Main Logo

Tuesday 6 April 2021

මියන්මා ධීවර ප්‍රශ්නය

 

මියන්මා ධීවර ප්‍රශ්නය

 

මේ මියන්මා දේශයට පැමිණ අත්අඩංගුවට පත් වී ඇති ධීවරයන් දොළොස් දෙනා සම්බන්ධ කෙටි සටහනක් පමණයි. තරමක් දීර්ඝ විස්තරයක් පසුව කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

ධීවරයන් දොළොස් දෙනා මියන්මා මුහුදු සීමාවේ දී මියන්මා නාවික බලධාරීන් අත්අඩංගුවට ගෙන දැන් මාස දෙකක් පමණ ගත වී තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට පත් වී ඇත්තේ මියන්මා හමුදා රජය බලයට පත් වී දින කිහිපයකින්. ඒ කරුණ ලංකාවේ බොහෝ දෙනකු අමතක කරනවා.

 

මියන්මාහි ලංකා තානාපති කාර්යාලයට පමණක් නොව අනෙක් තානාපති කාර්යාලවලටත් මියන්මා රජය සමග සංනිවේදන කටයුතු කිරීමේ දී ගැටළු ඇති වෙනවා. මා ඒ ගැන වැඩි විස්තරයක් කරන්නේ නැහැ.

 

ධීවරයන් අත්අඩංගුවට පත් වූ විට සංනිවේදන ගැටළු නිසා අප තානාපති කාර්යාලය ඒ බව දැන ගත්තේත් ටිකක් පමා වෙලා. ඒ දැන ගත් මොහොතේ පටන් තානාපති කාර්යාලය කළ යුතු හා කළ හැකි සියල්ල ඉටු කර තිබෙනවා. ලංකාවේ ඉහළ ම බලධාරීන් ඒ සඳහා මැදිහත් කරවීමට අපට හැකි වුණා.

 

තානාපති කාර්යාලයේ නිලධාරීන් ධීවරයන් සමග කිහිප අවස්ථාවක කතා කර තියෙනවා.  මියන්මාහි වෙසෙන ලාංකිකයෙක් ද ධීවරයන් සමග සම්බන්ධකම් පවත්වනවා. ඔහු දෙතුන් වතාවක් ධීවරයන් හමුවෙලත් තියෙනවා. ධීවරයන්ගේ යම් යම් අවශ්‍යතා, ආහාර ඇඳුම් පැලඳුම් ආදිය ගැන සොයා බැලීමට ඔහු සමත් වී සිටිනවා.

 

ඇතැමුන් කීමට තැත් කරන ආකාරයට ධීවරයන් මියන්මා මුගුදු සීමාවට පැමිණ ඇත්තේ දියවැළකට හසු වී නො වෙයි. ඒ බව ධීවරයන් මියන්මා නාවික බලධාරීන්ට දී ඇති ප්‍රකාශයේ මෙන් ම ඔවුන්ට විරුද්ධ ව පැවති නඩු විභාගයේ දී ඔවුන් දී ඇති සාක්‍ෂිවලින් ද පිළිගෙන තියෙනවා.

 

ධීවරයන් අත්අඩංගුවට පත් වූ දින සිට ම අප විවිධ බලධාරීන්ගෙන්  ඉල්ලා සිටියා ධීවරයන් කෙරෙහි සහනශීලී ආකාරයකට කටයුතු කරන ලෙස.  මියන්මාහි දී දැනගත් ඉතාමත් ජ්‍යෙෂ්ඨ මෙන් ම සමාජයේ ගෞරවයට පාත්‍ර වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ කෙනකුටත් මා ආයාචනා කළා බලධාරීන්ගෙන් සහනයක් ලබා දීමට කටයුතු කරන ලෙස. උන්වහන්සේ ඒ ආයාචනය පිළිගත්තේ ලංකාවට කරන ගෞරවයක් ලෙස.

 

ධීවරයන්ට විරුද්ධව මියන්මා නීති සංග්‍රහය යටතේ නඩු පවරා තිබුණා. නඩුවේ තීන්දුව පසුගිය දා ලබා දුන්නා. ධීවරයන් තමන් මියන්මා මුුහුදු තීරයට අනවසරයෙන් පැමිණ ඇති බව පිළිගෙන ඇති බැවින් ඔවුන්ට සිර දඬුවමක් නියම කෙරී තියෙනවා. එහෙත් අප මියන්මා රජයේ ඉහළ ම නිලධාරීන්ට කතා කරමින් ධීවරයන් නිදහස් කරන ලෙස  ඉල්ලා සිටිනවා.

 

ඒ සියල්ලට අමතර ව මා බලධාරීන්ගෙන් ධීවරයන් නිදහස් කරන ලෙස ලිඛිත ව ඉල්ලා තිබෙනවා. එමෙන් ම මේ කාරණයෙහි දී අප කොළඹ මියන්මා තානාපති කාර්යාලයත් සමග නිරන්තර ව සාකච්ඡා කරනවා.

 

මියන්මාහි  තිබෙන සංනිවේදන ගැටළු නිසා අපට කළ හැකි කාර්යයන් සීමා වී ඇති බව මා පිළිගන්නවා. එක්තරා ජනමාධ්‍යවේදියකු තම මාධ්‍යය උපයෝගි කර ගනිමින් කියා සිටියේ ලංකාවේ තානාපති සේවාවෙන් කිසිවක් ඉටු නොවන බවයි. අපට ඇති වී තිබෙන සංනිවේදන දුෂ්කරතා පිළිබඳ අවබෝධයක් බොහෝ දෙනාට නැතිව ඇති. මා මගේ නිදහසට කිසිවක් කියන්නේ නැහැ. මේ කරුණ සම්බන්ධයෙන් අප දිනපතා මෙන් කර ඇති දේ සුදුසු අවස්ථාවක දී ඉදිරිපත් කරනවා.