Main Logo

Tuesday 3 September 2019

කාලෝ කාළාමයන් හා රයිනෝ

       සිංහල ලිත් ඉලක්කම්


කාලෝ කාළාමයන් හා රයිනෝ 



කාලෝ ගැන මොනවද කියන්නෙ කියල ඇතැමුන් අහනව. ඔහු ගැන බොහෝ දේ මා ඔහු ජීවත් ව ඉන්න කාලෙ ම මුහුණට ම කියලත් තියෙනවා කියව ගන්න ලියලත් තියෙනවා. මා කාලයට ලියන හැම ලිපියක් ම ඔහුට විද්‍යුත් තැපෑලෙන් යැවුව. මේ ලිපියේ සිට ඔහුට ලිපි යැවෙන්නේ නැහැ. ඒත් ඔහු ගැන ලියන්න බැරි වුණු එක කාරණයක් කියන්නයි මෙය ලියන්නෙ. ඔහු කී එක් දෙයකට මා දැන් එකඟ වෙනවා. ඒක මට කල්පනා වුණෙ ඔහු මිය ගියාට පස්සෙ. ඒත් ඒක කියන්න ඉස්සෙල්ල කාරණා ටිකක් මතක් කර ගත්ත නම් හොඳයි කියල හිතෙනවා.


මැරුණු මිනිසුන්ගෙ ගුණ පමණක් කියන්න ඕන කියල නීතියක් නැහැ. සම්ප්‍රදායකුත් නැහැ. අප දේවදත්ත මළා කියල ගුණ ගයන්නෙ නැහැ. මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු තබා කොතක්වත් ඉදිවෙන්න ඕන නැහැ. අද ඇතැමුන් කාලෝ ගැන කියන්නෙ මගේ නුගුණ කියන්න. මගේ කේන්ති යන එක සහ කාලෝගෙ මානව දයාව සංසන්දනය කෙරෙනවා. මානව දයාව කියන්නෙ බටහිර වියුක්ත සංකල්පයක්. කාලෝ ප්‍රාඥයෙක් කියල කියනවා. මෙය ශීල සමාධි ප්‍රඥාවෙ තියෙන ප්‍රඥාව ද? මට නම් එවැනි ප්‍රඥාවක් නැති බව කවුරුත් දන්නවා. මා කිසිම දෙයක් හංගන්නෙ නැහැ. ඒත් කේන්ති යන්නෙ මට විතරක් වෙන්න බැහැ. මේ ලිපියටත් බොහෝ දෙනකු බණීවි. 

කාලෝ ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ අයෙක්. තිස්ස විතාරණ ඒ කඳවුරේ ඉන්න විට කාලෝ නොහිටින්න විධියක් නැහැ. මා මේ වාම කේන්ද්‍රිය දේශපාලනය සමග කිසිසේත් ම එකඟ වන්නෙ නැහැ. එය කිසිම වලංගු බවක් නැති පංතිය කියන සංකල්පය මුල් කර ගත් එකක්. ජනතාව අතර වාම කේන්ද්‍රීය පිරිස එන්න එන්න අඩු වෙනවා. ජාතිකත්වය වැඩි වෙනවා. ඒත් කඳවුරේ නායකයන් අතර ජාතිකත්වයක් ඇති පිරිස අඩුයි. ඔවුන් බොහෝ දෙනකුට වමකුත් නැහැ. එහෙත් අද තියෙන්නෙ ජාතික කඳවුරක් නොව ජාතික හා වාම කඳවුරක්.

ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුර ජාතික කඳවුරක් පමණක් බවට පත්කර ගන්න ඕන. එතෙක් අපට ජාතික හා වාම  කඳවුර ගැන සඳහන් කරන්න වෙනවා. ඒ කඳවුරේ වාම කේන්ද්‍රීය අය වක්‍ර ව නමුත් සේවය කරන්නෙ විජාතික කඳවුරට. කාලෝගේ මරණය ගැන කාලෝ අගය කරමින් වැඩියෙන් ම ලියන්නෙ විජාතික කඳවුරේ බටහිර අදහස් දෝතින් ම පිළිගෙන බටහිර දැනුම් ආධිපත්‍යයට යට වුණු අය. ඒකෙන් මැන ගන්න පුළුවන් කාලෝ හිටියෙ කාගෙ පැත්තෙ ද කියන එක.

