Main Logo

Saturday 14 September 2019

දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා

        සිංහල ලිත් ඉලක්කම් 


දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා




මේ රටේ විද්වතුන්ගේ හා වෘත්තීයිකයන්ගේ යනුවෙන් අධිකාරි දෙකක් තියෙනවා. අවශ්‍ය නම් මාෆියා දෙකක් කිව්වත් කමක් නැහැ. මා මේ සඳහන් කරන්නේ එනමින් පිහිටුවා ගෙන ඇති සංසද සමිති ආදිය ගැන නො වෙයි. අඩු තරමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැනවත් නො වෙයි. ඒත් මා කියන දේ ගැන අති විශාල බහුතරයක් විරුද්ධ වේවි. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මට මිතුරන් ඇත්තේ අතළොස්සක් පමණයි. කවුදෝ පඬි පෝතකයකු ළඟ දී කියා තිබුණා මා තමා වැන්නන්ගේ මිතුරකු නොවන බව. එවැන්නන් සමග මිතුරු වීමට මට කිසි දිනෙක වුවමනාවක් තිබුණේ නැහැ. 

දිනක් කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු මා සමග කිව්වා තමා කියවා ඇති හොඳ ම ලිපි ලියා ඇත්තේ මා හා සුචරිත ගම්ලත් කියා. මට එදා පොළොව පලා ගෙන යන්න හිතුණා. ට්‍රොට්ස්කිගේ හා වෙනත් බහුබූතයන්ගේ අදහස් පුනරුච්චාරණය කිරීම හැර වෙනත් දෙයක් කර නැති අයකු සමග එකට තැබීමක් ගැන අහන්න තරම් මා පවු කර තියෙන්න ඇති. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට සමාජවාදයක් ඇති වන්නේ නැහැ. සමාජවාදය බුදුදහම සමග ගැටගහන්න හදන්නේත් අර මාෆියාවේ දාසයන්. 

මේ විද්වතුන්ගේ නායකත්වය ඇත්තේ විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර, මානව ශාස්ත්‍ර පීඨවල. ඔවුන්ගේ අනුගාමිකයන් ඊනියා පර්යේෂණ ආයතනවල ඉන්නවා. සිවල් සමාජවල ඇත්තේත් ඒ අයගේ ගෝල බාලයන්. ජනමාධ්‍යයෙත් එහෙමයි. අද උසස් පෙළ දක්වා උගත් අයගෙන් බහුතරය මොවුන්ගේ ගොදුරු වෙලා පඬි නැට්ටන් බවට පත් වෙලා. මොවුන්, එනම් පඬියන් තමයි බටහිර මතවාද පුනරුච්චාරණය කරන්නේ. ඔවුන් සම්ම ජාතියේ බටහිර දැනුමට හරි හමන් දෙයක් එකතු කර නැහැ. ආචාර්ය උපාධි නම් සිය ගණනක් ලියා ඇති. 

මොවුන් සෘජු ව හෝ වක්‍ර ව හෝ බටහිර යථාර්ථවාදය, හේතුවාදය, වාස්තවිකත්වය ආදිය ගුරු කොට ගන්නවා. ඔවුන් එහි ප්‍රතිඵලයක් ලෙස හේතුවාදය, අනුභූතිවාදය (ඒ දෙක එකිනෙකට පටහැණියි), ඇරිස්ටෝටලීය  න්‍යාය (පරණවිතාන මහතා දක්වා තිබෙන්නේ සිංහල විද්වතුන් අනුරාධපුර කාලයේත් ඇරිස්ටෝටල් හා ප්ලේටෝ ගැන දැන සිටි බව සෙල්ලිපිවලින් කියැවෙන බව. ඒත් ඔවුන් ඇරිස්ටෝටල්ගේ දාසයන් වී නැහැ), ඊනියා විද්‍යාත්මක ක්‍රමය ආදිය යොදා ගෙන ඊනියා සත්‍යයක් සොයන්න යනවා. ඒ සඳහා ඇත්තේ එක ම එක ක්‍රමයක් බවත් ඊනියා සත්‍ය දැනුම් පද්ධති ඇත්තේ එකක් බවත් ඔවුන් විශ්වාස කරනවා. දැනුම් පද්ධති එකකට වඩා ඇති බව ඔවුන් සම්ම ජාතියේ හිතන්නේවත් නැහැ. ඔවුන් බටහිර  ශාස්ත්‍රීය ආධිපත්‍යයේ මෙරට ඒජන්තයන් හෙවත් දාසයන්. ඔවුන් සමග ඊනියා බටහිර විද්‍යාඥයන් ද එකතු වෙනවා. එහෙත් ඊනියා විද්වතුන් අතර පොදුවේ ගත් කල දේශීය ආධිපත්‍යය ඇත්තේ ශාස්ත්‍ර පීඨවල. 

