Main Logo

Wednesday 15 April 2020

වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද?

        සිිංහල ලිත් ඉලක්කම්


වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් ගන්නවා ද?



අද රැල්ලක් ඇති වෙලා. මේ රැල්ලට ජාතික රැල්ල කියන්න පුළුවන්. රූපවාහිනී නාළිකා දිහා බලන් ඉන්න කොට හිතෙනවා දැන් මධ්‍යම පංතිකයන්ගෙ ජාතිකත්වය ඉහ වහා ගිහින් කියලා. බටහිර වෙදමහත්තුරු ටික දෙනෙක් තාමත් ආයුර්වේදයෙ හරි පාරම්පරික වෙදකමේ හරි ඊනියා විද්‍යාත්මක බව ගැන කතා කළත් සමස්තයක් වශයෙන් ගත්තම දුම් (හුමාල) හට්ටියට, වෙනිවැල්ගැට කෑල්ලට, කොත්තමල්ලිවලට, ඉඟුරු සුදුළුෑනුවලට තැනක් ලැබිලා. ස්වයංපෝෂිත ආර්ථිකයක් ගැන කතා නොකරන්නකු නැති තරම්. ගෙවතු වගාවෙහි යෙදෙන ජාතික චින්තකයන්ගෙ ඡායාරූප වෙබ් අඩවිවල පළවෙනවා. 


බොහෝ දෙනාට ඕන සංයුක්ත කතා. පහුගිය දාක මට දෙරණ වැඩ සටහනක් ලබා දුන්නා. ඒ බටහිර වෙදමහතකු වන දහනායක මහතා සමග. ඒ මහතා දුම් හට්ටිය ගැන කතා කළා. තවත් බෙහෙත් හේත් ගැන කිවුවා. එය අතිශයින් ජනප්‍රිය වුණා. මා කී දේ එතරම් ජනප්‍රිය වුණේ නැහැ. මට කියන්න බෙහෙතක් නැහැ. මා වෙදමහතකු නො වෙයි. මා කතා කෙළේ අධ්‍යාපනය හා එහි විපාක පිළිබඳ ව. පොදුවේ වෙදකම ගැන. කොත්තමල්ලි ගැන නො වෙයි. මිනිසුන්ට ඒවායින් වැඩක් නැහැ.
  
මේ ජාතික රැල්ල ඉතා තාවකාලික එකක්.  කොවිඩ් සම්පූර්ණයෙන් ම නැති වන එකක් නැහැ. මිනිසුන්ගේ පවුකාරකම් සම්පූර්ණයෙන් නැති වන්නේ නැහැ. කොවිඩ් අස්සෙත් හොර මත්පැන්, මත්ද්‍රව්‍ය බෙදනවා. ඇතැම් වෙළෙඳුන් අයුතු ලාබ ගන්නවා. මිනිසුන් ඇඳිරි නීතිය නවනවා. වෙනත් නීති නවන එකේ ඇඳිරි නීතිය නවන්නෙ නැතිව ඉඳී ද?  පිරිමි ගණිකාවන් යොදා ගන්නා අය ඉන්නවා. මේ සිංහල බෞද්ධ චින්තනය බටහිර අධ්‍යාපනයෙන් දුෂණය කෙරීම නිසා සිදුවන දේ. 

