Main Logo

Friday 17 April 2020

කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා

 සිංහල ලිත් ඉලක්කම්


කිරි කලයට ගොම ටිකක්වත් දාන්න එපා

කොවිඩ් මර්දන වැඩ පිළිවෙලේ ලංකාව නවවැනි තැන ගන්නවා කියල ලෝක කියනවා. ඒක ගැන බොහෝ දෙනාට ආඩම්බරයි. එහෙත් අප දන්නේ නැහැ ඔය කියන ආයතනය එහි දී යොදා ගත් නිර්ණායක කවරෙ ද කියා. ඔය නවවැනි ස්ථානය වාස්තවික යැයි හරි විද්‍යාත්මක යැයි හරි කියන එකක් නොවෙයි. එහෙම ඒවා නැහැ. නිර්ණායක වෙනස් කළොත් ඔය ස්ථානය වෙනස් වෙනවා. නිර්ණායක තීරණය කරන්නේ කවුද? කිසි දිනෙක බටහිර නොවන අය නො වෙයි. 


මා නම් ඔය නවවැනි ස්ථානය කියන එකට එකඟ වන්නේ නැහැ. ඒ මට වෙනත් නිර්ණායක තියෙන නිසා. මා හිතන්නේ කොවිඩ් මැඩ පැවැත්වීමේ දී පළමු තැන ගන්නේ ලංකාව හා චීනය කියා. චීනුන් හා සිංහලයන් තමයි ලෝකෙ පැරණිම ජාතීන්. මෙතෙක් කල් පැවතී ඉන්න ම මේ ජාතීන්ගෙ යම් සංස්කෘතික ලක්‍ෂණ තියෙන්න ඕන. බටහිරයන් ඒ ලක්‍ෂණ තම නිර්ණායක ලෙස ගන්නේ නැහැ. 

චීනයට කොවිඩ් මර්දනයේ දී සහාය වුණෙ ඔවුන්ගෙ කොන්ෆියුෂියස් ධුරාවලිය. කොන්ෆියුෂියස් කියන්නෙ ඉංගිරිසින් ඒ නම උච්චාරණය කරන්න අපට කියා දී ඇති ආකාරය. එහි චීන උච්චාරණය කුන්ෆුට්සි කියල මා අහල තියෙනවා. එය වැරදි වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි කුන්ෆුට්සි කියමු. කුන්ෆුට්සිගේ දර්ශනය ඇරිස්ටෝටල්ගෙ දර්ශනයට වඩා චීනුන්ට වැඩදායක වෙලා තියෙනවා. චීනෙ යින් යැන් දර්ශනයකුත් තියෙනවා. අර ඇරිස්ටෝටල්ගෙ ද්විකෝටික න්‍යාය වගේ නො වෙයි. 

ද්විකෝටිකය පැරණි (සම්භාව්‍ය) බටහිර විද්‍යාවට හොඳයි. ඒත් ක්වොන්ටම් භෞතික විද්‍යාවට හරියන්නෙ නැහැ. ගර්ඩ්ල්ගෙන් පස්සෙ ගණිතයත් (ගණිත න්‍යාය- Mathematical Logic) පරණ ගණිතය නොවෙයි. සත්‍යය කියන්නෙ මොකක් ද කියන එක ගර්ඩ්ල් ප්‍රමේයවලින් ප්‍රශ්න කෙරුණා. දැන් ප්‍රවර්ගවාදයකුත් (Category Theory) තියෙනවා. කුලකවාදය ඉවර කළෙ එය ඇති වන්නත් කලින් දේවානම්පිය තිස්ස රජු. කෝපන්හේගන් අර්ථවිවරණයෙ නිර්මාතෘ බෝර් තම ලාංඡනය ලෙස තෝරා ගත්තෙ යින් යැන් සංකේතය. 

අපට පිහිට වුණෙ හා පිහිට වන්නෙ සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියෙ මනුෂ්‍යත්වය හා සමුහිතකත්වය. ඇරිස්ටෝටල් ළඟ හිරවෙලා ඉන්න පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් ගැන අප කරදර වෙන්න ඕන නැහැ. අපේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බටහිර ආයුර්වේද පාරම්පරික වෙදමහත්වරු වෙද හාමිනේලා, හෙද හෙදියන්, මහජන සෞඛ්‍ය නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම් සිට ග්‍රාම නිලධාරි දක්වා රාජ්‍ය තන්ත්‍රය, ජනමාධ්‍ය හා වෙනත් විවිධ ආයතන එකට එකතු වී පවුලක් මෙන් වැඩ කෙළේ තරහ මරහ අමතක කරලා මනුෂ්‍යත්වය පෙරදැරි කර ගෙන. අපේ හමුදාවෙ මනුෂ්‍යත්වය සැන්ඩ්හර්ස්ට් වෙතින් ලබා ගත්තක් නො වෙයි. මේ සියල්ලට ම නායකත්වය දුන්නෙ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපට කිසිසේත් ම අමතක කළ නොහැකි නම පවිත්‍රා දේවි වන්නිආරච්චි.  මෙහි දී අර සිවල් සංවිධාන නම් දකින්න තිබුණෙ නැහැ. ඔවුන් ජෙනීවා ගිහින් ද? 

කොහොමටත් කොවිඩ්ට හොඳින් ම මුහුණ දුන්නෙ චීන සංස්කෘතියෙන් හෝ ථෙරවාදයෙන් හෝ ආභාසය ලැබූ රටවල ජනයා. බටහිරයන් ඒ බව අමතක කරාවි. චීනයටත් ලංකාවටත් දිය යුතු තැන නොදී සිටීවි. ලෝක ආධිපත්‍යය බිඳී යමින් පැවතුණත් තවමත ඒ තියෙන්නෙ බටහිරයන් අත. අපත් තවමත් හිතන්නෙ ඔවුන් හිතන විධියට. මෙය වහාම වෙනස් කරන්න ඕන. ඒ ගැන පසුව කතා කරමු. අප ප්‍රවාදාත්මකවත් හිතන්න ඕන. එයින් කියන්නෙ එක් පඬි නැට්ටකු කී ආකාරයට කොත්තමල්ලිවල රසායනික සංයුතිය දැන ගන්න එක නො වෙයි. කොත්තමල්ලි කඩන්නෙ නැතිව කොත්තමල්ලි හැටියට හිතන එක. 


අර බටහිර වෙදකම ප්‍රතිමැලේරියා බෙහෙත් දීල බ්‍රසීලයේ රෝගීන් 11 දෙනකු මිය ගිහින්. මේ අප්‍රේල් 16 බිග් තින්ක් සඟරාවෙන් උපුටා ගත්තක්. සජිත් අහගෙන ද? "In the recent Brazil trial, researchers gave chloroquine to 81 COVID-19 patients in a hospital in Manaus. The study involved two groups: One received a high dose of 12 grams of chloroquine over 10 days, the second group received 2.7 grams over five days. Both groups also received the antibiotic azithromycin, which poses its own heart risks. By the sixth day of the trial, 11 patients had died. The high-dose group had an especially high risk of suffering heart arrhythmias, a finding also observed in a separate trial on hydroxychloroquine conducted in a hospital in France."

ජනාධිපති, සෞඛ්‍ය ඇමතිනිය ප්‍රමුඛ ආණ්ඩුවට දිය යුතු ගෞරවය දෙන අතර වරදක් දෙකක් ද පෙන්නන්න ඕන. අප මුල දි කටුනායක ගුවන් තොටුපළ සම්බන්ධයෙන් අවශ්‍ය තරමින් රැකවල් තර කළේ නැහැ. එයට වරද කරුවා ආණ්ඩුව නොවෙයි. ආණ්ඩුවට උපදෙස් දුන් බටහිර වෙදමහත්තුරු. බටහිර වෙදමහත්තුරුත් කිහිප දෙනකු හැරෙන්න විශාල කාර්යභාරයක් කළා. ඔවුන් බොහෝ දෙනකු පාරම්පරික වෙදකමේ ශක්තිය දැක්කා. බටහිර අධ්‍යාපනයෙන් නොමග ගියත් ඔවුනුත් මෙරට දෙමව්පියන්ගෙ දරුවන්. අතරින් පතර අවජාතකයන් ඉන්න පුළුවන්. ඒ වගේ ම අර වෙදමහත්තුරුන්ගෙ වෘත්තීය සමිතිය වෘත්තීය සමිතියක් මිස විශේෂඥයන් යැයි කියන්නන්ගේ සමිතියක් නොවන බවත් මිනිසුන් දැන ගත්තා. හොප්කින්ස් වක්‍ර කාලෙකින් දැක්කෙ නැහැ. කොවිඩ් හොඳ වැඩත් කරල තියෙනවා. 

මේ අවසන් මොහොතේ ආණ්ඩුව ග්‍රාම නිලධාරීන් අසතුටු කර ගෙන. ආණ්ඩුවේ වැඩවල යම් අසාර්ථක බවක් පෙන්නුවේ භාණ්ඩ බෙදා හැරීමේ දී. අර රුපියල් පන්දාහ බෙදීමේ දී ආණ්ඩුව ග්‍රාම නිලධාරීන් තරමක් අවතක්සේරු කරලා. ඔවුන් තමයි ගම ගැන හොඳට ම දන්නෙ. සමෘද්ධි නිලධාරීන් ද වැඩේට හවුල් කර ගත්තට කමක් නැහැ. එහෙත් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනඥයන් එයට හවුල් කර ගත්තෙ අහවල් දේකට ද? දැන්වත් ඔවුන් මේ ක්‍රියාවලියෙන් අයින් කරන්න ඕන. කොවිඩ්ට මුවා වෙලා ඡන්ද ගරණ කසිකබල් තක්කඩි දේශපාලනඥයන් මුළු රටට ම වසංගතයක්. කොවිඩ් තව හොඳයි. 

දේශපාලනඥයන් අත් හැරලා ග්‍රාම නිලධාරීන් වැදගත් කමක් ඇතිව සහභාගි කරවා ගන්න ඕන. ආණ්ඩුව අපහසුතාවට ලක් කරන්න මට වුවමනාවක් නැහැ. දෙයියන්ගෙ පිහිටෙන් මහා මැතිවරණය මැයි අග සතියෙවත් තියා ගන්න පුළුවන් වේවි කියල හිතනවා. මැතිවරණ කොමිසම කලබල වෙන්න දෙයක් නැහැ. ජනාධිපති සුදුසු පියවර ගනීවි. හැකි ඉක්මණින් කොවිඩ් හා අමනුෂ්‍යයන් පරාද කරමු. ඒත් රැකවල් ඉවත් කරන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ. ජනාධිපතිට මැයි අග දි හරි නුවර පෙරහැර කිට්ටු කරල හරි මැතිවරණය පවත්වන්න පුළුවන්. නාථ දෙවියන් නීති උපදෙස් ලබා දේවි.