වෘත්තීයකයන්ට නායකත්වය දෙන්නේ බටහිර වෛද්‍යවරුන්. ඔවුන්ට ලංකාවේ පමණක් නොව පිටරටවලත් සිවිල් බලයක් තියෙනවා. ඔවුන් සිංහල වෙදකමට කිසිම ඉඩක් දීමට සූදානම් නැහැ. වැඩිම වුවොත් කැඳ බොන්න කියාවි. කාලෝ ෆොන්සේකා වරක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති දේශනයක දී සිංහල වෙදකමට ගරහා තියෙන්නේ කාරලා සෙම අරගෙන සෙම කියන්නේ මේවාට ද කියා අසමින්. ඔහුගේ වාසනාවකට ඒ දේශනයට මා සහභාගි වුණේ නැහැ. බටහිර වෛද්‍යවරුන් ආයුර්වේදයට සිංහල වෙදකමට තැනක් නොදෙනවා පමණක් නොවෙයි ඔවුන්ගේ ම හෙදියන්ට වෛද්‍යවරුන් වීමට අවස්ථාව ලබා දීමට විරුද්ධයි. ඔවුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වන්නේ තම ආධිපත්‍යය රැක ගැනීම සඳහා වෛද්‍යවරුන් බිහි වීම සීමා කිරීමටයි.

කාලෝ ෆොන්සේකා යථාර්ථවාදය මගින් ඊනියා විද්වතුන්ගේ ලෝකයේත් වෛද්‍ය පීඨවල ඉගැන්වීමෙන් බටහිර වෛද්‍යවරුන්ගේ ලෝකයේත් නායකයා වුණා. ඔහුට පුස්සන්ගේ ලෝකයේ ගෞරවයක් ලැබුණේ එනිසයි. ඔහු බටහිර දැනුමේ දාසයකු මිස එයට යමක් එකතු කළ අයකු නො වෙයි. අද දැනුම් පද්ධති එකකට වඩා තියෙන බව පිළිගැනීමට මේ බටහිර දැනුමේ දාසයන් සූදානම් නැහැ. ඒ නිසා ම බටහිරයන් ඇති කළ ඊනියා ශාස්ත්‍රීය හා වෘත්තීය දැනුම අනුකරණය කරනවා පමණක් නොව ඉංගිරිසින් මෙරට බිහි කළ දෙමළ ජාතිවාදී මතත් පිළිගන්නවා. 

යාපනයේ දෙමළ රාජ්‍යයක් (ස්වාධීන වුවත් නැතත්) තිබූ බවට මතයක් ඇති කෙළේ ඉංගිරිසින්. පියසිරි අමරකෝන් මහතාගේ පොත කියවන තුරු මා ද සිතා සිටියේ දෙමළ ජාතිවාදය ලන්දේසීන්ගේ නිර්මාණයක් කියා. ඒ යාල්පානම් වෛපව මාලෙයි ලන්දේසි කාලයේ ලියැවුණු කෙප්පයක් බව විශ්වාස කරමින්. එහෙත් දැන් මා දන්නවා එයත් ඉංගිරිසින්ගේ වැඩක් බව. අමරකෝන් මහතා පවා රාමනාදන්ලාගේ දෙමළ ජාතිවාදය පිළිගැනීමට කැමති නැහැ. ඉංගිිරිසින් තමයි රාමනාදන්ලා ඔසවා තැබුවේ. විස්තර ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා පොතෙන්. අපට බටහිර ආධිපත්‍යයෙන් සම්පූර්ණයෙන් කැඩෙන්නෙ නැතිව දෙමළ ජාතිවාදය පරාජය කරන්න බැහැ. එයට ඊනියා විද්චතුන් හා වෘත්තිකයන් වග කියන්න ඕන. ඔවුන් මාෆියාවක්. මා  පහුගිය අවුරුදු තිස්පහක පමණ කාලයක් තිස්සේ මේ ආධිපත්‍යය බිඳ දැමීමට කටයුතු කර ඇති නමුත්  අසාර්ථක වී ඇති බව පිළිහන්නවා. 

පහුගිය දවසක මට පියවර තුනක් ඇවිදීමට බැරි තත්වයක් උද්ගත වුණා. එය අංශබාග තත්වයට යන්නක්. මා සරත් වෙද මහතාට කතා කර ඉක්මන් වෙදකමක් කර ගත්තා. එහෙත් මට විනාඩි පහක්වත් එක දිගට ඇවිදන්න බැරි වුණා. ගෝඨාභයගේ ජාතික අපේක්‍ෂකත්වය අනුමත කළ පක්‍ෂ සම්මේලන හතරට සහභාගි වීමෙන් පසු සඳුදා ම (දින පහකට පෙර) මා වෙදගෙදර ප්‍රතිකාර සඳහා පැමිණියා. තව දින තුන හතරක් ඉන්න වේවි. විද්වතුන්ගේ හා වෘත්තීයකයන්ගේ කණගාටුවට හේතුවක් වෙමින් මා දැන් සුවය ලබමින් ඉන්නවා. මා එක්තැන් වෙන එකක් නැහැ. මේ ගැන හා මා වෙදගෙදර ගෙවන අසිරිමත් ජීවිතය ගැන විස්තර පසුවට. වෙදගෙදර වයි ෆයි අන්තර්ජාල පහසුකම් තියෙන බවත් කියන්න ඕන. මේ ලිපිය ඔබට එවන්නේත් එමගින්. ඒත් වෙදකම නම් පාරම්පරික සිංහල වෙදකම. මාෆියාවන් සිංහල වෙදකම මථ්‍යාවක්  ලෙස සලකනවා.