Main Logo

Sunday 8 September 2019

මා හා ජාතික ව්‍යාපාරය

      සිංහල ලිත් ඉලක්කම් 


මා හා ජාතික ව්‍යාපාරය




ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි හැඟෙන වෙබ් අඩවියකට නීතිඥ බැල්ලන්තුඩාව විසින් ලියන ලද ලිපියකින් උපුටාගත් කොටස් මෙහි පළවෙයි. මා හිතන විධියට මා ද ජාතික ව්‍යාපාරය වෙනුවෙන් සුළුවෙන් නමුත් යමක් කර තිබෙනවා. ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනා එසේ සිතන්නේ නැති බවත් මා දන්නවා. ජාතික ව්‍යාපාරය විසින් බොහෝ විට මා කොං කෙරෙනවා. ඒ කෙසේ වුවත් බැල්ලන්තුඩුවගේ විවේචනයට මා ද හසුවෙනවා. මා ද මේ ජනාධිපතිවරණයේ දී ගෝඨාභය වෙනුවෙන් සුළු වැඩ කොටසක් කරනවා. ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනා එදත් අදත් කියන්නේ මා හාන්සිපුටුවේ ඉන්න නිද්‍රාශීලී අයකු කියා. ඒක එහෙම වෙන්න ඇති. මගේ ජීවිත කාලයෙන් බාගයක්  පමණ මා නිදා ගන්න ඇති. අපි පළමුව බැල්ලන්තුඩාව කියන්නේ මොකක් දැයි බලමු.  


“අපේ ජාතික ව්‍යාපාරය තුළ සිටින බොහො දෙනාගේ නිද්‍රාශීලී හැසිරීම මෙයට වෙනස් නොවේ. ජනාධිපතිවරණය කට ළගට පැමිණි විට දේශප්‍රේමී හා දේශද්‍රෝහී සරල රේඛාවෙන් සියල්ල කළු සුදු ලෙස වෙන් කරයි. ඕනෑම මැතිවරණයක් රටේ අනාගතය වෙනුවෙන් තීරණාත්මක වේ. බලයට පත් වෙන ආණ්ඩුවකට සියල්ල පාවා දී රට විනාශයට පත් කිරීමේ හැකියාව ඇත. එහෙයින් තීරණාත්මක නොවන මැතිවරණයක් එන තෙක් බලා සිටින ජාතික ව්‍යාපාරයට ‘අබ සරණයි’ කීම හැර වෙන කිසිවක් කිව හැකි නොවේ. ජාතික ව්‍යාපාරයක් හැදීම ගැන කතා කිරීම හැර ඒ වෙනුවෙන් කෙරෙන යමක් නැත. අවසානයේ දී තවත් අවුරුදු පහක් හෝ දහයක් ගියත් ජාතික ව්‍යාපාරයට හිමි වන්නේ හොඳම ජොකියාට කඩේ යන්න පමණි.

ජාතික ව්‍යාපාරය තුළ සිටින බොහෝ දෙනාට සිංහල බෞද්ධත්වය යනු 09 වෙනි ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම හා ඒකීය රාජ්‍යය රැකීම පමණකි. එය ඉක්මවා ගිය සිංහල බෞද්ධ ආර්ථිකයක් , දේශපාලන ක්‍රමයක් නීති පද්ධතියක් ඔවුහු නොදනිති. ආර්‍යුවේද වෙදකම යනු සිංහල වෙදකම යැයි හිතන, උත්තර භාරතයේ රාගධාරී සංගීතය අපේ කලාව යැයි හිතන තරමට කුරුවල් වූ පරිසරයක බ්‍රිතාන්‍යයන් විසින් උරුම කරන ලද කුණු වූ පක්ෂ ක්‍රමයකින් පත්වන ජනාධිපතිවරයකුට හෝ පාර්ලිමේන්තුවකට කළ හැක්කේ සිංහල බෞද්ධයා මුළා කිරීම පමණි.

අද වන විට ජාතික ව්‍යාපාරයේ බොහො දෙනාට හිමි අවසාන සරණ මහින්ද රාජපක්ෂයි. යුද ජයග්‍රහණය සමග ලබා ගත් ප්‍රතිරූපය හා ගෞරවය හේතුවෙන් ජාතික ව්‍යාපාරයට ඔහු මග හැරිය නොහැකි සාධකයක් බවට පත්ව ඇත. හැත්තෑව දශකයේදි සාරි පොටේ එල්ලුනු කොමියුනිස්ට් සහ මාක්ස්වාදී පක්ෂවලට අත්වුණ ඉරණම සාටකයේ එල්ලී සිටින ජාතික ව්‍යාපාරයටද හිමිවන අනාගතයයි.

