Main Logo

Saturday 21 September 2019

මට සනීපයි පඬියන් හා දේශපාලනඥයන් නිසා රටට දුස්සාධ්‍යයි

          සිංල ලිත් ඉලක්කම්

මට සනීපයි පඬියන් හා දේශපාලනඥයන් නිසා රටට දුස්සාධ්‍යයි


පඬියන්ගේ පඬි පෝතකයන්ගේ හා පඬි නැට්ටන්ගේ කණගාටුවට හේතු වෙමින් මා ඊයේ සනීප වී ගෙදර පැමිණියා. මා එක්තැන් නොවී බේරුණේ පාරම්පරික සිංහල වෙදකම නිසා. වාතය කිපීම නිසා ලේ ගමන දුර්වල වීමෙන් ස්නායු ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා මට අසනීප වුණා. කාලෝ හිටිය නම් අහන්න තිබුණා වාතය බොයිල් නියමයට හසු වෙනවා ද කියා.


මා ප්‍රතිකාර ගත්තේ නිකවැරටියේ හුළුගල්ලේ සඳුන් සරත් කෝට්ටයාවත්ත වෙදමහතාගෙන්. හුලුගල්ල කියන්නෙ ඓතිහාසික ගමක්. එය සුළගුළු වැව ආශ්‍රිත ව තියෙන්නෙ. ඒ සමග අසළ මහාගුළු වැව කියා තවත් වැවක් තියෙනවා. ඒ වැව් මහසෙන් රජු තැන වූ බවයි කියැවෙන්නේ. සුළගුළු කියන එකයි හුලුගල්ල ලෙස විකාශය වී තියෙන්නෙ. මහගුළු යන්න මාගල්ල කියා විකාශය වෙලා. මා මේ කරුණු දැනගත්තේ කලකට පෙර දිවයින පුවත්පතේ පළ වූ ලිපියකින්.  

පඬියන් කණගාටුවනවා ඇත්තේ මා එක්තැන් නොවීම ගැනත් සිංහල වෙදකමේ දක්‍ෂකමක් හෙළි වීම ගැනත්. මගේ අසනීපය පැත්තකින් තියමු. මට කියන්න අවශ්‍ය පාරම්පරික සිංහල වෙදකම ගැනයි. මේ ගැන කතා කිරීම තේරුමක් නැති වැඩක් වෙන්න පුළුවන්. දේශපාලනඥයන් මේ කිසිවකට සවන් දෙන්නේ නැහැ. ඔවුන් සවන් දෙන්නේ නැත්නම් කිසිවක් සිදුවන්නේත් නැහැ. මා දන්නා තරමට සිංහල වෙදකමට යම් ආකාරයකින් හරි ආධාරයක් කිරීමට ඉදිරිපත් වුණේ නොබෝදා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි හේරත් මන්ත්‍රීතුමා පමණයි. ඒ ඔහු වයඹ පළාතේ පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති ව සිටිය දී. 

පාරම්පරික සිංහල වෙදකම කියන්නෙ ආයුර්වේදය නො වෙයි. ආයුර්වේදය භාරතයෙ නැත්නම් ඉන්දියාවෙ වෙදකමක්. මෙරට විද්වතුන් කියන අය දන්නෙ එක්කො බටහිරට නැත්නම් ඉන්දියාවට නමස්කාර කරන්න. අවුරුදු දහස් ගණනක සිට අප භාරතයට නමස්කාර කරනවා. අපේ දැනුමට ගරු නොකරන්න අප පුරුදු වුණේ අවුරුදු දහස් ගණනකට පෙර. අපට වැදගත් වූයේ භාරතය. දැන් අහන්න එපා බුදුහාමුදුරුවො ලංකාවෙ ද කියලා. බුදුදහමෙ කරන්නෙ නොදැනුම දැනුමක් ලෙස ප්‍රකාශ කිරීම. එය දැනුම් පද්ධතියක් නො වෙයි. එහෙම කිව්ව කියල එංගලන්තයෙ ඉන්න ඉංජිනේරු බෞද්ධයෙක් (බෞද්ධ ඉංජිනේරුවෙක් නො වෙයි) තම වෙබ් අඩවියේ මගේ ලිපි පළ කිරීම නැවැත්තුව. එවැන්නන්ට බුදුදහම විද්‍යාත්මකයි. දැන් තියෙන්නෙ විද්‍යාත්මක බුදුදහමක් හා විද්‍යාත්මක දේශපාලනයක්. දෙකේ වැඩි වෙනසක් නැහැ. 

