Main Logo

Sunday 26 April 2020

කොවිඩ් රෝගියා යනු කවරෙක් ද?

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් රෝගියා යනු කවරෙක් ද?


බටහිර වෛද්‍ය විද්‍යාවට අද කොවිඩ් 19 රෝගය හඳුනාගත නොහැකි තත්වයකට පත් වෙලා. පීසීආර් පරීක්‍ෂණවලින් ධන වන සියල්ලන් ම රෝගීන් ද? රෝගියකුට රෝග ලක්‍ෂණ තිබිය යුතුම ද? පීසීආර් පරීක්‍ෂණවලින් ධන බව පෙන්වන එහෙත් රෝග ලක්‍ෂණ නොමැති අය ගැන කිව හැක්කේ කුමක් ද? කොටින් ම රෝගියකු යනු කවුද? කොවිඩ් 19 රෝගියා අර්ථදක්වන්න පුළුවන් ද? 


පීසීආර් පරීක්‍ෂණය එහෙම නම් අනෙක් පරීක්‍ෂණ ගැන කිව හැක්කේ කුමක් ද? අර මහත් ප්‍රසිද්ධියක් දුන් කඩිනම් පරීක්‍ෂණවල තත්වය කුමක් ද? ඒ පරීක්‍ෂණ සඳහා කොපමණ මුදලක් වැය වීමට තිබුණි ද? අය වැය ගැන කතා කිරීම එතරම් ප්‍රසන්න කටයුත්තක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. 

මා කියන්නේ පරීක්‍ෂණ නොකර ඉන්න නො වෙයි. එහෙත් පරීක්‍ෂණ කියා කීයක් කරන්න ද? අපට කරන්න පුළුවන් පරෙස්සම් වීමයි. ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක පවත්වා ගෙන යෑමයි. කොත්තමල්ලි වෙනිවැල්ගැට ඉඟුරු සුදුළුෑණු බොන එක ඇඟට හොඳයි. දුම් හට්ටිය අල්ලනව නම් ඒකත් හොඳයි. 

ඒ දේ කිරීමට ලංකා වෛද්‍ය සභාවෙන් අවසර ගන්න ඕන නැහැ. බටහිර වෙද මහත්තයකුට වුවත් තමාට දේශීය ප්‍රතිකාර ගැනීමට වෛද්‍ය සභාවෙන් අවසර ගන්න ඕන නැහැ. පාරම්පරික වෙදකමේ බෙහෙත් කියා අමුතු දෙයක් නැහැ. සෑම අහාරයක් ම බෙහෙතක්. බෙහෙතුත් ආහාර වෙන අවස්ථා තියෙනවා. මේ සියල්ල ගැන කාලෝ ෆොන්සේකා සමග පැවති වාදවල දී මා කියා තියෙනවා. දැන් ඉන්න පඬි නැට්ටන් වෙනුවෙන් ඒ නැවත කතා කරන්න මා සූදානම් නැහැ. බටහිර වෙදකමේ බෙහෙත් හා ආහාර වෙන් කරනවා. ප්‍රතිජීවක කියන්නෙ බෙහෙතක්. කොත්තමල්ලි පේයාව ආදිය පානයක් ලෙසත් යොදා ගන්න පුළුවන්. 

පාරම්පරික ප්‍රතිකාර ආහාර ලෙස සැලකූ විට බටහිර වෛද්‍ය සංගමය කුමක් කරන්න ද? දුම් හට්ටිය ඇල්ලූ බටහිර වෙද මහතුන් ගැනත් සුව වූ අය ගැනත් ජනතාව දන්නවා. අනෙක් අතට බටහිර වෛද්‍ය සංගමයට අනෙක් ප්‍රතිකාර ගැනීම වළක්වන්නත් බැහැ. ඔවුන්ට වැඩිම වුවහොත් කරන්න පූළුවන් ඔවුන්ගේ ප්‍රතිකාර කරන අතර දුම් හට්ටිය අල්ලන එක නතර කරන්න කියා. එහෙත් කොවිඩ් 19ට ඔවුන්ගේ ප්‍රතිකාර නැහැ. 

