Main Logo

Tuesday 24 September 2019

ගුරුකන්ද හා ඡන්ද කුට්ටි දේශපාලනය

           සිංහල ලිත් ඉලක්කම්





ගුරුකන්ද හා ඡන්ද කුට්ටි දේශපාලනය





ඊයේ මුලතිව්හි ගුරුකන්ද විහාරභූමියේ සිදු වූ දෙයින් පෙනෙනවා මෙරට සිංහල බුද්ධාමට ඇති තැන. ඊනියා නීතිය අනුව විහාරස්ථානයේ විහාරාධිපතින්වහන්සේගේ දේහය ආදාහනය කරන්න තිබුණේ විහාරස්ථානයට එපිටින් වැල්ලේ. එහෙත් උන්වහන්සේ අයත් සංඝ සභාවේ තීරණයක් අනුව දේහය විහාරස්ථාන භූමියේ ම ආදාහනය කෙරුණා. අපේ ගෞරවය හා ප්‍රණාමය සංඝ සභාවට. අප අධිකරණ තීන්දුව නොසලකා හරිනවා නො වෙයි. අධිකරණය තීන්දු දෙන්නේ රෝම ලන්දේසි නීතියට අනුව ඉදිරිපත් කෙරෙන පොලිස් වාරතා හා චෝදනා අනුව.




ඇතැමුනට හිතේවි සංඝ සභාව නීතිය අතට ගෙන ඇති බව. රෝම ලන්දේසි නීතිය මෙරටට හඳුන්වා දෙනු ලැබුයේ ලන්දේසින් විසින්. ඉංගිරිසින් එය දිගට ම පවත්වාගෙන ගියත් පසුව විවිධ ජනකොටස් වෙනුවෙන් විශේෂ නීති පැනෙව්වා. ඔවුන්ට අවශ්‍ය වූයේ සිංහල බෞද්ධයනට එරෙහිව අනෙක් ජනකොටස් සංවිධානය කිරීම. ඉංගිරිසින් දහඅටවැනි සිය වසේ අග මුහුදුබඩ පෙදෙස්වල බලය තහවුරු කර ගත්තා. පියසිරි අමරකෝන්ට අනුව එවකට ලන්දේසීන් කතෝලිිකයන්ට පනවා තිබූ සීමා නීති ඉංගිරිසින්1806 ජූනි හතරවැනි දා අයින් කර තිබෙනවා. 1806 අගෝස්තු පස්වැනි දා මුස්ලිම් නීතිය බලාත්මක කෙරිලා. ඉංගිරිසින් මේ සියල්ල කෙළේ බෙදා පාලනය කිරීම අනුගමනය කරමින්. ඔවුන්ට අවශ්‍ය වූයේ සිංහල බෞද්ධ බලය බිඳ දැමීමට.



1878 දී එස් ජෝන් නමැති ඇමරිකානු මිෂනාරි පාස්ටර්වරයකු යාල්පාන චාරිත්‍රම් නමින් පොතක් ලියා තියෙනවා. යාල්පානම් වෛපව මාලෙයි කවි පොත ඒ ආශ්‍රයෙන් ලියැවී ඇති බවත් එහි ඉංගිරිසි පරිවර්තනයක් 1879 දී පළ වී ඇති බවත් සඳහන් වෙනවා. යාල්පානම් වෛපව මාලෙයි ලන්දේසි යුගයේ 1736 දී  ලියූ පොතක් නොවන බව ජෝන් එච් මාටින් නමැත්තකු ලියා තිබෙනවා. ඉංගිරිසින්ට මේ සියල්ලෙන් අවශ්‍ය වූයේ මෙරට සිංහල බෞද්ධ රටක් නොවන බව කීමටයි. අද මංගල සමරවීරලා ගෙන යන්නේ මේ ඉංගිරිසි වුවමනාවයි. 



පෘතුගීසීන්ගේ කාලයේ සිට ම බෞද්ධ සිද්ධස්ථාන (දේවාලද ඇතුළුව - පත්තිනි දේවාල විෂ්ණු දේවාල සිංහල බුද්ධාගමේ දේවාල බව අමතක නොකළ යුතුයි.) කඩා බිඳ දමා ඒ තැන්වල කතෝලික දේවස්ථාන ඉදිකිරීමේ පිළිවෙතක් තිබුණා. ඒ පිළිවෙත ඊටත් වඩා පැරණිය කියන්න පුළුවන්. මෑතක දී කරණ ලද කැනීම්වලින් හෙළි වූයේ සොළීන් පොළොන්නරුවේ ශිව දේවාලය ඉදිකර  ඇත්තේ බෞද්ධ සිද්ධස්ථානයක් කඩා බිඳ දමා බව.



ක්වේරෝස් පියතුමා සඳහන් කර ඇති පරිදි ත්‍රිකුණාමලය යනු කොත් තුනක් සහිත කන්දකි. එහි මුහුදට නෙරා ඇති කොතෙහි පිහිටි චෛත්‍යය සිංහල රජකු (මේ රජු ගජබා රජු ද) විසින් තනන ලද්දක්. භක්තිමත් නාවිකයන් ඈත මුහුදේ සිට ම චෛත්‍යය වන්දනා කර තිබෙනවා. අද ගෝකණ්න විහාරය නැහැ. ඇත්තේ හින්දු කෝවිලක්. යටත්විජිත සමයෙහි කතරගම පමණක් නොච ශ්‍රී පාදය ද සිංහල බෞද්ධයනට අහිමි වෙලා.  මුලතිව් ගුරුකන්ද විහාරයට ද අද සිදුවෙමින් පවතින්නේ එයයි. පසුගිය ජූලි හත්වැනි දා ලිපියෙහි මා මෙසේ සඳහන් කර තියෙනවා.