භාරතයෙන් බුදුදහම නැති වුණේ ඔවුන්ගෙ ඊනියා ශාස්ත්‍රීය කතා සමග බුදුදහම නොගැලපෙන නිසාත්. ආයුර්වේදයත් ශාස්ත්‍රීයයි. බටහිර විද්‍යාවත් ශාස්ත්‍රීයයි. ඒ දැනුම් පද්ධති ආයතනවල උගන්වන්න පුළුවන්. පාරම්පරික සිංහල වෙදකම එහෙම ආයතනවල උගන්වන්න බැහැ. එය ගුරුවරයකු යටතේ පුහුණුවෙන් (අහල දැකල බලල කරල) දැන ගන්න ඕන. එය තමයි සිංහල ක්‍රමය. එහි ඊනියා ශාස්ත්‍රයක් නැහැ. ඒ කියන්නෙ පාරම්පරික සිංහල වෙදකම අශාස්ත්‍රීය කියන එක නො වෙයි. එය ශාස්ත්‍රීයත් නො වෙයි. අශාස්ත්‍රීයත් නො වෙයි. 

මා බුද්ධිමතකු උගතකු විද්වතකු නොවන නිසා ශාස්ත්‍රීය කතා තේරෙන්නේ නැහැ. පෙරේදා අමාත්‍ය මණ්ඩල රැස්වීම කැඳෙව්වෙ මෛත්‍රිපාල ද? උත්තරය ඔව් හා නැහැ දෙක ම . ඒ ඔහු තම ඕනෑකමට කැඳවූ රැස්වීමක් නො වෙයි. රනිල්ගෙ ඕනැකමට කැඳ වූ එකක්. බටහිර නීතිය අනුව නම් රැස්වීම කැඳවලා තියෙන්නෙ ජනාධිපති. ඒත් ඔහු නොවෙයි කැඳවලා තියෙන්නෙ. බුද්ධිමතකු නොවීම ගැන මට ඇත්තේ ඉමහත් සතුටක්.

බුද්ධිමතුන් උගතුන් සිතන්නේ බටහිර වෙදකම ඇතුළු බටහිර දැනුම එකම දැනුම කියලා. ඔවුන් සිතන්නේ, නැහැ ඔවුන්ට කියන්න පුරුදු කර තියෙන්නේ අනෙක් දැනුම් දියුණු වී බටහිර දැනුම ඇති වුණු බව. සිංහල වෙදකම පැත්තකින් තියන්න. පඬියන්ට අනුව ආයුර්වේදයත් දියුණු වීමෙන් එහි ඇති හොඳ අරගෙන නරක බැහැර කරමින් තමයි බටහිර වෙදකම ඇති වත තියෙන්නෙ. මෙය පට්ටපල් බොරුවක්. බටහිර වෙදකම ද ඇතුළු ව බටහිර දැනුම බිහි වී ඇත්තේ, පදනම් වී ඇත්තේ එක්තරා චින්තනයක. ඒ චින්තනයේ ප්‍රධාන අංගයක් තමයි වෙන් කිරීම. අද බටහිර වෙදකමේ වම් කණට වෙන ම විශේෂඥයකුත් දකුණු කණට වෙනත් විශේෂඳයකුත් ඇති වීමට පුළුවන්. මා දන්නා තරමින් බටහිර වෛද්‍ය අරුණ මුණසිංහ නම් ඔය එක් එක් අවයවවල ඇති සම්බන්ධය තේරුම් ගැනීමට උත්සාහ කරන්නෙක්. අනෙක් බොහෝ දෙනා කරන්නේ වෙන් කිරීම.

පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් නොදන්නා දේ තමයි දැනුම් පද්ධති රාශියක් ලෝකයේ තියෙන බව. ඒ ඒ දැනුම් පද්ධති ඒ ඒ චින්තන මත පදනම් වෙලා ඒ ඒ සංස්කෘතීන්ට සාපේක්‍ෂ ව නිර්මාණය කරලා තියෙන්නෙ. බටහිර වෙදකම ආයුර්වේදයේවත් ඊනියා දියුණු අවධියක් නො වෙයි. එයට ආයුර්වේදයේ ඇතැම් අංග ඇතුළත් කර ගෙන  ඇති. ඒත් ඒ එවැනි අංග තම චින්තනයට හා සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමෙන් පසුව. එසේ නැතිව පඬියන් කරන්නාක් මෙන් දැනුම ගෙඩිය පිටින් අනුකරණය කිරීමෙන් නො වෙයි. 

