Main Logo

Sunday 22 September 2019

දේශපාලනික ජාතික ව්‍යාපාරයේ අභාවය

         සිංහල ලිත් ඉලක්කම්


දේශපාලනික ජාතික ව්‍යාපාරයේ අභාවය

දේශපාලනික වූ ජාතික ව්‍යාපාරය පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී මිය ගියා. චම්පකගේ සිට මහින්ද දක්වා පැමිණි දේශපාලනික ජාතික ව්‍යාපාරය මාක්ස්වාදී පරඬැල් විසින් ද ඩැහැගනු ලැබුවා. පසුගිය සතියේ මිය ගියේ මේ ජාතික ව්‍යාපාරයයි. ඔවුන් ඒ ඒ කාලවල දී ජාතික ව්‍යාපාරයේ දේශපාලන පක්‍ෂ විසින් මෙහෙයවනු නොලැබූ අය උපක්‍රමික ව ක්‍රමයෙන් ඈත් කළා. වොයිස්කට් දේශපාලනය මගින් 2015න් පසුව විවිධ පුද්ගලයන් ජාතික ව්‍යාපාරයේ නායකයන් බවට පත් කරනු ලැබුවා. අවුරුදු තිහක් පමණ ජාතික ව්‍යාපාරයේ යෙදුණු අයගෙන් ඔවුන් ඉතිරි කර ගත්තේ ගුණදාස අමරසේකර පමණයි. 


එහෙත් අනෙක් අය මිය ගියේ නැහැ. අද නැවතත් ඔවුන් ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට පෙරට එනවා. ඒ අය කිසිම දේශපාලන පක්‍ෂයක් හෝ දේශපාලනඥයකු විසින් හෝ මෙහයවෙනු ලබන්නන් නො වෙයි. පොහොට්ටුව මේ තිබෙන තත්වයෙන්  නම් කිසි දිනෙක ජාතිකත්වයකට එන්නේ නැහැ. මහින්ද හැරෙන්න අනෙක් නායකයනට (නිලතල දරන්නන්ට) යම් ජාතිකත්වයක්වත් නැහැ. ඔවුන්ට ඇත්තේ සුළු ජාතිකත්වයක්. ගෝඨාභය පොහොට්ටුවේ සාමාජිකයකු නොවිය යුත්තේ ඒ නිසයි. 

මාක්ස්වාදී පරඬැල්වලින් ජාතිකත්වයක් බලාපොරොත්තු වීමට බැරි බව ගුණදාස අමරසේකර කෙසේ වෙතත් ජාතික ව්‍යාපාරයේ පැරැන්නන් දැන සිටියා. මාක්ස්වාදී පරඬැල් ජාතිකත්වය යොදා ගත්තේ බලය සඳහා මිස රට ජාතිය ආගම සඳහා නො වෙයි. ජාතියක් නැතැයි කියන මාක්ස්වාදීන්ට ජාතිකත්වයක් තියෙන්න විධියක් නැහැ. අද සිට අපේ සටන මාක්ස්වාදී පරඬැල් වෙතටත් යොමු කරන්න වෙනවා.

අප ජාතිකත්වයක් නැති සිවල් සාමාජිකයන්, ඊනියා විදග්ධයන්, දේශපාලන විචාරකයන්, ඉතිහාසඥයන්, දාර්ශනිකයන් ආදීන් සතසපහකටවත් ගණන් ගන්නේ නැහැ. ඔවුන්ට ජනමතයට කිසිම බලපෑමක් කරන්න බැහැ. ඔවුන් කරන්නේ බටහිර මතවාද පුනරුච්චාරණය කරන එක පමණයි.  අදටත් ප්‍රශ්න කිහිපයක් ඉතිරි වී ඇත්තේ ඔවුන්ට ඒ සඳහා බටහිරින්වත් පිළිතුරක් සොයා ගැනීමට බැරි නිසයි. දෙමළ කතා කරන ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද? මනසින් තොරව යථාර්ථයක් ඇති බව මනසින් තොර ව පෙන්වන්න පුළුවන් ද? මෙහි දෙවැනි මනසින් තොරව යන්න ඊනියා විදග්ධයන් ආදීන් තේරුම් ගත් බවක්වත් පේන්න නැහැ. ඊනියා යථාර්ථය ද්‍රව්‍යය නො වේ නම් ඒ ඊනියා යථාර්ථයෙන් ද්‍රව්‍යය ඇති වන්නේ කෙසේ ද? ගණිතයත් ඇතුළු කිසිම අදහසක් මනසින් තොරව පවතින්නේ නැහැ. කොහොමටත් ගණිතය කියා එකක් නැහැ. ඇත්තේ මිනිසුන් විසින් නිර්මාණය කෙරුණු ගණිත.