බටහිර ක්‍රමය කඩා වැටුණත් ඊට විකල්පයක් ප්‍රවාදාත්මක ව දෙන්න රූපවාහිනී විරයන් ඉදිරිපත් වන්නේ නැහැ. බටහිර ක්‍රමය ඉතා ප්‍රවාදාත්මකයි. වියුක්තයි. ලෝක ගම්මානය කඩා වැටෙනවා. රට රටවල් ස්වාධීන වෙනවා. වෙන් වෙනවා. අද හැම රටක ම වෙන රටවලින් ගිහින් ඉන්න අසරණ මිනිසුන් උත්සාහ කරන්නේ තමන් උපන් රටට හරි තම සංස්කෘතිය තිබෙන රටට හරි යන්නයි. එය ලංකාවට පමණක් සීමා වූවක් නො වෙයි. බෞද්ධ තායිලන්තයට ගිහින් හිටපු බෞද්ධ මියන්මාර වැසියන් ආපසු මියන්මාරයට ඇවිත්. මියන්මාරයේ හිටපු රොහින්ග්‍යා මුස්ලිමුන් බංග්ලාදේශයට ගිහින්. බටහිර යුරෝපයට ගොස් සිටි නැගෙනහිර යුරෝපීයයන් ආපසු තම රටවලට ගිහින්. 

අර ඊනියා පොදු සංස්කෘතිය වෙනුවට මිනිසුන් තම පුරුදු සංස්කෘතිය හොයනවා. වාසනාවකට ඒ විශේෂිත සංස්කෘති තාමත් ඒ ඒ රටවල තියෙනවා. අවුරුදු  ගණනාවකට පෙර මා ජෛවිය විවිධත්වය වගේ ම සංස්කෘතික විවිධත්වය ගැනත් ලිවුවා. ඒ ඊනියා බහුසංස්කෘතික කතාවක් නො වෙයි. මා කීවේ ඊනියා පොදු සංස්කෘතිය නමින් ලෝකයේ අධිපති සංස්කෘතියක් තිබෙන බවත් අනෙක් සංස්කෘතීන් නැති වුණොත් අර අධිපති සංස්කෘතිය වැටුණු දාක අප සියල්ලන් ම වැටෙන බවත්. ඒ කතාවට කිසිවකු සවන් දුන්නේ නැහැ. සමහර විට මා වියුක්ත ව කියනවා වෙන්න පුළුවන්. 

ඒ විශේෂිත සංස්කෘතීන් තවමත් තියෙන නමුත් මිනිසුන් ඒ දෙස බලන නමුත් අර අධිපති සංස්කෘතිය බිඳ වැටෙන නමුත් ඒ විශේෂිත සංස්කෘතීන්ට අධිපති සංස්කෘතිය වෙනුවට ආදේශ වීමට බැහැ. ඒ විශේෂීත සංස්කෘතිවලට අවශ්‍ය ප්‍රවාද නැති නිසා. යම් ආකාරයකට හරි ප්‍රවාද තියෙන්නෙ ඉන්දීය සංස්කෘතියට පමණයි. චීන සංස්කෘතියට ඇත්තේ නිශ්චිත ධුරාවලියක්. මාටින් යක් ඊනියා සභ්‍යත්ව රාජ්‍යය කිවුවේ මේ සංස්කෘතිය පදනම් වූ සභ්‍යත්වයට. 

සිංහල බෞද්ධ සංස්කෘතියට යම් ප්‍රවාද සැපයීමට මා අවුරුදු තිස්පහක් පමණ ගත් උත්සාහ ගත්තා. අවුරුදු තිස්පහකට පමණ පෙර 1986 ජනවාරියේ  බැක්ටීරියා හා වෛරසද,  වා පිත් හා සෙම් ද යනුවෙන් මා ලිපියක් ලියා ඇති බව මිත්‍රයකු කියනවා. ඔහු ඒ ලිපිය තම පුවරුවෙහි පළ කරලා. එය මගේ චින්තනයේ ජාතිකත්ව අදහස් වර්ධනය වෙන කාලයේ ලියුවක්. අද නම් මා එයට වෛරසය ද අමනුෂ්‍යයන් ද කියා පාද සටහනක් ද ලියනවා. 

එදා දෙරණ සාකච්ඡාවේ දී දහනායක බටහිර වෙදමහතා පැවසුවේ නාථ දේව මණ්ඩලයෙන් ලැබුණු දේ. පාදෙණිය කියන්නේ ද ඒ දේව මණ්ඩලයෙන් ලැබෙන දේ.  එහෙත් ඔවුන් නාථ කතාව කියන්නේ නැහැ. මෙරට කසිකබල් උගත් මධ්‍යම පංතිය තවමත් බලවත්. අද කිසිම ජනමාධ්‍යයක් මට තැනක් දෙන්නේ නැහැ. 

