Main Logo

Thursday 5 September 2019

නීතිය, දේශපාලන මැදිහත්වීම් හා අසාද් සාලි

         සිංහල ලිත් ඉලක්කම්


නීතිය, දේශපාලන මැදිහත්වීම් හා අසාද් සාලි




අද අසාද් සාලි අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට වුවමනාවටත් වඩා හේතු තිබුණත් එසේ කෙරෙන්නේ නැහැ. ඉතා ම ඉහළ දේශපාලනඥයෙක් ඔහු ආරක්‍ෂා කරන බව පැහැදිලියි. අසාද් සාලි විතරක් නොවෙයි බද්‍යුද්දීන් හිස්බුල්ලා වැනි අයත් සිංහල දේශපාලනඥයන්ගේ ආරක්‍ෂාව ලබනවා. ඒ මුස්ලිම් ඡන්ද පෙරේතකම නිසා. සිංහල දේශපාලනඥයන් බෞද්ධයන්  ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතිය රකිනවා නම් අඩු තරමෙන් මුහුදු මහා විහාරය රකින්න යමක් කරන්න ඕන. කිසිම ප්‍රධාන දේශපාලනඥයෙක් කටක් ඇරලා ඒ ගැන කිසිවක් කියන්නෙ නැහැ. ඔය වොයිස්කට් මාධ්‍යවේදියොත් දේශපාලනඥයන්ගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්නෙ නැහැ.  


දේශපාලනඥයන් පොලීසියේ වැඩවලට ඇඟිලි ගහනවා. මේ ප්‍රශ්නය අද ඡන්ද සමගත් බැඳී තියෙනවා. මේ මැදිහත්වීම්  ගැන රසවත් නැති ආකාරයකට කතා කරන්න ඕන.  අසාද් සාලි සම්බන්ධයෙන් කොහොම වුණත් කලකට පෙර පොලීසියේ ම වැරදි නිසා දේශපාලනඥයන්ට පොලීසියේ වැඩවලට මැදිහත් වෙන්න සිද්ධ වුණා. දේශපාලනඥයන් රජයේ කාර්යාලවල රාජකාරියට මුලින් මැදිහත් වීමට පටන් ගත්තේ නිලධාරීන්ගේ වරදින්. රජයේ කාර්යාලයකට අද පමණක් නොව එදත් ගිය සාමාන්‍ය අයකුට රාජකාරියක් කරවා ගැනීම බොහෝ විට අමාරු වුණා. ඒ රාජ්‍ය සේවකයන් බොහෝ දෙනකුට (ලිපිකරුවන් ද කාර්යාල කාර්ය සහායකයන් ද ඇතුළුව) රාජ ඌෂ්ණය වැළඳී තිබුණා. සමසමාජ කොමියුනිස්ට් දේශපාලනය කරන්නන්ට ඇතැම් විට පොලීසියෙන්  කරදර සිදු වුණා. 

එවිට දේශපාලනඥයන්ට ඒ රාජ ඌෂ්ණයෙන් බැට කෑ අය වෙනුවෙන් මැදිහත් වීමට සිදු වුණා. මුල දී දේශපාලනඥයන් මැදිහත් වීම යුක්ති යුක්ත කරන්න කිසිවකු ඉදිරිපත් වේවි. ඒ කෙසේ වෙතත් රජයේ සේවකයන්ට අයිතිවාසිකම් ගැන මිස යුතුකම් ගැන කියා දීමට වෘත්තීය සමිති නායකයන් කටයුතු කෙළේ නැහැ. සිගාලෝවාද සූත්‍රය සුපුරුදු පරිදි බණට සීමා වුණා. නීතිය හා සංස්කෘතිය දුරස් වුණා. ඒ නීතිය සංස්කෘතිය මත පදනම් නොවීමේ ප්‍රතිඵලයක්. 