එක්සත් රාජ්‍යවල (ඇමරිකාවෙ) එක්තරා ප්‍රාන්තයක සහකාර නීතිපති ධුරයට ලංකාවෙ සම්භවයක් තියෙන අයකු පත්වීම ජාතික ප්‍රවෘත්තියක් වන රටක කාලෝ ප්‍රාඥයකු වීම ගැන  පුදුම වෙන්නෙ දෙයක් නැහැ. ඔහු බටහිර විද්‍යාව හා තාක්‍ෂණවේදයක් වූ බටහිර වෛද්‍ය විද්‍යාව අගය කළ කෙනෙක්. එහි ආධිපත්‍යය පිළිගත් අයෙක්. ආයුර්වේදයට ගරහමින් රාජගිරියේ ආයතනයේ අධ්‍යක්‍ෂ පදවිය දැරූ කෙනෙක්. ඒත් ඔහු බටහිරයන් විසින් පිළිගැණුනු මහා විද්‍යාඥයෙක්වත් වෛද්‍යවරයෙක්වත් නො වෙයි. මා දන්නා තරමින් ඔහු බටහිර දැනුම පුනරුච්චාරණය කළා මිස ඒ දැනුමට වැදගත් යමක් එකතු කළ අයෙක් නො වෙයි. 

ඔහු අපක්‍ෂපාති මුහුණුවරක් පෙන්නුවත් වැඩ කළෙ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ව. ඔහු ගිනි පාගන්න ඔහුගෙ පරීක්‍ෂණාගාර සහායකු යොදා ගත්තා. ඔහු ඊනියා බටහිර විද්‍යාත්මක විධික්‍රමයක් ගැන කතා කළත් ඒ පරීක්‍ෂණය කෙළෙ ඔහු කියන බටහිර විද්‍යාත්මක විධික්‍රමයටවත් නො වෙයි. ඒ පරික්‍ෂණය නැවත කෙරුණේ නැහැ. එක් පරීක්‍ෂණයකින් ඔහු නිගමනවලට බැස්සා. ඔහුට අවශ්‍ය වුණෙ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීමට. 

කාලෝ උපන්නෙ කතෝලික පවුලක. අධ්‍යාපනය ලැබුවෙ කතෝලික පාසල්වල. ඔහු ස්වර්ගයක් ගැන විශ්වාස කළා. ඒ බව දැන් පැවිදි ව සිටින අයකු මා සමග පවසා තියෙනවා. කාලෝ මරණින් පසු එක් වතාවක් උපදින බව ඒ අය සමග පැවසූ බව මට දැන ගන්න ලැබුණා. කාලෝ ගිනි පෑගීම මිථ්‍යාවක් බව ඔප්පු කරන්න ඊනියා පරීක්‍ෂණයක් කළත් අඳ ගොළු බිහිරි අය සුව කරන කොර වූ පුද්ගලයන් ඇවිද්දවන පූජකයන්ගෙ වැඩ කිඩ බොරු යැයි කියන්න ඉදිරිපත් වුණේ නැහැ. 

ඔහු ඊනියා යථාර්ථවාදියෙක්. අවසාන කාලයේ දී ඔහුගේ අදහස් තරමක් වෙනස් වුවත් ඊනියා යථාර්ථයෙන් ගැළවීමක් තිබුණෙ නැහැ. එහෙත් ඔහුටත් අනෙක් ඊනියා දාර්ශනිකයන්ට මෙන් ම මනසින් තොර යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වන්න බැරි වුණා. ඔහු දර්ශනයටත් කිසිවක් එකතු නොකළ නමුත් මහා දාර්ශනිකයකු ලෙස මෙරට සම්භාවනාවට පාත්‍ර වුණා. කාලෝ දොරමඬලාවෙන් අයින් වෙන්නෙ මිය යෑමෙන් පසු. මා ඉන් ඉවත් කෙරුණෙ මිය යෑමට පළමුව. අප රටේ ජනතාව රවටනු ලබන්නේ දේශපාලනඥයන් විසින් පමණක් නො වෙයි. අපේ රට වර්තමානයෙ බුද්ධිමය සම්පත්වලිනුත් දුප්පත්. 