මේ ජාතික ව්‍යාපාරයට හිමි අවසාන අවස්ථාවයි. ඉන් අදහස් කරන්නේ දුර්දාන්ත යූඇන්පී පාලනය පෙරළා නොදැමුවහොත් ජාතියේ විනාශය සිදුවන බව කීමට නොවේ. තමන්ගෙම සටන් බිමක , තමන්ගේම ප්‍රතිපත්ති වෙනුවෙන් හිට ගැනීම නොකර වෙන කොහෙ හෝ ජොකියෙකුට කඩේ යෑමට ජාතික ව්‍යාපාරයට ලැබෙන අවසන් අවස්ථාව බවයි. මුස්ලිම් අන්තවාදයට, රටෙ බෙදීමට එරෙහිව භූමි පුත්‍ර අයිතිය වෙනුවෙන් වේදිකාවේ කෑමොර දී, මැතිවරණයේදි සුළු ජාතික චන්ද අහිමි වේ යැයි යන මිථ්‍යාව වැලඳ ගැනීම ජාතික ව්‍යාපාරයේ වගකීම නොවේ.

ජනතාව ඉල්ලා සිටින්නේ උනුත් එකයි මුනුත් එකයි අරුනුත් එකයි කියන සියලු දේශපාලන කුඩුකේඩුකාරයන් ප්‍රතික්ෂේප කරන, රටට ආදරය කරන ව්‍යාපාරයකි. මෙරට ජාතිකවාදී බලවේගය පැහැදිලිව රනිල් වික්‍රමසිංහගේ බටහිර ගැති නිවට දේශපාලනය ප්‍රතික්ෂේප කරති. එසේම ඔවුහු මහින්ද රාජපක්ෂගේ යුගයේ අශෝභන ලැජ්ජා සහගත හැසිරීම් සහ නාස්තිය වංචාව පිළිකුල් කරති. නිරාගමික භෞතිකවාදීන්ට යටවූ ජවිපෙට සංස්කෘතික අගයන් නැත.

මේ රට සිංහල බෞද්ධ රටක් යැයි විශ්වාස කරන ජනතා බලවේගයක් තිබේ. ඔවුන්ගේ හදවතට ඒ ආස්වාදය හොඳින් ස්පර්ශ වේ. යූඇන්පී , ශ්‍රී ලංකා පොහොට්ටු හා ජවිපෙ පාඨවලින් යටපත් කළද ඒ උදාරතර හැඟීම් හා විශ්වාසය මුලිනුපුටා දැමිය නොහැක. ප්‍රශ්නය වන්නේ ඒ බලවේගයට නායකත්වය දීමට හිසක් නොමැති වීමයි. චම්පිකලා රතන හිමියන් විසින් මහ දවල් මංකොල්ලකන ලද්දේ ඒ ජාතික බලවේගයේ අපේක්ෂාවයි.ඉච්චා භංගත්වයට හා මග පෙන්වීමක් නොමැතිව මංමුළාවූ ජාතික බලවේගය සාක්කුවට දාගෙන එය අවසානයේ බන්දේසියක තබා පූජා කිරීමට හෝ විකිණීමට ජාතික ව්‍යාපාරයට අයිතියක් නොමැත. චම්පිකලා රතන හිමි කළා සේ තව තවත් එය කුරුවල් කොට මොට කිරීමට වඩා නිදැල්ලේ හැරීම ජාතියට කරන උදවුවකි.

ජාතික ව්‍යාපාරයට තමන්ගේ කකුල් දෙකෙන් හිට ගැනීමට ඇති විශාලතම බාධාව මානසික වශයෙන් ඇති කරගත් දීන බවයි. ජාතික බලවේගයේ ශක්තිය පිළිබඳව මනා තක්සේරුවක් නොමැති වීමයි. අවුරුදු හතළිහක් දේශපාලනය කර තවමත් ආණ්ඩු බලයක මානයකටවත් නොපැමිණි ජවිපෙන් ජාතික ව්‍යාපාරයට උගත හැකි දේ බොහො ය.

දිගින් දිගටම ලබන පරාජයන් ඉදිරියේ නොවැටී තම මතවාදය වෙනුවෙන් පෙනී සිටීම ළඟ ආතල්වලින් උද්දාමයට පත්වීමට වඩා ජාතික ව්‍යාපාරයට තිබිය යුතු උට්ඨාන වීර්‍යයේ කොටසකි. ජවිපෙ මාක්ස්වාදී මතවාදයට මෙරට ඇත්තේ අවුරුදු 100 කට අඩු ඉතිහාසයකි. සිංහල බෞද්ධයාගේ උරුමය වසර දෙදහස් පන්සියයකට එහා යයි. තමන් කම්කරුවකු යැයි, විශ්වාස කරන පංති විඤ්ඤාණයක් මෙරට නැත. එහෙත් තමන් සිංහල බෞද්ධයෙක් යැයි හිතෙන අනිත්‍ය දුක්ඛ අනාත්මය විශ්වාස කරන සරල බව අපිස් බව ගුරු කොටගත් පිරිස මේ සමාජයේ බහුතරයකි. ජවිපෙට හම්බන්තොට, ගාල්ල, කොළඹ බස්නාහිර යම් සංවිධානාත්මක දේශපාලන හයියක් ඇත. ගම් 14000ක රට පුරා විසිරුණු පන්සල් පද්ධතියක්, දහම් පාසල් ගුරුවරුන් දරුවන් ජාතික ව්‍යාපාරයේ අවධානයට ලක්ව නොමැත. අවසාන වශයෙන් ,පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ලංකාවෙන්ම සියයට පහක් ඡන්ද ලබා ගත් ජවිපෙට මන්ත්‍රී ධුර 443 ක් ලැබුණි. එයින් 442 ක්ම ලැයිස්තුවෙන් ලැබුණු ඒවා වේ. සියයට 70%ක් සිංහල බෞද්ධයන් සිටින රටේ ජාතික ව්‍යාපාරයට හිමිවිය යුතු පංගුව කුමක් විය යුතුද?

