Main Logo

Thursday 19 September 2019

පක්‍ෂ දේශපාලනයෙන් මිදෙමු

      සිංහල ලිත් ඉලක්කම්


පක්‍ෂ දේශපාලනයෙන් මිදෙමු 



මැතිවරණ කොමිසම වෙඩිල්ල පත්තු කරලා. ජාතියේ ඉරණම තීන්දු කරන ජනාධිපතිවරණ තරගය ඇරඹිලා. දැන් කතාව අරයා එයි ද මෙයා එයි ද අර පක්‍ෂය එයි ද මේ පක්‍ෂය එයි ද අප්‍රසිද්ධ පක්‍ෂවලින් අපේක්‍ෂකයො ඉදිරිපත් වෙයි ද ආදිය ගැන. ඉංගිරිසින් අපට දුන් නරක ම දේ තමයි අධ්‍යාපනය හා පක්‍ෂ දේශපාලනය. බටහිර අධ්‍යාපනය එක ම අධ්‍යාපනය ලෙස සලකන්නත් ඒ හරහා එන බටහිර දැනුම එක ම දැනුම ලෙස සලකන්නත් අනෙක් සියලු දැනුම් පද්ධති මිථ්‍යා ලෙස සලකන්නත් ඔවුන් කියා දුන්නා. 


ඊයේ අනගරික ධර්මපාලතුමා ගැන ලියද්දි එතුමා උපන්නෙ මාතර කියන එක වැරදි යැයි කියැවෙනවා. එතුමා උපන්නෙ කොළඹ කියල කියනවා. ඒක එහෙම වෙන්න ඇති. මේ මාතර කතාව ආවෙ කොහොම ද කියන එක හොයන්න ඊනියා විද්වතකුට භාර කරමු. ඒත් තව දෙයක් කියන්න ඕන. ගණනාථ ඔබේසේකර කියන ඊනියා විද්වතා කියල තියෙනවා ධර්මපාලතුමා ඇති කෙළෙ ප්‍රොතෙස්තන්ත බුද්ධාගමක් කියලා. ඔහු කියන විධියට කරුණු දෙකක් නිසා ඒ ප්‍රොතෙස්තන්ත වෙනවා. එකක් එය ක්‍රිස්තියානි ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය මෙන් වීම. දෙක එය විරෝධතා (ප්‍රොටෙස්ට්) ව්‍යාපාරයක් වීම. ඒ දෙවැනි අර්ථයෙන් නම් මෙරට ප්‍රොතෙස්තන්ත ව්‍යාපාර රාශියක් තියෙනවා. ගණනාථ කොළඹ ආපු වෙලාවක ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයකට අහුවෙන්න පුළුවන්. 

පළමුවැනි අර්ථයෙන් නම් ධර්මපාලතුමා මාටින් ලූතර් වැන්නකු වෙන්න ඕන. එය සම්පූර්ණයෙන්  වැරදියි. ඕල්කට්තුමා එක්සත් රාජ්‍යවල ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයේ හිටි එක ඇත්ත. ඒත් ඒ නිසා දහනවවැනි සියවසේ බෞද්ධ පුනරුදය ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයක් වෙන්නෙ නැහැ. ඒ පුනරුදය ඇරඹුණෙ ඕල්කට්තුමා ලංකාවට එන්න කලින්. ඕල්කට්තුමා එය පීලිපන්නපු එක ඇත්ත. එහෙත් බෞද්ධ පුනරුදය ඕල්කට් පීල්ලෙම ගියෙ නැහැ. මෙරට ඊනියා බෞද්ධ පාසල් හා ඕල්කට් බෞද්ධයන් (ඒ පාසල්වල ආදි ශිෂ්‍යයන් කියන එක එයින් ගම්‍ය වෙන්නෙ නැහැ) ඇති වුණ එකත් ඇත්ත. මෙරට බෞද්ධ පුනරුදය ඉංගිරිසින්ට විරුද්ධ නිදහස් සටනෙ නම් එක් අවස්ථාවක්.

ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරය යුරෝපයෙ ඇති වුණෙ නැගී ගෙන ආ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ. එහි සාමූහිකත්වය වෙනුවට පෞද්ගලිකත්වය ආදේශ වුණා. මිනිසුන් සාමුහික ව පල්ලි යන්නෙ නැතිව තනිව ම දෙවියන් වහන්සේ සමග එකතු වෙන්න ක්‍රමයෙන් ඉගෙන ගත්ත. එහි  ප්‍රතිඵලයක් වශයෙන් අද බටහිර ලෝකයෙ පල්ලි යන පිරිස අඩුයි. එහෙත් ලංකාවෙ එහෙම එකක් වුණෙ නැහැ. අපට බටහිර පෞද්ගලිකත්වය ඒ ලෙසට ම ආවෙ නැහැ. අපට එය ගන්නත් බැහැ. මා මේ සති දෙකේ ජීවත් වෙන්නෙ දැදුරු ඔය අසබඩ ගමක. මෙහි පෞද්ගලිකත්වය ඇත්තේ ම නැති තරම්. මා පසුව එය විස්තර කරන්නම්. ලංකාවෙ නගරවලත් පංසල් යෑමේ අඩුවක් දකින්න බැහැ. 

