් බෞද්ධයන්ට ද්වේෂය ඇති වෙනවා, නිවන ඈත් වෙනවා.



ලලිත් සිල් රෙදි බෙදුවේ තමාගේ අවශ්‍යතාවකට කියා මා හිතන්නේ නැහැ. එහෙත් එය හිතළුවක් පමණයි. ඒ තීරණය වෙනත් අයගේ අවශ්‍යතාවට සිදු විණි නම් ඔවුන් දේශපාලන වාසි අවාසි නොබලා ඒ බව හෙළි කළ යුතු ය කියා මා හිතනවා. දේශපාලනයේ කිසිම ආකාරයක සදාචාරයක් නැති බවත් මා දන්නවා. ලලිත් තමාගේ ම නොවන තමාගේ තීරණයක් මත හිරබත් කනවා නම් එය ඉහළ ම පරිත්‍යාගයක් වුවත් ප්‍රශ්නයක් ඇති කරනවා.



ලලිත්ට හා අනුෂට ජනාධිපති සමාවක් දීමට මෛත්‍රිපාල ඉදිරිපත් වේවි ද? මේ සිල් රෙදි බෙදා ඇත්තේ ඔහුට ජනාධිපතිවරණයේ දී අවාසියක් ගෙන දීමටයි. ඔහු ඒ ගැන කෙසේ සිතනවා දැයි මා දන්නේ නැහැ. එහෙත් මා එකක් දන්නවා. ඔහුට වඩාත් ම තර්ජනයක් ඇත්තේ මහින්දගෙන් නොව රනිල්ගෙන්. ඒ බව කල් යෑමේ දී දැනගන්න පුළුවන් වේවි. අද මෛත්‍රිපාලට ජනාධිපතිකම අහිමි කිරීමට හැකි එක ම පුද්ගලයා රනිල්. රනිල් එසේ කිරීමට පළමු මෛත්‍රිපාල රනිල් අගමැතිකමෙන් ඉවත් කරනවා ද? ලලිත් හිරබත් කෑමත් සමගවත් මෛත්‍රිපාල ඒ ගැන සිතනවා ද? මා මේ ලිපිය ලියා ඇත්තේත් අවස්ථාවාදී ව ද? සිංහල බුද්ධාගමට පහර ගැසීමට ද?





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.






නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 08