Main Logo

Saturday 30 September 2017

ව්‍යවස්ථාවට ජයම්පතිගේ සාක්කි අවශ්‍ය නැහැ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු




ව්‍යවස්ථාවට ජයම්පතිගේ සාක්කි අවශ්‍ය නැහැ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු



මහානායක හාමුදුරුවරු කිහිප නමක් ව්‍යවස්ථාවෙ ඇතැම් කරුණු ගැන ප්‍රශ්න කරලා. මෛත්‍රිපාල ඒක පත්තරෙන් දැකලා ව්‍යවස්ථාවෙ අපට පෙනෙන ප්‍රධාන උපදේශක ජයම්පති වික්‍රමරත්නගෙන් අහලා මේ හාමුදුරුවරු ඒකීය බව නැතිවෙනව කියන්නෙ ඇත්ත ද කියලා. ප්‍රශ්නෙ දෙසැරයක් ම අහලා. ජයම්පති දෙසැරෙ ම  එහෙම වෙන්නෙ නෑ සර් කියලා. මෛත්‍රිපාලයි ජයම්පතියි දන්නෙ නැති වුණාට දැනටමත් මේ රට ඒකීය නො වෙයි. දහතුන්වැනි සංශෝධනයෙන් ඒකීය බව නැති කළා. රනිල් විතරක් නොවෙයි ජේ ආරුත් ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දු ගණන් ගත්තෙ නැහැ. දහතුනේ 154 G (2) (3) ව්‍යවස්ථා සඳහා ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට විනිසුරුවන් බහුතරයක් තීන්දු කරලා තියෙද්දි ජේ ආර් එහෙම කළෙ නැහැ. ඒ ව්‍යවස්ථාවල තිබුණු ජනමත විචාරණයක් පැවැත්විය යුතු ය කියන කොටස පමණක් ඉවත් කරලා පාර්ලිමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් කළා. ජේ ආර් ඒ සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට යොමු කරලා තීන්දුවක් ගත යුතුව තිබුණත් එහෙම කළේ නැහැ. අද රනිල් බෑණා ජේ ආර් මාමා හිටගෙන කරපු දේ දුව දුව කරනවා.



කොහොමටත් මෛත්‍රිපාලට ජයම්පතිගෙන් අහන්න තිබුණෙ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව ද කියලා. ව්‍යවස්ථාවෙන් ඒක කරන්න හදනවා. අගමැති බලය අතට ගන්න හදනවා. අද එ ජා පෙරමුණ කතා කරනවා 2025 වෙනකන් බලයේ ඉන්නයි මෛත්‍රිපාල ජනාධිපති ලෙස තියාගන්නයි. මේ 2025 වෙනකන් ඉන්න කතාව භයානකයි. ජනමත විචාරණයක් පවත්වලා ලාම්පු කළගෙඩි සෙල්ලමකින් හරි නැතුව හරි ව්‍යවස්ථාව සම්මත කරගෙන මෛත්‍රිපාල 2019 සිට 2025 දක්වා විධායක ජනාධිපති නොව නිකම් ජනාධිපති කිරීමට එ ජා පක්‍ෂය බලාපොරොත්තු වෙනවා. මෛත්‍රිපාල තවමත් මෙහෙයුම් කමිටුවෙ අතුරු වාර්තාව කියවලා නැතිලු. ඉක්මණින් ඒක කියෙව්වොත් හොඳයි. ඒ අප ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය අනුමත කරන නිසා නොවෙන බව අවධාරණය කළ යුතුයි. 

මෙතන වෙනත් ප්‍රශ්නයකුත් තියෙනවා. මේ ඉදිරිපත් කෙළේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාවක්. එය ඉදිරිපත් කළ යුතුව ඇත්තෙ ව්‍යවස්ථා මණ්ඩලයට මිස පාර්ලිමේන්තුවට නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය මේ මණ්ඩලයට සහභාගි වීමට ගත් වැරදි තීරණය නිසා අද පාර්ලිමේන්තුවේත් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේත් ඉන්නෙ ජ නි පෙ හැරෙන්න  එකම පිරිස. ඒ වුණත් මෙහෙයුම් කමිටුවෙ අතුරු වාර්තාව ඉදිරිපත් කරන්න ඕන ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයටයි. මෛත්‍රිපාල නම් කිව්වෙ ඒක ඉදිරිපත් කෙළෙ පාර්ලිමේන්තුවට කියලා. මෛත්‍රිපාල හරි ද කියලා රනිල් අපට කියලා දෙනව ද? ඒක කරු ජයසූරියගෙන් අහලා වැඩක් නැහැ. ඔහු උත්තරයක් දෙන්නෙ රනිල්ගෙන් අහලා. ඒ නිසා  ඒක කෙළින් ම රනිල්ගෙන් අහන්න පුළුවන්. 

කොහොමටත් ඒ කාරණෙ ඇරෙන්න වෙනත් පැහැදිලි කිරීම් අපට ජයම්පතිගෙන්වත් වෙනත් කාගෙන්වත් අවශ්‍ය නැහැ. මෛත්‍රිපාල ඒවා ගැන කරදර වෙන්න ඕනත් නැහැ. මහානායක හාමුදුරවරු ප්‍රකාශ කරලා තියෙන්නෙ මේ අවස්ථාවෙ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා. අපි දිගට ම ඒ ස්ථාවරයෙ ඉඳිමු. නව ව්‍යවස්ථාවක් ඇති කරන්න මෛත්‍රිපාලටවත් එ ජා පෙරමුණටවත් ජන වරමක් නැති බව අප කිහිප වතාවක් ම කියලා තියෙනවා.  අද නව ව්‍යවස්ථාව අවශ්‍ය වෙලා තියෙන්නෙ බටහිරට හා ඉන්දියාවට හා ඔවුන් විසින් මෙහෙයවෙන දෙමළ ජාතිවාදීන්ට.  

අප අද සංවිධානය විය යුත්තේ සිංහලයන් ලෙස මිස දේශපාලන පක්‍ෂවල හිතවතුන් ආධාරකරුවන් ලෙස නො වෙයි. මෙය රටේ ප්‍රශ්නයක් මිස දේශපාලන පක්‍ෂවල ප්‍රශ්නයක් නො වෙයි. දේශපාලන පක්‍ෂ විරෝධය පළ කිරීමේ වරදක් නැහැ. එහෙත් එය හුදෙක් දේශපාලන බලය පිළිබඳ ප්‍රශ්නයක් නොවිය යුතුයි. නව ව්‍යවස්ථාවට හෝ එයට සිංහල විරෝධී සංශෝධන ඉදිරිපත් කිරීමට හෝ අප විරුද්ධ විය යුතුයි.  

ඒ විරෝධතා ව්‍යාපාරයට එක්සත ජාතික පක්‍ෂයට ඡන්දය දෙන අයටත් සහභාගි වීමට හැකි විය යුතුයි. මෛත්‍රිපාලට ඡන්දය දුන් හැට දෙලක්‍ෂයේ ඇතැම් අයටත්, සිංහල පමණක් නොව දේශප්‍රේමි දෙමළ හා මුස්ලිම් ජනයාටත්, දහතුන වැරදි කියන අයටත් විරෝධතා ව්‍යාපාරයට එක්වීමට හැකි විය යුතුයි. මේ සම්බන්ධයෙන් පුළුල් පෙරමුණක් මා යෝජනා කරන්නේ නැහැ.  ඒ ඒ දේශපාලන පක්‍ෂවලට, ජාතික සංවිධානවලට තම තමන්ට හැකි ආකාරයෙන් විරෝධතා ව්‍යාපාරයේ කටයුතු කිරීමට හැකි විය යුතුයි. එහි එක ම අරමුණ විය යුත්තේ ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීමයි. 


