Main Logo

Thursday 1 April 2021

ගෝඨාභය වික්‍රමපාල

 

ගෝඨාභය වික්‍රමපාල

 

සංස්කෘතික දෙබිඩ්ඩන් ගැන ලියන්න ඕන නමුත් මේ ආණ්ඩුව ගැන වචනයක් දෙකක් කියන්න තියෙනවා. මේ ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නෙ. කැලෑ කපනවා. පිළිකා කාරක පොල්තෙල් ගේනවා. ජාතිකත්ව වැඩ පිළිවෙළක් නැහැ. ජෙනීවාහි දී පරදිනවා. මියන්මා විදේශ ඇමතිත් සහභාගි කර ගනිමින් අද බිම්ස්ටෙක් කියල විදේශ ඇමති අතථ්‍ය රැස්වීමක් පවත්වනවා. ඒ මදිවට පාස්කු ප්‍රහාරයටත් මැදිහත් වෙලා. ඇත්තට ම ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නෙ.

 

ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන්නෙ 1.6 %ක කැලෑ ඉඩම් පමණක් කියා කියනවා. මේ ආණ්ඩුව මෙතරම් කැලෑ කපද්දි කවුරුන්වත් දැක්කෙ නැද්ද? වාහනවලින් වාතය දූෂණය කරනවා. කාබන් ඩයොක්සයිඩ් පිට කරවනවා. අපට හුස්ම ගන්න බැරි තත්වයකට පත් කරලා. රේගුව පිළිකා කාරක පොල්තෙල් ගැන හොයල බැලුවෙ නැද්ද?  ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වෙලා තාම මාස දහසයයි. මේ ටිකට මෙතරම් විනාශයක් කරල නම් ඉතිරි මාස හතළිස් හතරෙ මොනව කරයි ද?

 

මා පරිසරවේදියෙක් නො වෙයි. බටහිර විද්‍යාවෙ නම් කියනව අපට ඔක්සිජන් ඕන කියල. බටහිර විද්‍යාව ම කියනව අපට අවශ්‍ය ඔක්සිජන්වලින් වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නෙ මුහුදෙ කියල. මා හරියට ම ප්‍රතිශත දන්නෙ නැහැ. කොහොමත් මා විද්‍යාඥයෙක් නොවෙයි. මානව විද්‍යාඥයෙක්වත් නොවෙයි. ඊයෙ පෙරේදා මානව විද්‍යාඥයෙක් කියල තිබුණ මේ සමාජයෙ විනයක් නැත්තෙ සාහිත්‍යයෙන් ඉවත්වීම නිසා කියල. ඔහු හා මා අතර සමානකමක් තියෙනවා. අප දෙදෙනාම විද්‍යාඥයන් එහෙමත් නැත්තන් ස්වාභාවික විද්‍යාඥයන් වීමට නොහැකි වූ අය.  ඔහු මානවවි්‍යාඥයෙක්. මා කිසිම විද්‍යාඥයෙක් නොවෙයි. මා ටික දිනකින් ලංකාවට එනවා. ඒ එන්නෙ ධම්මික වෙද මහතාගෙ පැණිය බොන්නත් එක්කයි. 

 

දැන් ගම්පහ මිනිසුන් හුස්ම ගන්නෙ කොහොම ද? කැලෑ ඉඩම් 1.6%කින් ඔක්සිජන් නිපදවන ප්‍රමාණය කොපමණ ද? ගම්පහට අනෙක් දිස්ත්‍රික්කවලින් හා මුහුදෙන් ඔක්සිජන් හම්බ වෙන්නෙ නැහැ. ගම්පහ වටේට ගෝඨාභය ද කොහෙ ද මහා විශාල තාප්පයක් බැඳලා. මාස දහසයට කරල තියෙන වැඩ. ගස් කපනවට අමතර ව තාප්පත් බැඳලා. මොනව වූණත් වැඩ කාරයෙක්.

 

මා නම් හිතන්නෙ නැහැ සමාජයෙ විනයක් නැත්තෙ සාහිත්‍යයෙන් ඉවත්වීම නිසා කියල. ඒ වුණත් මානවවිද්‍යාඥයකු කියන දෙයක් ලෙහෙසියෙන් ඉවත දාන්න බැහැ. අපේ මානවවිද්‍යාඥයා කියා නොතීබුණත් අහන්න වෙනවා ගෝඨාභය රාජපක්‍ෂ සාහිත්‍යය අයින් කෙළෙ මොකද කියල.  ඉතිහාසය අයින් කිරීම ගැන කවුරුන්වත් මොකුත් කියල තිබුණෙ නැහැ. ඒක හින්ද ප්‍රශ්නයක් නැහැ.