සරත් වෙදමහතා පවත්වාගෙන යන නේවාසික වෙදගෙදර දින දොළහක් නැවති මා ප්‍රතිකාර ගත්තා. ලෝකයේ පළමු නේවාසික වෙදගෙදර ඇති වුණේ ලංකාවෙ. සරත් වෙදමහතා කරන්නේ අපට ආගන්තුක දෙයක් නො වෙයි. ඒ වෙදකමට ඔහුගේ මුළු පවුල ම මෙන් සම්බන්ධයි. මා කලක් මහාවිලච්චියේ කෘෂිකාර්මික වකුගඩු රෝගීන් සඳහා සති දෙකකට වරක් ජංගම වෙදගෙදරක් පවත්වා ගෙන යෑමට ඒ මහතා සහභාගි කර ගත්තා. ඒ වෙදකමෙන් වකුගඩු රෝගීන් සුවපත් වූවා. 

එයට පැමිණි එකල ඇමති චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු මහා ඇමති වෙදගෙදරට ආධාරයක් කරන්නම් කියා ගියා ගියාමයි. ඉන්පසු ඔහු දැක්කේ රූපවාහිනියේ පමණයි. අර කලින් කී හේරත් ඇමතිතුමා නම් ජංගම වෙදගෙවල් ඇති කිරීමට උත්සාහයක් ගත්තා. එහෙත් පළාත් සභාව විසුරුවා හැරීම නිසා කිසිවක් කර ගන්න බැරි වුණා. අපට ජනමාධ්‍ය කිසිම ආධාරයක් කෙළේ නැහැ. දෙරණ අපෙන් ඉල්ලා සිටියේ රෝගීන් සුවපත් වූ බවට බටහිර වෛද්‍ය සහතික. ඔවුන් අපේ දේ රැකගෙන අලුත් දේ අරගන්නේ එහෙම වෙන්න ඇති. අනෙක් ජනමාධ්‍ය සතපක් වටින්නේ නැහැ. ඔවුන් ගැන කතා කරල වැඩක් නැහැ. 

ආණ්ඩුව බටහිර වෙදකමට වියදම් කරන මුදලෙන් දසදහසෙන් පංගුවක් පාරම්පරික සිංහල වෙදකමට වියදම් කළොත් මෙරට වැසියන්ගේ සෞඛ්‍ය තත්වය දසදහස් ගුණයකින් යහපත් කර ගන්න පුළුවන්. ඒත් බටහිර දැනුමේ දාසයන් වූ පඬියන් හා දේශපාලනඥයන් සිටින රටක එසේ වේවි ද? ගෝඨාභය මොකද කියන්නෙ. කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධ ව කළ මානුෂික මෙහෙයුමේ දී අපේ පැරණි ක්‍රමත් යොදා ගත්ත බව ඔහු දන්නවා. 

අද මේ ආණ්ඩුව අපට විරුද්ධ ව අවි ගත් අතුරුදහන් කොටි ත්‍රස්තවාදීන්ගේ පවුල්වලටත් වන්දි ගෙවන්න යන්නෙ බටහිරයන්ගෙ අවශ්‍යතාවට. කොටි අවි ගත්තේ බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ වුවමනාවට. ඊනියා අතුරුදහන් වූවන්ට වන්දි ගෙවන නම් ගෙවන්න ඕන බටහිර රටවල් හා ඉන්දියාව. මෙරට ආණ්ඩුව කරන්න ඕන රණවිරුවන්ට වන්දි ගෙවන එක හා විශ්‍රාම වැටුප් දෙන එක. ඒ වෙනුවට ආණ්ඩුව ඔවුන් කොටුවෙ දුම්රිය පොළ ඉදිරිපිට පාරෙ තෙමෙන්න ඇරලා. මංගල කයිවාරු කුරුඳපොලු කප්පිත්තා අද ඉන්නෙ සජිත් එක්ක. සජිත්ගෙන් රණවිරුවන්ට යහපතක් වෙයි ද? 

මා සනීප වුවත් පඬියන් හා දේශපාලනඥයන් නිසා රටට දුස්සාධ්‍යයි. ගෝඨාභයට රට සුවපත් කරන්න පුළුවන් ද? එහෙම බැරි වුණොත් සිංහල ජාතියත් සමග රට මැරිලා යාවි.