Main Logo

Tuesday 10 September 2019

ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ඡන්ද ලකුණ

  සිංහල ලිත් ඉලක්කම්

ජාතික අපේක්‍ෂක ගෝඨාභයගේ ඡන්ද ලකුණ



නැවතත් ගෝඨාභයගේ ඡන්ද ලකුණ ගැන කතාව මතුවෙලා. ශ්‍රී ල නි ප මේ කරන්නේ අනවශ්‍ය කේවල් කිරීමක්. මේ කේවල් කිරීම දැන් නවත්වා ශ්‍රී ල නි පක්‍ෂයත් පොහොට්ටුවත් පොදු එකඟත්වයකට එන්න ඕන. මේ සම්බන්ධයෙන් මා කලින් ලියා තියෙනවා.  ජූනි විසිහත්වැනි   දින ලිපියෙහි මෙසේ සඳහන් වෙනවා. මා මේ කරුණු නැවතත් ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනාට යමක් දැන ගැනීමට නම් ඒ කිහිප වරක් කිව යුතු නිසා.


“ගෝඨාභයට ආධාර කරන්නෙ කොහොම ද කියන ප්‍රශ්නය ගැන පමණයි. එහෙම නැතිව ගෝඨාභය පොහොට්ටුවෙ අපේක්‍ෂකයා ලෙස සලකා ශ්‍රී ල නි ප ගෝඨාභයට සහාය දෙන්නෙ කොහොම ද යන කාරණය ගැන නො වෙයි. අප තේරුම් ගත යුතු පළමු කරුණ නම් ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා බවත් ඔහු කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නොවන බවත්. ඔහු කිසි දා කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු විය යුතු නැහැ.

ශ්‍රී ල නි ප ගෝඨාභයට සහාය දෙනව ද නැත් ද කියන කාරණය සම්බන්ධයෙන් පළමු ව තීරණයක් ගන්න ඕන. ගෝඨාභය ඉදිරිපත් කරනු ලැබුයේ මහා සංඝයා වහන්සේ හා දේශප්‍රේමී ජනතාව විසින්. පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සිදු වූයේ පොහොට්ටුව ගෝඨාභයට සහාය දීම ප්‍රකාශ කිරීමක් පමණයි. එහි දී මහින්ද කියා සිටියේ ජනතාව ගෝඨාභය ඉදිරිපත් කර ඇති බවත් තමා හා පොහොට්ටුව එය අනුමත කරන බවත්. 

ගෝඨාභය පොහාට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා යැයි එහි දී කියැවුණේ නැහැ. පිවිතුරු හෙළ උරුමය සැප්තැම්බර් පළමුවැනි දා විශේෂ මහා සම්මේලනයක් කැඳවා ගෝඨාභයට සහාය පළ කරන්න යනවා. ඒ නිසා ගෝඨාභය පිවිතුරු හෙළ උරුමයේ ජනාධිපති අපේක්‍ෂකයා වන්නේ නැහැ. අප මේ කරුණ ඉතා හොඳින් පැහැදිලි කර ගත යුතුයි. ගෝඨාභය කිසිම පක්‍ෂයක අපේක්‍ෂකයා නො වෙයි.”

ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා බව කීම වැරදි මතයක් ප්‍රකාශ කිරීමක්. ඒ වැරැද්දට ජනමාධ්‍යයත් වග කියන්න ඕන. පොහොට්ටුවේ ඇතැමුන්ගේ උද්ධච්ඡ කතාත් එයට බලපානවා. පසුගිය ජූනි විසිඅටවැනි දින ලිපියෙහි මා මෙසේ කියා ඇති.

“එ ජා පක්‍ෂයේ මතභේද ඉදිරියේ පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි ප භේද හදාගන්න අවශ්‍ය නැහැ. ඒ භේද යම් ප්‍රමාණයකට හරි නැති වීම ගැන සතුටුයි. අප හැමදාමත් කියා සිටියේ ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා මිස පක්‍ෂයක අපෙක්‍ෂකයකු නොවන බවයි. මා අහගෙන සිටියා තිස්ස අත්තනායක කියනවා ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා බව. ඔහුත් එසේ කියන ජනමාධ්‍යවේදීනුත් වැරදියි. ශ්‍රී ල නි පක්‍ෂයත් ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා බව කියමින් කෝන්තරයක් හදාගෙන. මහින්ද එදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී කිව්වේ තමන් ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය අනුමත කරන බව පමණයි. ශ්‍රී ල නි පක්‍ෂයටත් ජාතික අපේක්‍ෂකයා වූ ද ෂඩ් මහා බලවේගයේ (පංච මහා බලවේගය හා රණවිරුවන්)  අපේක්‍ෂකයා වූ ද ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය අනුමත කරන්න පුළුවන්.” 

ගෝඨාභයගේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ල නි ප පොදු ජන පෙරමුණ අතර එකඟත්වයක් අනිවාර්යයෙන් ම තියෙන්න ඕන. මුස්ලිම් පක්‍ෂ ගැන නොව පොහොට්ටුව ශ්‍රී ල නි පක්‍ෂය ගැන සිතිය යුතුයි. ශ්‍රී ල නි පක්‍ෂක්‍ෂය සමග එකඟතාවක් ඇති කර නොගෙන මුස්ලිම් නායකයන් විවේචනය නොකර සිටීමෙන් පොහොට්ටුව කරන්නේ වරදක්. අනෙක් අතට ඡන්ද ලකුණක් අල්ලා ගෙන සමගියට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් සෙවීම ශ්‍රී ල නි ප කරන තදබල වැරැද්දක්.

අද ඇති වී තිබෙන ප්‍රශ්නයට එක් විසඳුමක් වන්නේ ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයකු නොවී පොහොට්ටුවෙන් තරග කිරීමයි. එයට පොහොට්ටුච කැමති වෙන්න ඕන. ඔවුනුත් මස් රාත්තල ම ඉල්ලා සිටින එක වැරදියි. පක්‍ෂයක සාමාජිකයකු නොවී පක්‍ෂයකින් තරග කරන්න පුළුවන්. මෛත්‍රිපාල හංසයාගෙන් තරග කෙළේ ඒ පක්‍ෂයේ සමාජිකයකු නොවී.

ගෝඨාභය අප්‍රසිද්ධ පක්‍ෂයකින් තරග කළා නම් මා වඩාත් කැමතියි. එහෙත් එය කළ නොහැකි නම් දැනට සුදුසු ම ක්‍රියා මාර්ගය පොහොට්ටුවේ සාමාජිකයකු නොවී පොහොට්ටුවෙන් තරග කිරීමයි. ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා මිස පක්‍ෂයක අපේක්‍ෂකයා නො වෙයි. ගෝඨාභය කිසි දිනෙක පක්‍ෂයක සාමාජිකයකු නොවිය යුතු බව මා නැවතත් අවධාරණය කරනවා.