Main Logo

Wednesday 29 April 2020

කොවිඩ් 19 ඔළුව හා පපුව

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 



කොවිඩ් 19 ඔළුව හා පපුව

කොවිඩ් 19 අපට හුඟක් දේ කියා දෙනවා. රට රටවල ඇති විවිධ සංස්කෘතීන් මත ඒ ඒ ජනතාව මෙන් ම ආණ්ඩු ද ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න අප තේරුම් ගනිමින් සිටිනවා. සියලුූ රටවල ජනයා ආත්මාර්ථකාමීයි. ඒ ඒ රටවල ආත්මාර්ථකාමීත්වය අඩු පුද්ගලයන් ඉන්න පුළුවන්. එහෙත් පොදුවේ ආත්මාර්ථකාමීත්වයක් තියෙනවා. මේ ආත්මාර්ථකාමීත්වය ඒ ඒ සංස්කෘතියේ පිළිබිඹු වන්නේ ඒ ඒ ආකාරයෙන්. 


ග්‍රීක යුගයේ සියවස් කිහිපයකට පමණක් සීමා වූ තාර්කික ආත්මාර්ථකාමීත්වය යළි බටහිර ඇති වුණේ පහළොස්වැනි සියවසෙන් පසුව. ග්‍රීකයන් මහා ප්‍රජාතන්ත්‍රවාදීන් නො වෙයි. ඔවුන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කාන්තාවන්ට හා වහලුන්ට තිබුණේ නැහැ. ග්‍රීකයන් අතර යම් ප්‍රශ්න කිරීමක් තිබුණා නම් ඒ සොක්‍රටීස් වටා. ඇරිස්ටෝටල් එය සම්පූර්ණයෙන් ම නැති කළා. ඔහුගේ න්‍යාය (logic) ඒකාධිකාරයක් ගොඩ නැගුවා. එහෙත් වැඩි කල් යෑමට පෙර එය ග්‍රීසියෙන් නැති වුණා. 

සමහරවිට ඇරිස්ටෝටල්ගේ ගෝලයා වූ ඇලෙක්සැන්ඩර් රජු භාරතයේ දී ලත් අත්දැකීම් එයට හේතුවන්න ඇති. කෙසේ නමුත් ඇරිස්ටෝටලීය ඒකාධිකාරය හා පෞද්ගලිකත්වය නැවත ගොඩ නැගුණේ මාටින් ලූතර්ගේ 1517 පෝස්ටරය සමග. එය ආත්මාර්ථකාමීත්වයේ එක් නිරූපණයක්. ප්‍රංශ විප්ලවය සමග පැමිණි අදහස්වලත් තිබුණේ තාර්කික ආත්මාර්ථකාමීත්වය. එක් අයකුගේ නිදහස අනෙක් අයකුගේ නිදහස පටන් ගන්නා තැන අවසන් වේය වැනි ප්‍රකාශන තාර්කික ආත්මාර්ථකාමීත්වය පිළිබිඹු කරනවා. 

බටහිර රටවල අද ඇත්තේ තාර්කික ආත්මාර්ථකාමීත්වයක්. ඔවුන් බැඳ තබන්නේ නීති රීති මගින්. බටහිර ආත්මාර්ථකාමීත්වය සමස්තයක් ලෙස ඒ ඒ රටවලට ද පැතිරෙනවා. ඒ රටවල් ද ක්‍රියා කරන්නේ තාර්කික ආත්මාර්ථකාමීත්වයකින්. එහෙමත් නැත්නම් ඔළුවෙන් ක්‍රියා කරන ආත්මාර්ථකාමීත්වයකින්. බටහිර රටවල මිනිසුන් බැංකුවේ දී පෝලිමේ
ඉන්නවා. ඒ අනෙකාට තැන දීමෙන් තමාගේ තැන ආරක්‍ෂා වන නිසා මිස මහා කරුණාවකින් නො වෙයි. 

එසේ වුවත් කොවිඩ් 19 පැමිණි මුල් දිනවල ඔවුන් පෝලිම් කඩා ගෙන වැසිකිළි පිස්න එක් රැස් කළා. ඒ තාර්කික ආත්මාර්ථකාමීත්වයට විසඳුම් නැති වූ අවස්ථාවල. පසුව බටහිරයන් ආර්ථිකයට ප්‍රධාන තැනක් දීමට තීරණය කළා. ඒ හදවතින් එන මිනිස්කමකට වඩා පෞද්ගලික (රටේ) ආර්ථිකයට මුල් තැන දීමෙන්. තාර්කික ආත්මාර්ථකාමීත්වයේ ඔළුවෙන් එන මිනිස්කමක් මිස පපුවෙන් එන මිනිස්කමක් නැහැ. බටහිර තැන දෙන්නේ හොඳ ඔළුවලට මිසක් හොඳ පපුවලට නො වෙයි. ලංකාවේ හොඳ පපුවා කියා පච්චකොටා ගන්නා අය ඉන්නවා. ඔළුවෙන් එන මිනිස්කමේ අනෙක් අයට තැන දෙන්නේ තමාගේ තැන ආරක්‍ෂා කිරීමට. ඒ තාර්කික ආත්මාර්ථකාමීත්වයක්. 