දෙමළ ජාතිවාදය ගැන අප අද තවත් දන්නවා. යාපනයේ ආර්ය චක්‍රවර්තීන් කවුරුන් වුවත් ඔවුන්ගේ වැසියන්ගෙන් අති විශාල බහුතරය සිංහලයන්, සිංහල බෞද්ධයන්. එයට අමතරව වේලක්කාර භටයන්ගෙන් පැවත එන්නන් සිටියා. මේ වේලක්කාරයන් සිංහල රජවරුන්ට සේවය සඳහා පැමිණි භටයන්. ඔවුන් මෙහි පදිංචි වූවා නම් එසේ කෙළේ සිංහල බෞද්ධ ස්ත්‍රීන් සමග විවාහ වීමෙන්. යම් පිරිසක් තනිකඩ ව ඉන්නත් ඇති. මේ වේලක්කාරයන්ගෙන් පැවත එන්නන්  ද සිංහල කතා කරන්න ඇති. ආර්ය චක්‍රවර්තීන්ට සිංහල රජුගේ ආධිපත්‍යය පිළිගනිමින් පාලනය කිරීමට සිදු වූයේ සිංහලයන් හරි සිංහල කතා කරන්නන් හරි. 

පෘතුගීසීන් පැමිණෙන විටත් යාපනයේ සිටියේ සිංහල බෞද්ධ බහුතරයක්. ලන්දේසීන් තමයි මලබාර් වෙරළෙන් වෙල්ලාලයන් දුම්කොළ වවන්න ගෙනාවෙ. වෙල්ලාලයන් සාංක්‍රමණිකයන්. ඔවුන් අස්වැන්නෙන් පසු ආපහු ගිය නිසා ඒක නවත්වන්න ලනදේසීන් 1707 දී තේසවලාමේ නීතිය සංගෘහිත කළා (ප්‍රභාකරන් ඔහුගේ සීයලා මාමලා බාප්පලා පොත කියවන්න. එය කාලය වෙබ් අඩවියේ තියෙනවා). ඒකෙන්ම තේරෙනවා වෙල්ලාලයන් මේ රටේ ස්ථිර පදිංචි කරුවන් නොවූ බව. 

මා කලින් හිතන් හිටියේ යාල්පානම් වෛපව මාලෙයි කවි පොත ලන්දේසි කාලෙ රචනා කරන ලද්දක් බවයි. නමුත් දැන් සාක්‍ෂි තියෙනවා ඒක ඉංගිරිසි කාලෙ කරපු එකක් බවට. ඉංගිරිසි කාලෙත් වෙල්ලාලයන් ආපහු ඉන්දියාවට ගිය නිසා ඉංගිරිසිනුත් නැවතත් තේසවලාමෙයි නීතිය පැනවූවා. ඉංගිරිසින් තමයි මේ සියල්ලට මුල. මුස්ලිම් නීතියත් ලංකාවෙ වලංගු කෙරුවෙ ඉංගිරිසින්. ඔවුන් මේ සියළු ජනකොටස් සිංහල බෞද්ධයනට විරුද්ධව යොදා ගත්තා. මේ විස්තර පසුවට.

අපට ඊනියා නිදහස ලැබී අවුරුදු 71ක් ගත වී ඇති නමුත් ඉංගිරිසින් පැන වූ මේ නීති එකක්වත් අයින් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිවට සිංහල දේශපාලනඥයන් නිසා. අද සිංහල දේශපාලනඥයන් දෙමළ හා මුස්ලිම් ජාතිවාදවලට යටවෙලා. දේශපාලනඥයන් විසින් මෙහෙයවුණු ජාතික ව්‍යාපාරයත් ඒ ජාතිවාදවලට යටවෙලා. ඒ යට වීමේ ප්‍රතිඵලයක් ලෙස දේශපාලනික ජාතික ව්‍යාපාරය පසුගිය දා බණ්ඩානායක ශාලාවේ දී මිය ගියා. 

ඒ සමග පැරණි ජාතික ව්‍යාපාරයට නැවතත් ශක්තියක් ලැබුණා. පරඬැල් මාක්ස්වාදීන් ජාතික ව්‍යාපාරයෙන් අහෝසි වීම අපට ශක්තියක්. අද ඒ ජාතික ව්‍යාපාරය සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට ක්‍රියා කරනවා. සිංහල බෞද්ධ රාජ්‍යයක් යටතේ පමණයි දෙමළ කතා කරන ජනයාටත් ඉස්ලාම් භක්තිකයනටත් බියක් සැකක් නැතිව ජීවත්වන්න පුළුවන්. 

අප ගෝඨාභය පාලනය සලකන්නේ සිංහල බෞද්ධ රාජ්‍යයක් කරා යන ගමනේ එක් අම්බලමක් හැටියට. එන් එම් පෙරේරා වරක් කීවේ සමාජවාදයට යන ගමනේ අම්බලම් නැහැ කියා. ඔහු ගිය සමාජවාදයක් නැහැ. සමාජවාදයක් නැතිව එහි යන්න බැහැ. ඒ නිසා කොහොමටත් අම්බලම් නැහැ. ඒත් සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට යන ගමනේ අම්බලම් කිහිපයක් තියේවි. ඒ ගමන එක් ඡන්දයකින් ඉවර වෙන්නෙ නැහැ.