Main Logo

Saturday 7 September 2019

රනිල් දාං අදියි


      සිංහල ලිත් ඉලක්කම්


රනිල් දාං අදියි



එ ජා ප ජ්‍යෙෂ්ඨ උත්තමයන් තීරණය කරලා රනිල් ජනාධිපති අපේක්‍ෂක විය යුතු බවත් සජිත් අගමැති අපේක්‍ෂක විය යුතු බවත්. දැන් මේ තීරණයට සජිත් පිළ විරුද්ධ වේවි ද? නැත්නම් ඒ තීරණයට එකඟ වේවි ද? තම නායකයා ජනාධිපති අපේක්‍ෂක විය යුතු යැයි කියන විට සජිත් පිළට එයට විරුද්ධ වෙන්න පුළුවන් ද? සජිත් පිළ දැන් අලුත් පක්‍ෂයක් හදනවා ද?


සජිත් පිළ කියන්න පුළුවන් දිනන්න පුළුවන් සජිත්ට මිසක් රනිල්ට නෙවෙයි කියලා. සජිත් දිනන එක කොහොම වුණත් රනිල් පරදිවි. විරුද්ධ පක්‍ෂයෙන් කවුරු ආවත් රනිල් පරදීවි. රනිල් ඒ බව නොදන්නවා නො වෙයි. ජ්‍යෙෂ්ඨ උත්තමයන් ද ඒ නොදන්නවා නො වෙයි. මේ නවක වදයක් ද? නවකයා සජිත් ද? නැත්නම් අජිත් ද? වෙනත් කවුරුන් ද? එහෙමත් නැත්නම් මේ සාමූහික නවක වදයක් ද?

මේ එ ජා පෙරමුණු දේශපාලනඥයන්ගේ දාන් සමයයි. රටක් ගැන ඔවුන්ට මතකයක් නැහැ. කවදාවත් තිබුණෙත් නැහැ. ඔවුන් පාර්ලිමේන්තු එන්නෙත් නැහැ. පහුගිය දවසක ආණ්ඩුව ඡන්දයකින් පැරදෙන්න යන වෙලාවෙ කරුණාරත්න ජයසූරිය ක්‍ෂණයකින් මෙන් කතානායක අසුනට පැමිණියේ කතානායක නිල ඇඳුම නැතිව. වාසනාවකට සාමාන්‍ය ඇඳුම තිබුණා. කරුණාරත්න ජයසූරිය පැමිණ ඡන්දය නොපවත්වා සුපුරුදු විධියට පක්‍ෂ නායක රැස්වීමක් කැඳවල කල් ලබා ගත්තා. 

මෙයට කලින් පහුගිය ඔක්තෝම්බරයෙ කරුණාරත්න ජයසූරිය පාර්ලිමේන්තුවට ආවෙ මන්ත්‍රීවරුන් එන දොරකින්. ඒ ආවෙ ආරක්‍ෂක නිලධාරීන් පොලිස් නිලධාරීන් සමග. ඇවිත් කතානායක අසුනට ගියේ නැහැ. පාර්ලිමේන්තු සභා ගැබේ කොණක වාඩි වෙලා ශබ්ද විකාශන  යොදා ගෙන ආණ්ඩුව බේරා ගත්තා. සජිත්ට පුළුවන් ද ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයට සේවය කරන්න. බැරි නම් ජනාධිපති අපේක්‍ෂක වෙන්නෙ කොහොම ද? 

මේ දාං සෙල්ලමේ ඉත්තන් ඇදීමේ දී සලකා බලන්නේ තමන් අනෙක් අය කපා ගෙන ඉස්සරහට යන්නේ කොහොම ද කියන එක පමණයි. පාර්ලිමේන්තුවට ආවෙ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. ලක්‍ෂමන් කිරිඇල්ලයි කරුණාරත්න ජයසූරියයි ඒක බලා ගනීවි. කිරිඇල්ල ඉල්ලනවා ජයසූරිය දෙනවා. ඒකට තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. ලෝකෙ අනෙක් හැම පාර්ලිමේන්තුවකට ම ජයසූරිය – කිරිඇල්ල සංයෝගයෙන් ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. කාට ද ආඩම්බරේ?