ධර්මපාලතුමා භික්‍ෂූන් වහන්සේගෙන් වෙන් වුණෙත් නැහැ. අවසානයේ දී එතුමාත් පැවිදි වුණා. මාටින් ලූතර්ලා පූජකයන් ව සිටිය දී කතෝලික සාමුහිකත්වයෙන් මිදී ගිහියන් මෙන් ජීවත්වීමට උත්සාහ කරද්දී ධර්මපාලතුමා ගිහියකු වශයෙනුත් පැවිදි ජීවිතයක් ගත කරන්න උත්සාහ කළා. ගණනාථ කියා ඇත්තේ තම හිතළුවක් පමණයි. එය බටහිරයන්ට අල්ලන හිතඵවක්. බටහිරයන් එවැනි හිතළු ලියන්නන්ට සලකනවා. ගණනාථට ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යකමක් දෙද්දී ඔහුගේ ඊනියා ශාස්ත්‍රීය නිවුන් බෑයා වූ ස්ටැන්ලි තම්බයියාට හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යකමක් හිමි වුණා. තම්බයියා බුදුදහම පාවාදීම ලියල සිංහල බෞද්ධයන් තම්බන්න හැදුවා. ඔබේසේකර සිංහල බෞද්ධයන් ඔබන්න හදනවා.     

එහෙත් මෙරට පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට මේ බටහිරට අල්ලන හිතළු ලියන්නන් බුද්ධිමතුන්. මෙරට නූතනත්ව බුදුදහමක් නම් තියෙනවා. ඒ තියෙන්නෙ විශ්වවිද්‍යාලවල. ඔවුන් ශ්‍රද්ධාවෙන් තොර පංචෙන්ද්‍රිය ගෝචර බුදුදහමක්, ඊනියා විද්‍යාත්මක, බුද්ධිවාදී බුදුදහමක් ඇති කරන්න හදනවා. වල්පොල රාහුල හිමියන් ද මුල් කාලයේ මේ නූතනත්ව බුදුදහමේ පැවිදි වෙලා හිටියෙ. කේ එන් ජයතිලක මහතා තවත් නූතනත්ව බෞද්ධයෙක්. මාර්ටින් වික්‍රමසිංහලා සරච්චන්ද්‍රලා පමණක් නොවෙයි අවාසනාවකට ගුණදාස අමරසේකරත් නූතනත්ව බෞද්ධයන්. බුදුදහම කිසිසේත් ම බුද්ධිවාදයක්, පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයකට පමණක් සීමා වූ දහමක් නො වෙයි. කාලෝගේ කාළාම සූත්‍රය නොව බුදු හාමුදුරුවන්ගෙ කාළාම සූත්‍රය කියවන්න. 

කැලණියේ හිටපු උපකුලපති මාරසිංහ බුද්ධඝෝෂ හාමුදුරුවන් ථෙරවාදය භක්තිවාදයක් කළා යැයි චෝදනා කරනවා. මිහිඳු හිමියන්ගේ සිට බුද්ධඝෝෂ හාමුදුරුවන් දක්වා අවුරුදු හත්සීයක් පමණ ථෙරවාදය සිංහල මහජනයා අතර පැවතියේ දර්ශනයක් ලෙස ද? දර්ශනයකට මහජන ව්‍යාපෘතියක් ලෙස පැවැත්මක් නැහැ. දර්ශනයක් ලෙස බුදුදහම විශ්වවිද්‍යාලවල ඊනියා ශාස්ත්‍රඥයන්ට සීමා වේවි. මාරසිංහලාට අවශ්‍ය එය ද? 

ඉහත දැක්වූයේ බටහිරයන් හා ඔවුන්ගේ දාසයන් අධ්‍යාපනය මගින් කර තිබෙන වින්නැහියෙන් බිඳක්. එවැනි ම විනාශයක් පක්‍ෂ දේශපාලනයෙන් මෙරටට වෙලා තියෙනවා. අප නිර්පාක්‍ෂික, කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නොවන යන අර්ථයෙන් ගෝඨාභයගේ ජාතික අපේක්‍ෂකත්වයට සහාය දක්වනවා. ඒ කියන්නේ අප පොහොට්ටුවවත් වෙනත් පක්‍ෂයක්වත් අනුමත කරන බවක් නො වෙයි. ගෝඨාභය මගින් පක්‍ෂ දේශපාලනයෙන් ඉවත් වීමට උත්සාහ කරමු. ඒ සඳහා දැනුවත් ව්‍යාපාරයක් ආරම්භ කරමු. දේශපාලන පක්‍ෂවලින් පිටින් හිඳ ඒත් ඔවුන් සමග වැඩ කරමින් පක්‍ෂ දේශපාලනයෙන් මිදෙන්න උත්සාහ කරමු. අර පඬියන් හරහා කෙරෙන සංස්කෘතික ආධිපත්‍යයෙන් ද පක්‍ෂ දේශපාලනය හරහා කෙරෙන දේශපාලන ආධිපත්‍යයෙන් ද නොකැඩීි සිංහලයන්ට අනාගතයක් නැහැ.