ඉස්සර සිරිත කියා කිව්වේ නීතියට. 1815 ගිවිසුම දක්වා ම ඒ තත්වය තිබුණා. ඉංගිරිසින් සිංහල නායකයන්ට පොරොන්දු වුණේ සිංහල සිරිත අනුව රට කරවන්න. එහෙත් ඔවුන් එසේ කෙළේ නැහැ. සංස්කෘතිය මත පදනම් වූ නීතියක් ඇති විට මිනිසුන්ට  පරස්පර ඇති වන්නේ නැහැ. නීතිය සංස්කෘතිය මත පදනම් නොවූ විට නීතියට ගරු කිරීමට අමුතුවෙන් ඉගෙන ගන්න වෙනවා. රෝම ලන්දේසි නීතිය සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ නීතියක් නො වෙයි.

අපට ලන්දේසීන් පැටවූ මේ නීතිය පමණක් නොව  වර්තමාන මාර්ග නීතිත් මූලික වශයෙන් බටහිරෙන් ලැබුණු දේ. ඉඩම් බෙදා වෙන් නොකෙරුණු රටකට ඉඩම් බෙදා දුන් විට ආරවුල් ඇති වීම ස්වාභාවිකයි. දැනට වසර හැටකට හැත්තෑවකට පමණ පෙර සිංහලයන් තාප්ප ඉදි කර තිබුණේ නැහැ. මා කියවා ඇති ලිපියක යාපනයේ සිට කොළඹ පිහිටි ලංකා විශ්වවිද්‍යාලයට පැමිණි සිසුවකු කොළඹ දී තල් වැටක් පමණවත් නොදැකීම ගැන පුදුමයට පත් වූ බව කියා තිබුණා. අප කුඩා කාලයේත් වෙනත් වතු උඩින් ගමන් කිරීම ප්‍රශ්නයක් වුණේ නැහැ. අද වෙනත් වතු උඩින් ගියොත් ආපහු තම වත්තට ඒමට කකුල් දෙක ඉතිරි වෙන එකක් නැහැ. 

ජාතික අපේක්‍ෂක ගෝඨාභය කියා තිබුණා නීති මගින් නොව ආකල්ප වෙනස් කිරීමකින් රියැදුරන් යහමගට (යහපාලනය නිසා මේ වචනවලටත් වෙනත් අර්ථ තියෙන්න පුළුවන්) ගන්නවා කියා. ඒ හොඳයි. අප තාමත් රිය පදවන්නේ පයින් යැමේ දී තිබූ ආකල්ප පදනම් කරමින්. බටහිර මෙන් නොව මෙරට රථවාහන පැදවීිමේ සංස්කෘතිය රටෙහි විකාශය වූවක් නො වෙයි. එයත් අප මත පැට වූ දෙයක්. එය අපේ සංස්කෘතිය සමග තවම පෑහී නැහැ. සාමූහිකත්වය මත පදනම් වූ අපට තවමත් අනෙක් අයගේ පෞද්ගලිකත්වය තේරෙන්නේ නැහැ. අප බටහිර පෞද්ගලිකත්වයෙන් අරගෙන තියෙන්නේ අපේ පෞද්ගලිකත්වය පිළිබඳ කොටස පමණයි. එය යුතුකම් නැතිව අයිතිවාසිකම් ගත්තා වගෙයි. සිගාලෝවාද සූත්‍රය බණට පමණක් සීමා නොකළ යුතුයි. නූතන ලෝකයට ගැලපෙන පරිදි තව තවත් දේ සිගාලෝවාද සූත්‍රයට පරිබාහිර ව එකතු කර ගන්න ඕන. මා මේ කියන්නේ සිගාලෝවාද සූත්‍රය වෙනස් කරණ්න කියන එක නොවන බව අවධාරණය කරණ්න (මට ණ් මූර්ධජ ව තියන්න හිතුණා - තොරණ කියන වචනයේ බහුවචනය තොරං ද?) ඕන.

