Main Logo

Saturday 10 April 2021

රාජ්‍ය සේවය හා ධීවරයෝ

 

                                        රාජ්‍ය සේවය හා ධීවරයෝ

 

මා දැන් ලංකාවෙ. මේ දිනවල මියන්මාහි පනුවන් කන සාම පරෙවියන් බැලීමේ අවස්ථාව නැතිවෙලා. මේ රටේ බොහෝ දෙනා විදේශ අමාත්‍යාංශය ද ඇතුළු ව සිතන්නේ මියන්මාහි ලංකා තානාපති කාර්යාලයෙන් වැඩක් වන්නේ නැහැ කියා. උදාහරණයක් ලෙස ධීවරයන්ගේ ප්‍රශ්නයේ දී ලංකා තානාපති කාර්යාලය කිසිවක් කළ බවක් අඩු තරමෙන් විදේශ අමාත්‍යාංශය පිළිගන්නේ නැහැ. ජනමාධ්‍ය කෙසේවත් පිළිගන්නේ නැහැ. ඔවුන සිතන්නේ තානාපති සේවයෙන් වැඩක් වන්නේ නැහැ කියා.

 

මා කලිනුත් කියා ඇති මා දක්‍ෂයකු නොවන බව. එහෙත් මා තානාපති ධුරයේ කටයුතු කරනවා. ජනාධිපතිතුමා තවම මට අස්වෙන්න කියා නැහැ. සමහරවිට මා අදක්‍ෂයකු බව එතුමා නොදන්නවා ඇති. මා කෙසේවෙත් මියන්මාහි ලංකා තානාපති කාර්යාලය නම් වෙහෙස නොබලා වැඩ කරනවා. ධීවරයන්ගේ ප්‍රශ්නයේදීත් ඔවුන් ඵලදායී රාජකාරියක් කළා. එහෙත් එහි ගෞරවය ඔවුන්ට නොලැබෙන බවට මට විශ්වාසයක් තියෙනවා.

 

රාජ්‍ය සේවය ගැන මට දැන් මනා වැටහීමක් තියෙනවා. එය ක්‍රියාත්මක වන්නේ මූලධර්ම තුනක් මත පදනම් ව. පළමුවෙන්ම ඇත්තේ වගකීම පිළිබඳ නර්වචනය.

 

වගකීම යනු තම වගකීම වෙනත් අයකුට පැවරීම වෙයි. එය ඉතා සූක්‍ෂඟ ව කළ යුත්තක්. තමා වගකීම පැහැර හරින බව කිසිවකුට නොදැනෙන සේ කළ යුතු වෙයි. මා මෙයින් කියන්නේ සියලු රජයේ සේවකයන් එසේ කරන බව නො වෙයි. එහෙත් රජයේ සේවය සමස්තයක් ලෙස ගත්කල ක්‍රියා කරන්නේ එලෙසයි.

 

දෙවනුව අනෙකකු කරන වැඩක වුවත් ගෞරවය තමා සතු කර ගැනීම.

 

ඒ සඳහාඅවශ්‍ය වන්නේ වචන හරඹයක්. අනෙකා කරන වැඩක් මුල සිට ම නොපිළිගත යුතුයි. එසේ පිළිගන තිබුණොත් ඒ නිසා යම් දවසක ඒ අනෙකාට ගෞරවයක හිමි විය හැකි බැවින් ලිපී ලේඛනවල අනෙකා කර ඇති කිසිවක් සඳහන් නොවිය යුතුයි. අනෙකා කර ඇති වැඩක් ගැන ලිපියක්යවන විට ඒ වැඩය තම වැඩක් ලෙස පෙන්වනවා මිස අනෙකාගේ වැඩක් ලෙස පෙන්වීමට කටයුතු නොකළ යුතුයි.

 

එය තරමක අමාරු වැඩක්. අනෙකා කර ඇති වැඩක් ගැන දැන් වූ විට ඒ ගැන කිසිම සඳහනක් නොකර එය දැනුම් දුන් බවවත් නොපිළිගෙන එය තම වැඩක් ලෙස පෙන්වමින් අනෙකාට ලිපියක් යැවීම හිතන තරම් පහසු කටයුත්තක් නො වෙයි. එහෙත් ටික කලක පුහුණුවකින් පසු යමකුට ඒ පිළිබඳ මනා පරිචයක් ලබා ගත හැකියි.

 

තුන්වැනුව තමන් වැඩ නොකරමින් වැඩ කරන බව පෙන්වීම.

 

එය ගැන නම් බොහෝ දෙනකුට හොඳ පළපුරුද්දක් තියෙනවා. කිසිවකු යම් ප්‍රශ්නයක් ගැන කී විට හරි මා මේ දැන් ම අදාළ පුද්ගලයාට කතා කරන්නන් කියනවා. එහෙත් කතා කරන්නේ නැහැ. අර තැනැත්තා පසුව ඇහුවොත් අහවලාට කතා කළා ද කියා ඒ සඳහා කදිම උත්තරයක් දීමට බොහෝ දෙනා දන්නවා.

 

කවුරුන් හරි කියාවි මා කරන්නේත් එය ම තමයි කියා. එහෙමමත් නැහැ. මා වැඩ කරන බවක් කියන්නේ නැහැ. මා කියන්නේ මා අදක්‍ෂයකු නිසා මට වැඩක් කළ නොහැකි බවයි. මුහුණු පොතේ ඇතැමුන් වැඩ බැරි තානාපති ලෙස මා ගැන කීම සමග මා උරණ වන්නේ නැහැ.

 

මියන්මාහි අත් අඩංගුවට පත් වී සිර දඬුමක් නියම වූ ධීවරයන් සම්බන්ධයෙන් මා කිසිවක් නොකළ බවයි බොහෝ දෙනාගේ වැටහීම. විදේශ අමාත්‍යාංශය කටයුතු කරන්නේත් එවැනි හැඟීමක        දනවන ආකාරයටි. මා ඔවුන්ගේ විශ්වාසය කඩවන ආකාරයකට කටයුතු කූන්නේත් නැහැ.

 

මා දන්නා කරුණක් තියෙනවා. යම් අයුරකින් ධීවරයන් නිදහස් කරනු ලැබුවහොත් ඒ මෙරට කිහිප දෙනකුගේ නොපසුබට දර්ශනය හා ඔවුන් කෙරෙහි  මියන්මා බලධාරීන් දරණ විශ්වාසය හා ගෞරවය නිසා. යම් අයුරකින් ධීවරයන් නිදහස් කරනු නොලැබුවහොත් ඒ මා කිසිවක් නොකළ නිසා. අපි බලමු.