අප අපේ ප්‍රතිශක්තිකරන ක්‍රම අනුගමනය කරනවා නම් කොවිඩ් 19 වෛරසයේ ශක්තියත් වෛරසයේ පරම්පරාවෙන් පරම්පරාවට අඩු වේවි. එමෙන්  අපේ ධාර්මික බව වැඩිවත්ම කොවිඩ් දහනවයේ (අමනුෂ්‍යයන්ගේ) ශක්තිය අඩු වේවි. ලංකාවේ එය වෙමින් පවතින බව පේනවා. නාවිකයන් හැටකට පමණ රෝගය වැළඳී ඇති බව කීමෙන් අප බිය විය යුතු නැහැ. එමෙන් ම නාවිකයන් ගැන අමුතු ඇහැකින් බලන්න වුවමනාවකුත් නැහැ. ඔවුන් අප වෙනුවෙන් කැප වූ අය. ඔවුන් පීසීආර් ධන වූ නිසා ම රෝගීන් කියා කියන්න බැහැ. රෝග ලක්‍ෂණ තිබී පීසීආර් ධන නම් රෝගියකු ලෙස හඳුනා ගන්න පුළුවන් ද? මා ප්‍රශ්නය එල්ල කරන්නේ බටහිර වෙද මහත්වරුන්ට. එසේ නැත්නම් රෝගියකු යනු කවුද? පඬි නැට්ටන් පිළිතුරු දිය යුතු නැහැ.

මා කියන්නේ නැහැ හැම රටක ම හැම වෛරසයක ම ශක්තිය පරම්පරාවට අඩු වෙනවා කියා. එය වෛරසය අනුවත් රට අනුවත් වෙනස් වෙනවා. මා කියන්නේ කොවිඩ් 19 පිළිබඳ ව අප අනුගමනය කළ යුතු ක්‍රියා මොනවා ද කියා. අපි හැකි තාක් ධර්මයේ හැසිරෙමු. ධර්මය අප රකීවි. 

බටහිර වෙදකමට රෝගියා ගැන නිර්වචනයක් දෙන්න බැරි වුණත් ප්‍රතිකාරයක් නැති වුණත් බටහිර වෛද්‍ය සභාව තම ආධිපත්‍යය පතුරවනවා. ඔවුන්ට කිසිවක් නැතිවත් ආධිපත්‍යය පැතිරවීමට හැකි වන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය නිසා. මෙය දේශපාලනයක්. පඬි නැට්ටන් ඊනියා යටත්විජිත විරෝධීන් වුවත් ඔවුන් තරම් දේශපාලන වශයෙන් බටහිර ආධිපත්‍යයට යට වූ පිරිසක් නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාව තම ආධිපත්‍යය පතුරවන්නේ  බටහිර දැනුමේ ඇති ප්‍රාතිහාර්යයක් නිසා නො වෙයි. කොවිඩ් 19 සම්බන්ධයෙන් ඔවුන්ට කියන්න පුළුවන් දෙයක් නැහැ. 

පීසීආර් පරීක්‍ෂාව ධන වුවත් ඊනියා රෝගීන් දවසෙන් දෙකෙන් සුව වෙනවා. එසේ වන්නේ කෙසේ ද? ඔවුන් රෝගීන් ද නැත් ද? රෝගීන් මෙන් ම රෝගීන් නොවන්නන් ද? එසේත් නැත්නම් රෝගීනුත් නොවන රෝගීන් නොවන්නන් නොවන අය ද? බටහිර විද්‍යාව තීරණාත්මක සන්ධිස්ථානයකට ඇවිල්ලා. එහෙත් බටහිර විද්‍යාඥයන් ඒ බවක් තේරුම් ගන්න පාටක් නැහැ. බටහිර භෞතීය තාක්‍ෂණය නොවන්න බටහිර දැනුම් ආධිපත්‍යය බිඳ වැටී බොහෝ කල්. එහෙත් ඒ භෞතීය තාක්‍ෂණයටත් අද ප්‍රශ්න ඇති බව පීසීආර් පරීක්‍ෂණවලින් හෙළි වෙනවා. 

අපට පිටින් එන වෛරස පාලනය කරන්න පුළුවන් නම් කොවිඩ් 19 ප්‍රශ්නයක් නො වෙයි. අප කල්පනා කළ යුත්තේ මෙරටට පිටින් එන වෛරස පාලනය කරන ආකාරයයි. ඒ සඳහා වැඩ පිළිවෙළක් සූදානම් කර ගන්න ඕන. පිටරට සිටින අපේ අයට එන්න අවශ්‍ය නම් අප ඔවුන්ට ඉඩ දිය යුතුයි. එමෙන් ම විදේශිකයන්ට ලංකාවට එන්න දෙන්නේ කිනම් අවස්ථාවල ද කිනම් අවශ්‍යතා යටතේ ද යන්න කල්පනා කරන්න ඕන. හුදෙක් විදේශ විනිමය සඳහා සංචාරක ව්‍යාපාරයට දොර අනවශ්‍ය ලෙස විවෘත කරන්න ඕන නැහැ. අප  ජීවත් විය යුත්තේ ඊනියා ලෝක ගම්මානයක නොවන බව දැන්වත් තේරුම් ගත යුතුයි.