Main Logo

Saturday 25 April 2020

කොවිඩ් පැරදවීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් පැරදවීම



කොවිඩ් 19 පැරදවීම සඳහා සියල්ලන් එකතු විය යුතු යැයි කීම කිසිම තේරුමක් නැති කතාවක්. කොටි පැරදවීමට එකතු වූයේ කවුද? ඇතැමුන් කියනවා එදා ජ වි පෙ කොටි පරාද කළ යුතු යැයි කී බව. එය එසේ නොවන බව මා හොඳාකාරව ම දන්නවා. අනූවේ දශකයේ මුල අප ලක්මිණ පුවත්පත ඇරඹු යුගයේ එහි ජ වි පෙරමුණේ හෝ ජ වි පෙරමුණට පක්‍ෂව සිටි හෝ අය අප හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු යැයි කී විට එයට විරුද්ධ වුණා. ඔවුන් විරුද්ධ වූවා පමණක් නොව ලක්මිණ ප්‍රධානියා ව සිටි තිලක් කරුණාරත්න ලවා මා ලක්මිණෙන් නෙරපන තැනට කටයුතු කළා. එදා චම්පකත් ඒ පත්‍රයට ලිවුවා. විමල් වීරවංශත් (එකල ජ වි පෙ)  ඩලස් අලහප්පෙරුමත් සුනිල් මාධවත් ලිවුවා. ජනරංජන කාටූන් ඇන්දා. ඔවුන් හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු බවක් කිවුවේ නැහැ. චම්පකලා ඊනියා යුද්ධයට විරුද්ධ ව පෝස්ටර ඇලෙවුවා. රාජ්‍ය නොවන ගැත්තන් හා සිවල් සාමාජිකයන් ගැන කියන්න අවශ්‍ය නැහැ. 


අවසානයේ දී කොටි පරාජය කෙරුණේ දේශපාලන නායකත්වයක් ලැබුණු හමුදාවකින්. මා ඒ සඳහා කෙළේ මතවාදයක් සකස් කිරීම පමණයි. කොවිඩ් පැරදවීම එයට වඩා අපහසුයි. කොටි පරාද කිරීමේ දී ජනතාව මැරුම් කෑවත් ඔවුන් සිටියේ පැත්තක. එහෙත් කොවිඩ් පරාද කිරීමට ජනතා සහාය අත්‍යවශ්‍යයි. ජනතා සහාය විශාල වශයෙන් නොලැබුණෙත් කොවිඩ් පරාද කිරීම අපහසු වෙනවා. ඇතැම් අවස්ථාවල ඇතැමුන් වසංගතය පැතිරවීමට මෙන් කටයුතු කරනවා. 

කොවිඩ් 19 ගැන බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෛද්‍ය විද්‍යාඥයන්ට හරිහැටි දෙයක් කියන්න බැහැ. මා අද දුටුවා එක්තරා නොබෙල් ත්‍යාගලාභී ජපන් විද්‍යාඥයකු කියා තිබුණා කොවිඩ් 19 ස්වාභාවික ව ඇති වූ එකක් නොවන බවත් එය නිර්මාණය කරන ලද්දක් බවත්. ඔහු කියන්නේ එය වූහාන් හි නිර්මාණය කරන ලද්දක් බව. ඔහු ට්‍රම්ප්ට හොඳ තල්ලුවක් ලබා දී තිබෙනවා. ඔහු කියන්නේ නැහැ කොවිඩ් ස්පාඤ්ඤයේ ඉතාලියේ ප්‍රංශයේ එක්වරට මෙන් ඇති වූයේ කෙසේ ද කියා. කොවිඩ් 19 නිර්මාණයක් බව අප ද පිළිගන්නවා. එහෙත් ඒ ට්‍රම්ප් කියන ආකාරයට නො වෙයි. චන්ද්‍ර වික්‍රමසිංහ නම් කියන්නේ කොවිඩ් 19 උල්කාපාතයක නැගී පැමිණි බවයි. එහෙත් කොවිඩ් ඇති වුණේ කෙසේ දැයි ඔහු කියන්නේ නැහැ. 

කොවිඩ් පැරදවීමට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ලංකාවේ එය පරාද කෙරුණත් පිටින් පැමිණීමට ඉඩ තියෙනවා. පිටින් පැමිණෙන සියල්ලන් පරීක්‍ෂා කිරීමට තව කාලයක් යන තුරු කටයුතු කරනවා ද? ඒ කුමක් වුවත් අද සාමූහික ප්‍රයත්නයක් කෙරෙන බව පැහැදිලියි. ඒ ජනාධිපති අගමැති සෞඛ්‍ය ඇමති මැදිහත් වීමෙන් හාා ජනාධිපති නායකත්වයෙන්. ඒසේ කී නිසා මා රාජපක්‍ෂවාදියකු වන්නේ යැයි යමකු කියන්නේ නම් ඔහුගේ තරක බුද්ධිය ගැන ප්‍රශ්න මතුවෙනවා. මට රාජපක්‍ෂලා සමග කිසිම සම්බන්ධයක් නැහැ. මට ඔවුන් හමුවන්නේ ඉතා කලාතුරකින්. ඹැසිල් රාජපක්‍ෂ නම් මා ලියන ලිපි කියවන බව මා දන්නවා. ඒ ඔහු විවේචනය කර ඇත්දැයි බැලීමට වෙන්න පුළුවන්. 

අද කොවිඩ් පැරදවීමට කරන්නේ නිරෝධායනය හා පරීක්‍ෂා කිරීම. බටහිර වෙදමහත්වරුන්ගේ වෘත්තීය සමිතිය මුලින් අර හොප්කින්ස් වක්‍ර මත පදනම් ව කඩිනම් පරීක්‍ෂා සඳහා උද්ඝෝෂණය කළා. ඔවුන් පීසීආර් පරීක්‍ෂා හෑල්ලුවට ලක් කළා. අද බොහෝ දෙනකුට එය අමතක වෙලා. වෘත්තීය සමිතියත් අද කියන්නේ ඔවුන් පරීක්‍ෂා කළ යුතු යැයි කී නමුත් කඩිනම් පරීක්‍ෂා කළ යුතු යැයි නොකී බවක්. මට නම් ඒ ගැන සහතික වන්න බැහැ. මෙහි මුදල් ගණුදෙනුවක් තිබූ බවකුත් මා කියන්නේ නැහැ. 

කෙසේ වෙතත් අද පීසීආර් පරීක්‍ෂා දිනකට දාහක් පමණ කරන්න පුළුවන්. එහෙත් රටකට මුළු ජනගහනය තබා ඉන් දාහෙන් එකක්වත් පරීක්‍ෂා කිරීමට හැකිය කියා මා හිතන්නේ නැහැ. එ සඳහා නිරෝධායනය ප්‍රමාණවත් වන්නේත් නැහැ. සමහර විට මාලදිවයිනේ පරීක්‍ෂා හා නිරෝධායන  සාර්ථක වන්න පුළුවන්. ඒ එක් එක් දිවයින වෙන ම නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ගැනීමෙන්. එහෙත් කුඩා රටක් වූ සිංගප්පූරුවත් අසාර්ථක වී තියෙනවා. ඒ ඔවුන් දියුණු යැයි කියද්දී.

මෙරට ත්‍රිවිධ හමුදා පොලීසිය සිවිල් ආරක්‍ෂක බලකාය, සෞඛ්‍ය සේවා, රාජ්‍ය තන්ත්‍රය මෙන් ම පෞද්ගලික අංශයෙ සමහර කොටස් ද  එකතු වී විශාල කාර්යයක් සිදු කරනවා. ඒ සියල්ලන්ට අපේ ප්‍රණාමය. එහෙත් අප ඒ අයගේ ප්‍රතිශක්තිකරණය ගැන සොයා බලනවා ද? නාවිකයන් හැට දෙනකු පමණ ආසාදිත විය යුතු නැහැ. ප්‍රතිශක්තීකරණය විධිමත් ව කළ යුතුයි. ඒ දුම් හට්ටිය ද වෙනිවැල්ගැට ද යන්න ගැන බටහිර වෛද්‍ය සභාවෙන් අහන්න ඕන නැහැ. බටහිර වෙදකම යනු තවත් එක් වෙදකමක් පමණයි.

බටහිරයන් ලෝකෙ වටේ යන්න ඉස්සෙල්ලා චීනුන් ගියා. ඔවුන්ට බටහිර මානසිකත්වය තිබී ලෝකය අල්ලා ගත්තා නම් අද ලෝකයේ අධිපතිවාදී වෙදකම චීන වෙදකම වෙන්න තිබුණා. වාසනාවකට චීනුන් බටහිරයන් වගේ නොවෙයි. චීනයේ බටහිර වෙදමහත්තුරු චීන වෙදකමට අකුල් හෙලා තියෙනවා. එහෙත් මාඕ නිසා එය කරගන්න බැරි වෙලා. මා මාඕවාදියකු තබා මාක්ස්වාදියකුවත් නොවන බව කියන්න ඕන. අද චීනයේ බටහිර වෙදකමත් චීන වෙදකමත් එක ම රෝහලේ කෙරෙනවා. 

ලංකාවේ තත්වය එසේ නො වෙයි. මෙහි භයානක ධුරාවලියක් තියෙනවා. බටහිර වෙදකම උඩින් ම. ඊළඟට ආයුර්වේදය චීන කටුචිකිත්සාව අන්තිමට ම සිංහල පාරම්පරික වෙදකම. අපට මේ සියල්ලන් ම එක ම මට්ටමකින් එකතු කර ගන්න පුළුවන් නම් හොඳයි. සෞඛ්‍ය ඇමතිනියට සෞඛ්‍ය ආධිපත්‍යය කඩන්න පුළුවන් ද? හමුදාව පොලීසිය සමග එකතු විය යුත්තේ රාජ්‍ය තන්ත්‍රය පමණක් නො වේ. එය බටහිර වෙදකමට සීමා කිරීමට ද නො හැකියි. සියලු වෙදමහත්වරු එකතු වන්න ඕන. එක වෙදකමක නැති දෙයක් වෙනත් වෙදකමක තියෙන්න පුළුවන්.

එහෙත් මේ සියල්ලන්ට වඩා ජනතාව නැත්නම් මිනිසුන් විනය ගරුක වෙන්න ඕන. මිනිසුන් ස්වභාවයෙන් ම ආත්මාර්ථකාමී බව සූත්‍ර දේශනාවල ද තියෙනවා. මේ වන විටත් මිනිසුන් ඇඳිරි නීති කඩන්නේ නොදැනුවත්කම නිසා නො වෙයි. එහි වඩාත් ඇත්තේ ආත්මාර්ථකාමීත්වය. බොරු වීරයන් වන්න දඟලන්නේත් ආත්මය උඩට දාගන්න. ඊනියා මධ්‍යස්ථබවක් පෙන්වීමට මිනිසුන් නළවන්න බැහැ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් කසිප්පු පෙරන්නන් ආරක්‍ෂා කිරීම සඳහා ඊනියා ජාතික චින්තනයක් ගාව ගන්න බැහැ. සජිත් ජාතික චින්තකයකු කියා යමකු හිතනවා නම් ඔහුට දෙවියන්ගේ ම පිහිටයි. ඒ සම්‍යක්දෘෂ්ටි දෙවියන්ගේ නම් වෙන්න බැහැ. 

ජාතිය එක්සත් කිරීමට ගැමුණු කුමරුටත් බැරි වුණා. එළාර සමග ඇතැම් සිංහලයන් සිටියා. පෘතුගීසීන් සමගත් අවසානයේ ඉංගිරිසින් සමගත් ඇතැම් සිංහලයන් හිටියා. අදත් මතවාදී ව බටහිරයන් සමග ඉන්න පිරිසක් දකින්න පුළුවන්. ඔවුන්ට කරන්න පුළුවන් සමාජ බලපෑමක් නැහැ. අපි පුළුවන් පිරිස සමග එකතු වී කොවිඩ් පැරදවීමට කටයුතු කරමු.