මා කාලෝ ෆොන්සේකා සමග බටහිර වෙදකම හා පාරම්පරික වෙදකම ගැන නොයෙකුත් අවස්ථාවල වාද කරගෙන තියෙනවා. ඔහුට කිසිම අලුත් අදහසක් තිබුණේ නැහැ. නුතන පඬි නැට්ටන්ට වගේමයි. එහෙත් ඒ සියල්ලන්ට බටහිර අධිපති සංස්කෘතියේ ශක්තිය තියෙනවා. මට මතකයි මා එක වරක් කාලෝගෙන් ඇහුවා බෙහෙත් කරන්න ඕන ලෙඩේට ද ලෙඩාට ද කියා. බටහිර වෙදකමේ වෙදකම් කරන්නේ ලෙඩේට මිස ලෙඩාට නො වෙයි. ලන්ඩනයේ ගන්නා පැනඩෝල් පෙත්ත අගුණකොළපැලැස්සේදීත් ගන්නේ එබැවින්. කාලෝට සුපුරුදු පරිදි මා කී දේ තේරුණේ නැහැ. ඔහු ඇසුවේ ලෙඩේට වෙදකම් නොකර ලෙඩාට වෙදකම් කරන්නේ කොහොම ද කියා. අද ඉන්න පඬි නැට්ටන්ට තේරෙන්නේත් නැහැ.  

පඬි නැට්ටන්ට තබා ජාතිකත්වයේ ඉන්නවා කියන සමහර හාමුදුරුවරුන්ට තේරෙන්නෙත් නැහැ. අද මා අහගෙන ආණ්්ඩුවේ නාළිකාවක හාමුදුරුනමක් ප්‍රකාශ කරනවා ඒ ඒ ලෙඩේට රෝහල් හදන්න කියා! හොඳට තියෙයි. මෙරට විතරක් නොවෙයි ලෝකයේ අනෙක් රටවලත් ඊනියා විද්‍යාව බලවත්. මෙරට ඉන්නා පන්සල් යන බටහිර ගැති මධ්‍යම පාංතික එ ජා පක්‍ෂ හිතවතුන් බටහිර කියන වචනය යෙදීමටවත් කැමති නැහැ. 

මේ යන විධියට අපට අනෙක් බොහෝ රටවලට කලින් කොවිඩ් මර්දනය කර ගත හැකි වේවි. ඒ ත්‍රිවිධ හමුදාව පොලීසිය, සෞඛ්‍ය සේවා හා රාජ්‍ය තන්ත්‍රය එකට එකතු වී කරන කැපවීම නිසා. එහෙත් එය මෙහෙයවනු ලබන්නේ ජනාධිපති විසින්. මා එසේ කීම නිසා රාජපක්‍ෂවාදියකු වන්නේ නැහැ. රාජපක්‍ෂවාදියකු නොවන බව කීමට මා සජිත්ට හරි අනුර කුමාරට හරි ගෞරවය ලබා දිය යුතු ද? හමුදාවේ මන්දගාමී නොවන ක්‍රියා පිළිවෙත කොවිඩ් මර්දනයේ දී වඩාත් ම බලපානවා. අප එය පිළිගන්න ඕන. එහෙත් රාජ්‍ය තන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අවතක්සේරු කිරීමක් ඉන් සිදුවන්නේ නැහැ. 

මා කියන්නේ අප ප්‍රවාදාත්මක ව අපේ ක්‍රමයක් සකස් කර ගත්තේ නැත්නම් තව මාස තුන හතරක් යන විට මිනිසුන් වෙනිවැල්ගැට වෙනුවට බාල පැනඩෝල් පාවිච්චි කරාවි කියා.