Main Logo

Monday 20 April 2020

මැතිවරණය සම්බන්ධ ව කරන්න ඉතිරි වී ඇති දේ

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 






මැතිවරණය සම්බන්ධ ව කරන්න ඉතිරි වී ඇති දේ



උගතකු බුද්ධිමතකු වියතකු විද්‍යාඥයකු නොවන මා නීතිඥයකු නොවන බව අමුතුවෙන් කිව යුතු නො වේ. එහෙත් මම ඡන්දදායකයෙක් වෙමි. පැවැත්වීමට නියමිත මහා මැතිවරණය ගැන මට වැටෙහෙන කරුණු කිහිපයක් පමණක්  සඳහන් කරමි. අසන්නෝ අසත්වා!


මේ මැතිවරණය පැවැත්වෙන්නේ පසුගිය මාර්තු 3 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කරන ලද ගැසට් නිවේදනය නිසා ය. එහි මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අප්‍රේල් විසිපහ දක්වා තිබිණි. එහෙත් එකී ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු කොවිඩ් 19 වසංගතය ලංකාවට පැමිණියා. 

ඉන්පසු රට පොලිස් ඇඳිරි නීතිය යටතට පත් කෙරුණා. එය මහජන ආරක්‍ෂක පනතේ කියැවෙන හදිසි තත්වයක් නෙවෙයි. එහෙත් ඒ නිසා හදිසි අවස්ථාවක් ඇති වුණා. දැන් ජනාධිපති හමුවේ කළ හැකි කාර්ය දෙකක් තිබුණා. එක පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීම. දෙක මැතිවරණ කොමිසමට මැතිවරණ පනතේ 24(3) යටතේ තීරණයක් ගැනීමට ඉඩ දී බලා සිටීම. සේ ඉඩ දී බලා සිට කොමිසම මැතිවරණය පැවැත්වීමට කිසිම තීරණයක් නොගෙන ඇති විට මැතිවරණ පනතේ 113 යටතේ ක්‍රියා කිරීම.  අදාළ වගන්ති මෙසේයි 
  
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

70. (1) ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ යඃ

70 (5) (අ) පාර්ලිමේන්තුව විසුරුවා හරින ප‍්‍රකාශනයෙහි, අභිනව පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරයන් තෝරාපත් කර ගන්නා දිනය හෝ දින නියම කොට තිබිය යුත්තේ ය. එසේ ම, එකී ප‍්‍රකාශනය නිකුත් කළ දින  සිට මාස තුනක් ගත වන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළමුවන රැුස්වීම ඒ ප‍්‍රකාශනයෙන් ම කැඳවිය යුත්තේ ය.

(ආ) 62 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාවේ විධිවිධාන ප‍්‍රකාර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තේරීම සඳහා ප‍්‍රකාශනයක් මගින් නොපමාව දිනයක් හෝ දින නියම කොට අභිනව පාර්ලිමේන්තුව, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් මාසයකට පසු දිනයක් නොවන දිනයක රැුස්වන ලෙස කැඳවිය යුත්තේ ය.

(ඇ)   (අ) ඡෙදයේ හෝ (ආ) ඡෙදයේ විධිවිධාන යටතේ ප‍්‍රකාශනයක් මගින් අභිනව පාර්ලිමේන්තුවේ ප‍්‍රථම රැුස්වීම සඳහා නියම කරන ලද දිනය ඉන් පසුව කරන ප‍්‍රකාශනයක් මගින් වෙනස් කරනු ලැබිය හැක්කේ ය. එහෙත් පසුව කරන ප‍්‍රකාශනය මගින් නියම කරන දිනය මුල් ප‍්‍රකාශනයේ දින සිට මාස තුනකට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේ ය.

1980 මැතිවරණ පනත

24(3) යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතුකොට ගෙන යම් මැතිවරණ කොට්ඨාසයක මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම, මැතිවරණය සම්බන්ධයෙන් (1) වන උපවගන්තිය යටතේ පළ කරන ලද  දැන්වීමෙහි සඳහන් දිනයෙහි කළ නොහැකි  වූ අවස්ථාවක, ගැසට් පත්‍රයෙහි පළ කරනු  ලබන නියමයක් මගින් කොමසාරිස්වරයා විසින් ඒ ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකි අතර, ඒ වෙනත් දිනය, ගැසට් පත්‍රයෙහි නියමය පළ කරනු ලැබීමෙන් පසුව එළඹෙන දහතරවන දිනයට  කලින් වූ දිනයක් නොවිය යුතු ය.  

113. මැතිවරණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් නිය කිරීමෙන් හෝ මැතිවරණයක් සඳහා දිනයක් නියම කිරීමෙන් පසු යම් වේලාවක ඒ නියමය අනුව යම් මැතිවරණ කොට්ඨාසයක කවර හෝ හේතුවක් නිසා මැතිවරණයක් පවත්වා නොමැති බව ජනාධිපතිවරයා සෑහීමකට පත්වන පරිදි පෙන්වා දෙනු ලැබුවහොත්, ඒ කොට්ඨාසයෙහි මැතිවරණයක් පවත්වන ලෙස, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන දැන්වීමක් මගින් වෙනත් නියමයක් ජනාධිපතිවරයා විසින් කවර හෝ වේලාවක කරනු ලැබිය හැකි ය.     

මෙයින් දැන් කළ යුත්තේ කුමක් දැයි පැහැදිලි වෙනවා.  23(4) කියන ලෙස හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදු වෙලා. මැතිවරණ කොමිසම දැන් මැතිවරණය සඳහා වෙනත් දිනයක් හෝ දින හෝ නියම කරන්න ඕන. 23(4) කියන්නේ යම් දිස්ත්‍රික්කයක් සම්බන්ධවයි. ඒ කියන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවලට වෙනත් දින නියම කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අනුරාධපුර පොළොන්නරුව කුරුණෑගල මාතලේ දිස්ත්‍රික්කවලට එක දවසක් කොළඹ කළුතර  ගම්පහ දිස්ත්‍රික්කවලට වෙනත් දවසක්, අනෙක් දිස්ත්‍රික්කවලට තවත් දවස් ආදී වශයෙන්  දින නියම කරන්න පුළුවන්. මුළු රටේ ම එක ම දිනයක මැතිවරණය පැවැත්විය යුතු නැහැ. කොමිසමට අද තීරණයක් ගැනීමට ඇත්තේ ඒ ගැනයි. අලුතෙන් නාම යෝජනා කැඳවීම්, පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීම් ආදිය ගැන කොමිසමට අඩු තරමෙන් නිර්දේශ කරන්නවත් බැහැ. 

යම් අයුරකින් කොමිසම තම වගකීම පැහැර හැර තීරණයක් නොගත්තොත් ජනාධිපතිට තව ටික දවසක් බලා සිට 113 යටතේ ක්‍රියා කරන්න පුළුවන්. ජනාධිපතිටත් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා වෙන වෙන ම දින නියම කරන්න පුළුවන්. 

ඒ කුමක් වුවත් පැහැදිලි කරුණක් තියෙනවා. අද පවත්නා තත්වය යටතේ ජූනි තුන්වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවන්න බැහැ. බස්නාහිර පළාතේ මැතිවරණය  තව මාස දෙකකට පවත්වන්න බැහැ.   එවිට පාර්ලිමේන්තුව කැඳවන්නේ කවදා ද? පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් අවශ්‍ය නැහැ. පසුගිය දිනෙක මා ඇහුවා චම්පක මොකද කරන්නේ කියා. මා දැන් දන්නවා ජාතික අර්බුදයක් කියමින් ඔහු විපක්‍ෂ රැස්වීම් තියෙනවා. ජාතික අර්බුදයක දී විපක්‍ෂය කළ යුත්තේ වෙන ම රැස්වී ආණ්ඩුවට අකුල් හෙලීම  නොව ආණ්ඩුවට ආධාර කිරීමයි. ඔවුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වන්න බැහැ. තම ආණ්ඩුවේ වැය වලටත් මුදල් වෙන් නොකළ විපක්‍ෂයකින් බලාපොරොත්තු විය හැකි දෙයක් හූල්ගෙන් ද බලාපොරොත්තු වන්න පුළුවන්. 

කැඳවන්න ඕන අලුත් පාර්ලිමේන්තුව. 70(1) යටතේ එයට බලය තියෙන්නේ ජනාධිපතිට පමණයි. 70 (5) (අ) හා (ආ) යටතේ ඔහු එයට දින නියම කර තියෙනවා. එහෙත් ඒ දිනයේ පාර්ලිමේන්තුව කැඳවන්න අද කොහෙමටවත් ඉඩක් නැහැ. 70 (5) (ඇ) යටතේ ඔහුට වෙනත් දිනයක පාර්ලිමේන්තුව කැඳන්න පුළුවන්. එහෙත් 70 (5) (ඇ) ඡෙදය ම කියන විධියට එය ජූනි 3වැනි දාට පෙර විය යුතුයි. 

එහෙත් මතු වී ඇති හදිසි  අවස්ථාව යටතේ ජූනිි 3 වැනි දාට පෙර පාර්ලිමේන්තුව කැඳවන්න බැහැ. එහි දී නීතියේ ඇති යමක් ක්‍රියාත්මක කිරීමට නොහැකි අවස්ථාවක   ක්‍රියා කිරීම සම්බන්ධ නීති ධර්මයක් මගින් ජූනි 3 වැනි දාට පසු දවසක ජනාධිපතිට පාර්ලිමේන්තුව කැඳවන්න  පුළුවන්.