 

ඉස්සර පොල් ගස් තිබුණ. පොල් ගස් කැපීමෙන ඔක්සිජන් නිෂ්පාදනය කෙතරම් අඩු වුණා ද කියල මා දන්නෙ නැහැ. ඒත් සංවර්ධනය සඳහා නෙ පොල් ගස් කපන්නෙත්. පොල් ගස් කැපිල්ලෙන් දේශීය පොල් තෙල් නිෂ්පාදනය කොයි තරම් අඩුවෙලා ද කියලත් මා දන්නෙ නැහැ. එච්චර ම වෙන්න බැහැ. දේශීය විනාකිරි එහෙම අඩු ද කියල දන්නෙත් නැහැ. අප කුඩා කළ විනාකිරි ගත්තෙ ළඟ ගෙදරකින්. දැන් විනාකිරි ගන්නෙ කඩෙන්. අවුරුද්දට අච්චාරුවක් වරදින්නෙ නැහැ. මා ළඟදියි දැන ගත්තෙ අච්චාරු කියන වචනෙ හැදුණෙ මලයාලම් බසින් කියල. ඒත් ඒ වන විට ගෝඨාභය පොල් ගස් කපල ඉවරයි. ඇතුළත්මුදලි කිවුව ආර්ථික න්‍යාය අනුව නම් අච්චාරු කේරළයෙන් ම ගේන එක ලාබයි කියලා.

 

ජෙනීවා පැරදුණ එක මොන තරම් අවනම්බුවක් ද? මංගල බයිලා කියනවා. ඔහු ජෙනීවාහි දීත් කිවුවෙ බයිලා. ඉංගිරිසිනගෙ බයිලා. අඩු ගාණෙ පෘතුගීසි බයිලවත් කිවුවෙ නැහැ. ඒත් ගෝඨාභය ජෙනීවාහි වැඩ වරද්ද ගෙන. අර පෙම්බ්‍රෝක් කිරිඇල්ල කියල තිබුණෙ මංගල නම් ජෙනීවා පැරදුණෙ නැහැ කියල. මංගලත් පෙම්බ්‍රෝක් ගියා ද දන්නෙ නැහැ. මට නිච්චියක් නැහැ මංගල ඉස්කෝලෙ යන කාලෙ පෙම්බ්‍රොක් තිබුණ ද කියල. කොහොමත් මංගල නැති මංගලට පෙම් කැඩෙන්නෙ නැහැ.

 

ගෝඨාභය ජෙනීවාහි මංගල බයිලා කිවුව නම්, අඩු තරමෙන් දිනේෂ් ලවුව කියෙවුව නම් ලංකාව පරදින්නෙ  නැහැ. රණවිරුවො පරදිනව ද කියල අහන්න එපා. කොටි පරාද කරපු රණවිරුවන් පරාද කරන්නමයි තියෙන්නෙ. රේගුව ගෝඨාභය එන තෙක්  හොඳට වැඩ කරලා. ඒ කාලෙ ගෙනැල්ල තියෙන්නෙ හොඳ ම හොඳ පොල්තෙල්. නියම විධියට නියැදි ලබාගෙන නිරීක්‍ෂණය කරලා. පිළිකා කාරක පොල්තෙල් බහාලුම් ආපහු යවල. ඒ දවස්වල එහෙම යවපූ එහෙම නැත්නම් ප්‍රතිඅපනයනය කළ  පොල්තෙල් ගැන ජනමාධ්‍යයෙ කොච්චර කතාබහට ලක්වුණා ද? ගෝඨාභය මොකද මේ පිළිකා කාරක පොල්තෙල් ගෙන්නන්නෙ.

 

බිම්ස්ටෙක් කියන්නෙ කලාපීය සංවිධානයක්. ඒකෙ විදෙශ ඇමතිවරු අද මියන්මා විදෙස් ඇමතිත් සමගින් රැස්වෙන්න තිබුණෙ. ගෝඨාභය ඒ සියල්ල අවුල්කරලා. ඔහු දිනේෂ් ගුණවර්ධන ලවුව ලංකාවත් මියන්මා රටත් අතර පමණක් සාකච්ඡාවක් බවට ඒක පත් කරල. මියන්මාහි ලංකා තානාපතිට ඕව මොකුත් තේරෙන්නෙ නැති හින්ද හොඳයි. ඔහු අහන්නෙ දිනේෂ් ගුණවර්ධන ඇරපු ආරාධනා පත්‍රය ජනමාධ්‍යයට ගියේ කොහොම ද කියලා. ඒ ඒ තැන්වලින් ජනමාධ්‍යයට විවිධ ලිපි ලේඛන යැවෙන බව නම් පේන්න තියෙනවා.

 

මේ ඔක්කොටමත් වඩා ගෝඨාභය ජනාධිපති වෙන්නත් මාස ගාණකට කලින් පාස්කු ප්‍රහාරයක් එල්ල කරපු එකේ වගකීම භාරගෙන නැහැ. ඔහු ඒ දිනවල ම ජනාධිපති වෙන්නත් ඉස්සර කොමිසමකුත් පත් කරල ඒ ගැන විභාග කරන්න. ආරංචි තියෙන්නෙ සියල්ල යටගහන්න හදනවා කියලා. කාදිනල්තුමා ඒකට ඉඩ දෙන එකක් නැහැ. එතුමා කොටි ත්‍රස්තවාදය පිළිබඳ පරීක්‍ෂණ යට ගහන්න දුන්නෙත් නැහැ.