අපේ රටෙත් ආත්මාර්ථකාමීත්වයක් තියෙනවා. එය පපුවෙන් (හදවතින්) එන්නක්. ඒ සමග මිනිස්කමකුත් තියෙනවා. ඒ සමග අපේ රටේත් දැන් දැන් ඇහෙන ප්‍රකාශනයක් තමයි ඔළුවෙන් වැඩ කරන්න කියන එක. අහවලා ඔළුවෙන් යනවා කියනවා. කොවිඩ් 19ට විරුද්ධව අප වැඩ කළ විධිය සාමාන්‍යයෙන් බටහිර වැඩ කළ විධියට වෙනස්. එය චීනය වැඩ කළ විධියටත් වෙනස්. බටහිරයන් අපේ හමුදාවට මොන චෝදනා එල්ල කළත් එය මානුෂිකයි. කොටින්ට විරුද්ධ ව කරන ලද සටන් මෙන් ම කොවිඩ් 19ට විරුද්ධව කරන සටනත් මානුෂිකයි. 

අපේ මානුෂිකත්වය බුදදහමින් සකස්වුණු එකක් මිස ප්‍රංශ විප්ලවයෙන් සකස් වුණු තාර්කික මානුෂිකත්වයක් නො වෙයි. තර්කයත් න්‍යායත් අපේ නිර්මාණ පමණයි. ඇරිස්ටෝටල් ඉන්ද්‍රිය ගෝචරයි. ඔහුට හදවතක් නැහැ.  ඔහුගේ න්‍යාය ඉතාමත් සීමිත පටු එකක්.

මෙරට මිනිසුන්ට ආමන්ත්‍රණය කරන්න බටහිර පුහුණුවක් ලද අයට තේරෙන්නේ නැහැ. බටහිර තාර්කික නීති රිති අපට ගැලපෙන්නේ නැහැ. අප පන්සලට ගියා ම හෑසිරෙන ක්‍රමයක් තියෙනවා. ඒ ආත්මාර්ථකාමීත්වය අඩු ක්‍රමයක්. කොවිඩ් වසංගතයේ දී ආණ්ඩුව මැදිහත් වුණත් නැතත් අපේ මිනිසුන් අඩු පහසුකම් ඇති අයට, පහසුකම් නැති අයට ආධාර කළා. මා හිතන්නේ නැහැ වෙනත් රටක අපේ වැනි මැදිහත්වීම් තිබුණා කියා. අප දන් දෙන්නේ හුදෙක් දෙව් මිනිස් සැප සම්පත් බලාගෙන ම නොවෙයි. එහි ආත්මාර්ථකාමීත්වයක් තිබෙන නමුත් පපුවෙන් එන මිනිස්කමක් තියෙනවා. 

කොවිඩ් 19 දි අපට වඩා වැදගත් වුණෙ මානුෂිකත්වය. බටහිරට වඩා වැදගත් වුණෙ ආර්ථිකය. මාක්ස්ගෙ සමාජවාදයත් තාර්කික ආත්මාර්ථකාමීත්වයක් මත පදනම් වූවක්. මාක්ස්ටත් වැදගත් වුණෙ ආර්ථිකය. ධනවාදයෙන් අත්කර ගැනීමට නොහැකි වූ ආර්ථිකයක් ඊනියා සමාජවාදයකින් අත් කර ගන්න ඔහු බලාපොරොත්තු වුණා. එහි ස්වභාවය සූරාකෑම නැති වුණෙ නැහැ. අද ලෝකයේ කිසිම රටක සමාජවාදයක් නැහැ. ඇතැම් නිවේදකයන් සමාජවාදී රටවල් ගැන කියන්නෙ වෙනත් සක්වළක රටවල් ගැන වෙන්න ඇති. 

ආර්ථිකය වැදගත් කියල වැඩ කළ රටවලත් තව මාස කිහිපයක් යන විට ආර්ථිකය බිඳ වැටෙනවා. වම්මු ලැහැස්ති ද බලය ගන්න. ඊනියා කම්කරු පංති නායකත්ව ප්‍රශ්නය විසඳගෙන ඉවර ද? සකර්බර්ග්  තල්ලුවක් දේවි ද? මා ඇහුවෙ ප්‍රශ්නය විසඳ ගන්න. සකර්බර්ග් වමට සංවිධානයක්වත් නැහැ. ඉස්සර මාක්ස්වාදීන්ට සමහරු කිවුවෙ කෑම දිරව ගන්න විප්ලවය ගැන කතා කරනවා කියා. සකර්බර්ග් වමට කියන්න පුළුවන් විප්ලවය දිරව ගන්න කෑම ගැන කතා කරනවා කියා. 

අපට ඔළුව එපා කියල නොවෙයි මා කියන්නෙ. ඔළුව නැති හින්ද තමයි අපි ගිවිසුම්වලින් බටහිරයන්ට පැරදුණෙ. අපි ඔළුවෙන් ද ටිකක් වැඩ කරමු. බටහිරට නො පරදිමු. එහෙත් පපුව හොඳින් තබා ගනිමු.  මෙරට ඔළුවෙන් වැඩ කරනවා කියන අයට එතරම් හෙඳ ඔළුවක් නැහැ. ඔවුන්ගේ අධ්‍යාපනික වාර්තා මෙන් ම ඔවුන් කියන කරන දේ ද  සලකා බලන්න. වත්මන් වමට කොහොමටත් ඔළුවක්වත් පපුවක්වත් නැහැ.