දයාසිරි මොනව කළත් ජාතික හා වාම කේන්ද්‍රිය කඳවුරේ ජනාධිපති අපේක්‍ෂකයා ගෝඨාභය. දයාසිරි කේවල් කරන්නෙ මා හිතන්නෙ ජාතික අපේක්‍ෂකයා වෙනස් කර ගන්නෙ නෙවෙයි කියලා. ලබන සඳුදා වන විට කඳවුරේ පක්‍ෂ හතරක් ජාතික අපේක්‍ෂකත්වය අනුමත කරල තියේවි.  දයාසිරිට අවශ්‍ය ගෝඨාභය ඉවත් කරන්න නම් ඔහුට කඳවුරේ තැනක් නැති වී   සජිත් එක්ක එකතු වෙන්න වෙනවා. ඒත් දැන් එ ජා පක්‍ෂයෙ ජ්‍යෙෂ්ඨ උත්තමයන් තීරණය කරල රනිල් සජිත් කණ්ඩායමක් හැටියට කටයුතු කරන්න ඕන කියලා. දයාසිරි සජිත් සමග එකතු වුණොත් රනිල් එක්කත් වැඩ කරන්න වෙනවා. 

මේ කණ්ඩායම් වැඩේ හින්ද කාට ඕන වුණත් මෛත්‍රිපාල සජිත් වෙතට යවන්න බැහැ. මෛත්‍රිපාල රනිල්ට එකතු වෙන එකක් නැහැ. ඒත් ප්‍රශ්න ඉවර නැහැ. රනිල් මේ කරන්නෙ ඉහළ ම ඉත්තන් ඇදීමක්. සජිත් මේ යෝජනාවට කැමති නූණොත් ඔහු එ ජා පාක්‍ෂිකයන් අතර අප්‍රසාදයට පත් වේවි. සජිත් කැමති වුණොත් ඒ ඔහුගෙ අවසානය. රනිල් හොඳ දාං අදින්නෙක්. 

සජිත් යෝජනාවට කැමති වුණොත් සජිත් උණුසුම මැකිලා යනවා. ඒක රනිල්ට වාසියි. රනිල්ට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙලා දිනන්න බැහැ. ඒ කියන්නෙ ඉන් පසු පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයක් එ ජා පෙරමුණට දිනන්න බැහැ. ඒ කියන්නෙ සජිත් අගමැති වෙන්නෙත් නැහැ. අනෙක් පැත්තට රනිල් ජනාධිපති අපේක්‍ෂක වුණත් දිනන්න බැරි බව දන්න නිසා ඔහු අවසානයේ ඉදිරිපත් නොවී ඉන්නත් පුළුවන්. ඒ කියන්නෙ සජිත් ජනාධිපති අපේක්‍ෂක වෙන බව නො වෙයි. 

සජිත් උණුසුම මැකී ගියාට පස්සෙ රනිල්ට වෙනත් අයකු ඉදිරිපත් කරන්න පුළුවන්.  ඒ ආණ්ඩුවේ ගැලවුම්කරු කරුණාරත්න ජයසූරිය වෙන්න තියෙන ඉඩකඩ බොහොමයි. සජිත් පිළ මොනව කරයි ද?  මොනව කරන්න ද? වෙන ම පක්‍ෂයකින් ඉල්ලලා දිනන්න බැහැ.  දයාසිරිත් එක්ක එකතු වුණත් දිනන්න බැහැ. දයාසිරිටත් සජිත් එක්ක එකතු වෙලා දිනන්න බැහැ. කවුරු දිනුවත් පැරදුණත් රනිල් දිනුම්.