අද ගුරුකන්ද විහාර භූමියේ විග්නේෂ්වරන් ඇතුළු පිරිස බෞද්ධයනට හිමි ව තිබූ සිද්ධස්ථානයක් අයිති කර ගන්න උත්සාහ කරනවා. මේ භූමිය ඓතිහාසික එකක්. එහෙත් පුරාවිද්‍යා කොමිසම නිහඬයි. මේ නිවට උගතුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය තනතුරු ලබා ගැනීම හා රැක ගැනීම පමණයි. ගුරුකන්ද ගැන මහින්ද, මෛත්‍රිපාල ආදීන් කියන්නේ කුමක් ද? ගෝඨාභය ඉන්නේ සිංගප්පූරුවේ. ඔහු බීබීසියට නම් ප්‍රකාශයක් කරල තිබුණා. දෙරණෙන් නරක ද චතුර අල්විස් හරි වෙනත් කවුරු හරි සිංගප්පූරුවට යවල ටෝක් විත් චතුර, බිග් ෆෝකස් (මේ වැඩසටහන්වලට සිංහල නම් දාගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා ද?) වැඩ සටහනකට ගෝඨාභය එක් කර ගන්න එක.



මහින්දලා මෛත්‍රිපාලලා ගුරුකන්ද ගැන නිහඬ දෙමළ කතා කරන ජනයාගේ ඡන්ද බලාපොරොත්තුවෙන් ද? ඒ ඡන්ද ඔවුන්ට කිසි දිනෙක ලැබෙන්නට වෙල්ලාල නායකයන් ඉඩ තියන්නේ නැහැ. ඒත් අර බොරු පංඩිතයන්ගේ ව්‍යාජ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙලා මහින්දත් මෛත්‍රිපාලත් බෞද්ධයන්ට සියල්ල අහිමි කරමින් සිටිනවා. රනිල් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඔහු උපන් ගෙයි සිංහල බෞද්ධ විරෝධියෙක්. රතන හිමියන් වසර දෙකකට පමණ ඉහත කිව්වෙ රනිල් ජාතිකත්වය අගය කරන අයකු කියා.  චම්පකට ඇත්තේ ජනාධිපති සිහිනය පමණයි. ඔහු ඒ වෙනුවෙන් ජාතිය විකුණන ඊනියා ජාතික මගක් හදා ගෙන. 



මෙරට බෞද්ධ නොවන සිද්ධස්ථාන බොහොමයක් හදා ගෙන තියෙන්නෙ බෞද්ධ සිද්ධස්ථාන තිබුණු තැන්වල. පොළොන්නරුවේ ශිව කෝවිල තියෙන තැන බෞද්ධ සිද්ධස්ථානයක් තිබූ බව අද පැහැදිලි වෙලා. පත්තිනි දේවාල කීයක් වෙනත් ආගමික සිද්ධස්ථාන කර ගෙන ද? 1892 ඉංගිරිසින් බෞද්ධ නොවන සිද්ධස්ථාන තැනීම සම්බන්ධයෙන් පැණ වූ අංක 4 දරණ ආඥා පනත ගැන දේශපාලනඥයන්ට කොච්චර කිව්වත් ඇහෙන්නෙ නැහැ. සමහරවිට දේශපාලනඥයන් හිතනවා ඇති අප කිසිවක් නොදත් මෝඩයන් කියා.”



ගුරුකන්ද විහාරය සම්බන්ධයෙන් සිංහල දේශපාලනඥයන් කිසිවක් නොකෙළේ දෙමළ ජාතික සංධානයේ ඡන්ද කුට්ටිය බලාගෙන. සිංහල දේශපාලනඥයන් මුස්ලිම්, තේසවලාමේ නීති පවත්වාගෙන යන අතර සිංහල බෞද්ධ උරුමය ඡන්දවලට පාවා දෙනවා. ඔවුන් 1892 නීතිය නැවත ක්‍රියාත්මක කළ යුතුයි. එවිට ගුරුකන්දවල් ඇති වන්නේ නැහැ. ඡන්ද කුට්ටි දේශපාලනයට තිත නොතිබීමේ ප්‍රතිඵලය තමයි දෙමළ ජාතිවාදී දේශපාලනඥයන් අධිකරණයට ගොස් ඉතා නින්දිත විධියට විහාරාධිපතීන්වහන්සේගේ දේහය විහාරස්ථ භූමියේ ආදාහනය කිරීම තහනම් කරමින් නියෝගයක් ලබා ගැනීම. සංඝ සභාව කර ඇත්තේ සිංහල නිවට දේශපාලනඥයන්ට පාඩමක් ඉගැන්වීමයි. හෙට මේ පිළිබඳ වැඩි දුරටත් කතා කරමු.