ව්‍යවස්ථාව ඒකීය ද නැත් ද බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නේ ද නැද්ද ආදී ප්‍රශ්නවලට අප කොටු නොවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදී සිංහල විරෝධී ට්‍රොට්ස්කිවාදී ජයම්පතිලා එක්ක වාද කිරීම බැරි දෙයක් නො වෙයි.  මේ දෙමළ ජාතිවාදී මනදොළ සපුරන්න ගෙනෙන මේ ව්‍යවස්ථාව සිංහල විරෝධීයි. දැනුත් අප ඒකීය නොවන තත්වයක ඇති විට නව ව්‍යවස්ථාව කිසිසේත් ම ඒකීය වන්නේ නැහැ. අනෙක් අතට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම යන්න හුදු කතාවක් පමණයි. අද සරත් ෆොන්සේකාලා, රන්ජන් රාමනායකලා, මංගලලා, වියන්ගොඩලා ආදී සියලු සිංහල බෞද්ධ විරෝධීන් එක්ව භික්‍ෂූන් වහන්සේලාට අපහාස කරනවා. මෛත්‍රිපාලත් රනිලුත් ඒ සියල්ල අනුමත කරන්නේ තුෂ්නිම්භූතව. ඔවුන් ඉදිරියේ දී ඒ අයට විරුද්ධව කිසිවක් කීවත් අප එය පිළිගන්නේ නැහැ.  

අපේ කාර්යය සිංහල බුද්ධාගම රැක ගැනීමයි. ඒ සඳහා බෞද්ධ නොවන දේශප්‍රේමීන්ටත් එකතු වන්න පුළුවන්. සිංහල බෞද්ධ සංස්කෘතියක මුස්ලිමුන් ද පසුව කතෝලිකයන් ද ආරක්‍ෂා වුණා. ඒ ගැන අප කලින් ලියා ඇති. සිංහල බුද්ධාගම රැක ගත්තොත් එය සියල්ලන්ට ම සෙතක් වේවි. අද මෙහි ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක්. ඉහත නම් සඳහන් අය භික්‍ෂූන් වහන්සේට අපහාස කරන්නේ මේ ආධිපත්‍යය යටතේ. 

සිංහල විරෝධී ජාති ද්‍රෝහී ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු. සිංහල බුද්ධාගම රැකගෙන පෝෂණය කරමු. විවිධ ජාතික සංවිධාන ඒ සම්බන්ධයෙන් කටයුතු කරාවි යැයි හිතනවා. ඒත් ඔවුන් මට ආරාධනා නොකරන බවත් ජනමාධ්‍ය මට ඉඩක් නොදෙන බවත් මා දන්නවා.  අප චින්තන පර්ෂදය ලෙස  හැකි ආකාරයකට රැස්වීම් සංවිධානය කරනවා.


ව්‍යවස්ථාවට සිංහල විරෝධී ජයම්පතිලාගෙන් සාක්කි අවශ්‍ය නැහැ. මහානායක හාමුදුරුවන් අනුව යමින් අපි සිංහල විරෝධී ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කරමු. ජනමත විචාරණයක් පැවැත්වුවහොත් එහි දී අපි එය පරාජය කරමු. ආණ්ඩුව ජනමත විචාරණයට පෙර භීෂණයක් ඇති කරන්න ඉඩ තියෙනවා. අප ඒ සඳහා කිසිම නිමත්තක් නොසැපයිය යුතුයි. ව්‍යවස්ථාව සමග සංසන්දනය කිරීමේ දී අනෙක් සියලු ප්‍රශ්න ක්‍ෂුද්‍ර තත්වයට පත් වෙනවා. ඒ ප්‍රශ්න ගැන අවධානය යොමු කර ආණ්ඩුවට භීෂණය ඇති කිරීමට ඉඩ නොදිය යුතුයි.   





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 සැප්තැම්බර් 30