මා නම් බුද්ධිමතකුවත් උගතකුවත් විද්‍යාඥයකුවත් දාර්ශනිකයකුවත් නො වෙයි. ඒ බවට මෙරට විශ්වවිද්‍යාල පමණක් නොවෙයි මුහුණු පොතත් සාක්‍ෂි දරනවා. මට වැරදුණු තැන් නැතැයි කියා මා කියන්නේ නැහැ. මා වරද්දා ගත් එක් තැනක කාලෝ කාළාම සූත්‍රයේ විද්‍යාත්මක විධික්‍රමය ඇතැයි කී විට එයට විරුද්ධ වුණා. මා කියා සිටියේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් බටහිර විද්‍යාවේ නැති බවත් එහි සමහරවිට හරියන, වැඩකරන හිතළු පමණක් ඇති බවත් එය පට්ටපල් බොරු බවත්. දෙවනුව මා කියා සිටියේ කාළාම සූත්‍රයෙහි බුදුන් වහන්සේ කාළාමයන්ට තමන් ම පරීක්‍ෂා කර නිගමනවලට එළඹීමට කියා ඇතත්, මා කාළාම සූත්‍රයෙහි දෙවැනි කොටස යනුවෙන් හඳුන්වන තැන විඤ්ඤූන් අනුව ක්‍රියා කරන ලෙස කියා ඇති බවත්. කාලෝ මේ විඤ්ඤූන් කොටස සම්පූර්ණයෙන් ම අත්හැරි බවයි මගේ මතය වුණේ. 

එහෙත් මා වැරදි බව මට දැන් වැටහෙනවා. ඒ බව මට තේරුණෙ කාලෝ මිය යෑමෙන් පසුව වීම කණගාටුවට කරුණක්. දැන් කරන්න දෙයක් නැහැ. කාලෝගෙ ශිෂ්‍යයන් (ඔහු මා මෙන් කිසිවක් නූගැන්වූවකු නොව අතිදක්‍ෂ ගුරුවරයකු බව මා අසා තිබෙනවා) හා අනුගාමික දාර්ශනිකයන් මාධ්‍යවේදීන් හා සියළු විද්වතුන් මට සමාව දෙත්වා. 

බටහිර විද්‍යාවේත් පොදුවේ  බටහිර දැනුමේත් අද සිදුවන්නේ කුමක් ද? කී දෙනකු යම් කරුණක් ගැන තමන් ම පරීක්‍ෂා කර ගන්නවා ද? අතිමහත් බහුතරයට එහෙම කරන්නත් බැහැ. ඒකට වෙලාවක්වත් දැනුමක්වත් පහසුකම්වත් නැහැ. එවිට සමස්ත ලෝක ප්‍රජාව ම මෙන් කරන්නේ කුමක් ද? විඤ්ඤුන් අනුගමනය කිරීමයි. අද විඤ්ඤූන් වෙන කවුරුන්වත් නොවෙයි බටහිර විද්‍යාඥයන් දාර්ශනිකයන් හා වෙනත් විද්වතුන්. ඉතින් අති විශාල බහුතරය බටහිර දැනුම අනුගමනය කරන්නේ ඒ විඤ්ඤුන් අනුව යමින්. කාළාම සූත්‍රයෙහි විද්‍යාත්මක ක්‍රමය තියෙනවා. කාලෝ හරි.

ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර රයිනෝ වෙළෙඳ දැන්වීමේ රයිනෝගේ පෙම්වතිය බැරි වෙලාවත් විවාහ වුණොත් ඇයත් නිදා ගන්නේ වහළ උඩ ද? කවුරු හරි පඬියකු කියන්න පුළුවන් වෙළෙඳ දැන්වීමක් ගැන බරපතළ විධියට හිතන්න එපා  කියලා. අපොයි මා බොහෝ දේ ගැන බරපතළ විධියට හිතන්නෙ නැහැ. ඒ මට මේ දැනුම ද ඇතුළු   සියල්ල වෙළෙඳ දැන්වීම් නිසා. බුදුදහම පමණක් දැනුමක් නො වෙයි.