සියල්ල තිබුණත් අපට නැත්තේ ස්වාධීනව හිට ගැනීමට තීරණය කළ නොහැකි අභීත නායකත්වයක් පමණි. ප්‍රධාන පක්ෂවල නායකයන්ට මුක්කු ගසන , දියාරු පුද්ගල චරිතවලට ඉදිරියේදී ජාතිකත්වයේ සළු අහිමි වනු ඇත. විකල්පයක් නැත්නම් ,මෙවර එයට සමාවක් හිමිවනු ඇත. එහෙත් හෙට දවසේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන් අද දවසේ කාවන්තිස්ස මෙහෙවරට කැප නොවුවහොත් 2025 දී ඔවුනට හිමිවනුයේ ඉතිහාසයේ කුණුගොඩ පමණි. එහෙයින් 2019 ජාතික ව්‍යාපාරයට කඩේ යෑමට ලැබෙන අවසන් අවස්ථාවයි.”

මට ස්වාධීන ව හිට ගැනීමට පුළුවන් කියා මා මෙතෙක් සිතා සිටියේ. මට නායකත්වයක් දීමට නොහැකි බව නම් මා දැන සිටියා. 70%ක් සිංහල බෞද්ධයන් රටේ හිටියත් ඔවුන් ජාතික ව්‍යාපාරයේ අයට ඡන්දය දෙයි ද කියන එක ප්‍රශ්නයක්. මෙත්තානන්ද  රාජරත්න ආර් ජී සේනානානයක වැනි ජාතිකත්ව දේශපාලනඥයන්ට ඡන්දදායකයන් ඡන්දය දුන්නේ නැහැ. ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයේ පක්‍ෂය ලෙස සිටින තාක් ජාතිකත්ව දේශපාලනඥයන්ට තැනක් ලැබුණේ නැහැ. ඒත් මා ඒ බව කියා ගැලවෙන්න උත්සාහ කරන්නේ නැහැ. 1994 මැතිවරණයේ දී මට කළුතර දිස්ත්‍රික්කයෙන් ම මනාප පන්දහසක් පමණයි ලැබුණේ. 

අද වන විට ජාතික ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නෙත් මහින්ද රාජපක්‍ෂ විසින්. එයට හේතු රාශියක් තියෙනවා. චම්පක රතන හිමි බලලෝභීත්වය එක් කරුණක් පමණයි. ජාතික ව්‍යාපාරයේ තව තවත් ප්‍රශ්න තියෙනවා. ඒ සියල්ල කතා කරන්න අවස්ථාවක් පසුව එළඹේවි. 

මට ජාතික ව්‍යාපාරයේ අනෙකුත් අය ගැන කතා කරන්න බැහැ. එහෙත් මා අසමත් අසාර්ථක පුද්ගලයකු බව පිළිගන්නවා. බැල්ලන්තුඩාව සමග තරුණ පිරිසක් ඉන්න බව මා දන්නවා. ඔවුන් ඇතැමකු මා වැරදිය කියන බවත් මා දන්නවා. මා හිතන්නේ ඔවුන්ට අනුව ජාතික ව්‍යාපාරයේ අමානුෂික ගති ගුණ ඇති වැඩියෙන් ම වැරදි කළ පුද්ගලයා මා බවයි. දෙමළ ජාතිවාදය පිළිබඳ මා දරණ මත වැරදි කියා ඔවුන් කියනවා. ඇතැමුනට අනුව යාපනයේ ඉතිහාසය ගැන මා කිසිවක් ලියා නැහැ. ඒක එහෙම වෙන්න ඇති.  ඒත් කරන්න දෙයක් නැහැ. මට එපා වෙන තාක් මා ලියනවා. ඒ සියලු වැරදි නිවැරදි කර ගෙන ඉදිරියට යෑමට බැල්ලන්තුඩාවට හා මිතුරන්ට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා.