Main Logo

Monday 5 April 2021

දෙබිඩිකමේ ආරම්භය

දෙබිඩිකමේ ආරම්භය

 

අද අප්‍රේල් පස්වැනි දා. අවුරුදු පනහකට පෙර අද වගේ දවසක පාන්දර තමයි ජ වි පෙ ඊනියා උගත් ගැමි තරුණ පරපුර වැල්ලවාය පොලීසියට ගහලා විප්ලවේ කරන්න හැදුවෙ. ඔවුන්ට දවසවත් හරියට දැනුම් දීගන්න බැරි වෙලා. විප්ලවේ හේදිලා ගියා. ඒත් ජීවිත රාශියක් නැති වුණා. අද ජ වි පෙ පුස්වෙඩිලි ගැන කතා කරනවා. ඔවුන් පුස්වෙඩිලි දෙකක් ම තිබ්බ. ඒවා පුස්වෙඩිලි වෙන්නෙ එක අරුතකින්. ඒත් ඒ පුස්වෙඩිලි ජීවිත රාශියක් බිලි දී ගත්තා. මේ මාක්ස්ගෙ නාමයෙන් තියන ජීවිත බිලිගන්නා පුස්වෙඩිලි. මේ් ගැන විස්තරයක් බදාදා (7) ලිපියෙන් බලාපොරොත්තු වන්න.

 

අපට අතපසු වෙච්ච සංස්කෘතික දෙබිඩ්ඩන්ගෙ කතාව තව ටිකක් ඉදිරියට ගෙන යන්න ඕන. අපේ මූලික ප්‍රශ්නය අපට සංස්කෘතික අනන්‍යතාවක් නොමැතිවීමයි. එයට හේතු ගණනාවක් තියෙනවා. එය පස්වැනි සියවසේ පමණ සිට එන්නක්. මිහිඳු හිමියන් මෙරට බුදුසසුන පිහිටෙවුවා. එයට කලින් ද  බුදුදහම මෙරට තිබූ බවට සාක්‍ෂි තියෙනවා. ඒ බුදුදහම මෙරට තිබූ යක්‍ෂ හා නාග සංස්කෘතීන් තුළට වැද්දගනු ලැබූවක්. සිංහල බුද්ධාගමේ පදනම එයයි.

 

මියන්මාහි බෞද්ධ සංස්කෘතීන් රාශියක් තියෙනවා. එරට ජනවර්ග එකසිය ගණනක් තියෙනවා. විවිධ භාෂාත් තියෙනවා. ඒ ඒ සංස්කෘතියට බුදුදහම අවශෝෂණය කරගෙන. එබැවින් මියන්මාහි මියන්මා බුද්ධාගමක් නැහැ. ඇත්තේ මොන් බුද්ධාගම, බුරුම බුද්ධාගම, රකායන් බුද්ධාගම ආදී වශයෙන්. බුදුසසුන කියා එකකට මියන්මාරය එක්සේසත් කරන්න බැරි වෙලා, ඒ ඒ සංස්කෘතියේ ඇඳුම් පැළඳුම් , ඇවතුම් පැවතුම්, සිරිත් විරිත් ආදිය  වෙනස්.

 

මිහිඳු හිමියන් මෙරට බුදුසසුනක් ඇති කිරීමට කටයුතු කළා. උන්වහන්සේ දඹදිවින් ගෙනා බෞද්ධ සංස්කෘතියකට මෙරට තිබූ සංස්කෘතී අවශෝෂණය කළා නොව, මෙරට සංස්කෘතීන් තුළට බුදුදහම අවශෝෂණය කළා. ඒ දෙකක්. එහෙත් වැඩි කල් ඒ තත්වය තිබී නැති බවක් පේනවා. මෙරට සංස්කෘතිය පස්සට තල්ලු කර දඹදිව සංස්කෘතීන් ඉදිරියට පැමිණ තියෙනවා. හතරවැනි සියවස එහි සංක්‍රමණීය කාලයක් ලෙස  සලකන්න පුළුවන්. පසවැනි සියවසින් පසුව දඹදිව සංසකෘතීන් මෙරට වැදගත් තැනක් හිමි කරගෙන තියෙනවා.