අපට බටහිරයන්ට මෙන් වෙන් කරන එක පහසු නැහැ. ගෙවල් වටා තාප්ප බැඳගත්තත් අපට වෙන් කරන්න බැහැ. අප අපේ ගෙදර වතුර අල්ලපු ගෙදර වත්තට යවනවා. අපේ ගස්වල ගෙඩි වෙනත් වතුවලට වැටෙන්න සලස්වා ආරවුල් ඇති කර ගන්නවා. ඉන් පසු රෝම ලන්දේසි නීතිය අනුව නඩු කියනවා. අප අතර භාවිතා වන වචනයකට අනුව අප අනාගන්නවා. ඒ අපේ සංස්කෘතිය හා නීතිය අතර ඇති නොපෑහීම නිසා. යා දෙක නොරත රත සමග පැහීමක් නැත කියා තියෙන්නේ අපේ සංස්කෘතියේ.

අපට ඔය කියන තරම් සියුම් ව ඉරි ගසා විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වෙන් කරන්න බැහැ. ජේ ආර් ජයවර්ධන ප්‍රංශයේ හා එක්සත් රාජ්‍යවල ව්‍යවස්ථා අරගෙන ජනතාවගේ පරමාධිපත්‍යයේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතල ගැන කතා කළා. ව්‍යවස්ථාවට ඒ ඇතුළත් කළා. එහෙත් එය වචනයට සීමා වෙලා. විධායකය හා ව්‍යවස්ථාදායකය පක්‍ෂ දෙකකින් හසුරුවනු ලබන විට ප්‍රශ්න ඇති වෙනවා. චන්දිකා රනිල් සමයේත් ප්‍රශ්න ඇති වුණා. අන්තිමේ පරිවාස ආණ්ඩුවක් හදන්න වුණා. 

මෛත්‍රිපාල රනිල් දුසංයෝගය මුල සිට ම මෙන් වැඩ කෙළේ නැහැ. කළ යුතුව තිබුණේ රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීමයි. එසේ කළා ම බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතාවක් ඇදගෙන කතානායක ලවා මහින්ද පහ කෙරෙව්වා. එයට අධිකරණයත් ඈඳා ගත්තා. ඒ කරපු දේට කරුණාරත්න ජයසූරිය ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා නොදී බැහැ. ජයසූරිය අපේක්‍ෂකයා වුණොත් ජ වි පෙ ඊනියා පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් තම අපේක්‍ෂකත්වය අස් කර ගන්න ඉඩ තියෙනවා. ඒත් බැරි වෙලාවත් සජිත් එ ජා පෙරමුණේ අපේක්‍ෂකයා වුණොත් සජිත් පැරදවීම සඳහා ජ වි පෙ ඉදිරිපත් වේවි කියා හිතන්න පුළුවන්. 2015 ජනවාරියේ බහුතරයක් නොතිබූ රනිල් අගමැති ලෙස පත් කිරීමේ දී ප්‍රජාතන්ත්‍රවාදය නිදා ගෙන ඉන්න ඇති. ජ වි පෙ ප්‍රජාතන්ත්‍රවාදය ඇහැරෙයි කියන බයට රනිල්ට විරුද්ධ ව විශ්වාභංග යෝජනා ගෙනාවෙ නැහැ. ජ වි පෙ ශිෂ්ටත්වය මෝසම් සුළං අනුව වෙනස් වෙනවා.

දේශපාලනඥයන්ට රජය හා ආණ්ඩුව වෙන් කර ගන්න බැහැ. ජනතාවටත් බැහැ. ජනතාවයි පළමුවෙන් ම රජයේ වැඩවලට දේශපාලනඥයන් සහභාගි කරවා ගත්තේ. අද ජනතාව ඒකෙන් ම පීඩා විඳිනවා. කාලෙකින් අසාද් සාලි දැක්කෙ නැහැ.