 

ධාතුසේන රජු සමයේ අප විශාල සංස්කෘතික වෙනසකට භාජනය වී තියෙනවා. ධාතුසේන රජු මෙරට පළමුවැනි මෞර්ය රාජ වංශිකයා ලෙස සැලකෙනවා. චන්ද්‍රගුප්ත අශෝක ආදීන් මෞර්ය වාංශිකයන්. ධාතුසේන රජුගේ පියා දඹදිවින් පැමිණි තැනැත්තෙක්. ඒ පියාට අශෝක රාජ පරම්පරාව සමග සම්බන්ධයක් තියෙන්න ඇති. ඒ කොහොම වුණත් අපේ රජකු මෞර්ය රජකු ලෙස හැඳින්වීමේ දී ආධිපත්‍යය පිළිබඳ කරුණක් මතුවෙනවා.

 

මේ ආධිපත්‍යය පිළිබඳ කතාව තමයි කාශ්‍යප මුගලන් යුද්ධය. කාශ්‍යප මෙරට රජ කෙළේ විරුද්ධතාවකින් තොරව. ඔහුට විරුද්ධ ව සටන් කිරීමට මුගලන්ට භාරතයෙන් හමුදා ගෙනෙන්න සිදු වුණා. ඒ ගැන අප එතරම් අවධානයක් දක්වන්නේ නැහැ. එහෙත් අපේ රටේ ආධිපත්‍යයක් පිහිටුවීමට එදා භාරතයේ හමුදා යොදා ගෙන තියෙනවා. විජය රජු දවස සිට පැවත එන මේ අරගලය ධාතුසේන රජු දවස දඹදිවට නැත්නම් භාරතයට වාසිදායක අන්දමින් විසඳී තියෙනවා.

 

අපේ උගතුන් සංස්කෘතික දෙබිඩ්ඩන් වන්න පටන් ගත්තේ මේ කාලයේ සිට කියා හිතනවා. එදා සිට අපේ නිර්මාණ ශක්තිය සංස්කරණය කිරීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවෙලා. කලාවැව වැනි මහාවැව් අවුකන බුදුපිළිම වහන්සේ වැනි විශාල බුදුපිළිම අපේ සංස්කෘතියට ඇතුල් වුණේ ඉන් පසුවයි. අපේ සංස්කෘතියේ අපේ නොවන අංග ඇත්තේ එා කාලයෙන් පසුව.

 

වෙනත් සංස්කෘතියක ඇති දෙයක් අපේ සංස්කෘතියට අවශෝෂණය කිරීම අයහපත් දෙයක් නො වෙයි. ඒහෙත් වෙනත් සංස්කෘතික කෑලි අතනින් මෙතනින් එල්ලා ගැනීම නම් යහපත් දෙයක් නො වෙයි. අපේ සංස්කෘතිය සජාතීය සංස්කෘතියක් වනු පසෙක තබා සංස්කෘතික ලට්ට ලොට්ට එල්ලා ගත් එකක් බවට පත්වෙලා. අපට මහාරාජාලා හිටියේ නැහැ. මහා කාරුණිකයන් වහන්සේ නම් ඉන්නවා. අපට මහා වැව් තිබුණේ නැහැ. මහා පිළිම වහනසේ තිබුණේ නැහැ. එහෙත් ධාතුසේන රජුගෙන් පසු අපට ඒ තියෙනවා.

 

පසු කාලෙක මහා පරාක්‍රමබාහුත් හිටියා. මහා ගැමුණු කෙනකු හිටියේ නැහැ. එකල රජවරුන්ගේ නම් තිස්ස, ගාමණී, අභය වැනි සරල නම්. පසුව පොළොන්නරුවට එන විට පරාක්‍රමබාහු හා පසු කාලීනව වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ වැනි නම් තිබුණා. සජාතීය සංස්කෘතිය නැති වීමේ ප්‍රතිඵලය ලෙස පෘතුගීසී කාලයෙන් පසුව තව තවත් සංස්කෘතික අගෝපාංග අවශෝෂණයකින් තොරව එල්ලා ගැනීමට අපට හැකි වුණා.

 

අද මළ ගෙදර බූරුවා ගැසීමට අප පුරුදු වී ඉන්නවා. ඒ අප බූරුවන් වූ නිස ම නොවෙයි. අපේ සංස්කෘතික දෙබිඩිකම නිසා. අප මළ ගෙවල්වලට යනවා, නමත් ලකුණු කරනවා. නම ලකුණු කර ආපසු එන ගමන් ටිකක් දා ගන්නවා. බයිලා කියනවා. සතුටු වෙනවා. මිය ගිය අය ගන කිසිම තැකීමක් නැහැ.  පන්සිල් අරගෙන දානමය පින්කමක් අවසානයේ මත්පැන් නැත්නම් අඩුවක්. පන්සිල් මෙතරම් බාල්දු වූ යුගයක් ඉතිහාසයේ තියෙන්න විධියක නැහැ.(මතු සම්බන්ධයි)