Main Logo

Monday, 26 April 2021

අප විවාහ වී අවුරුදු පනහයි

 

අප විවාහ වී අවුරුදු පනහයි

 

අද 2021 අප්‍රේල්  විසිහයවැනි දා. අදට අප විවාහ වී අවුරුදු පනහක් පිරෙනවා. එය ඔබට වැදගත් වෙන එකක් නැහැ. ඉතින් අපට මොකෝ කියා අහන්නත් පුළුවන්. මෙය අතීතාවර්ජනයක කොටසක් පමණයි. අපේ විවාහය  ගැන මට ඇත්තේ සතුටක් මෙන් ම දුකක්. සතුට මට ඉතා හොඳ භාර්යාවක් ලැබීම ගැන. දුක ඇයට හොඳ සැමියකු නොලැබීම ගැන. අවුරුදු පනහකට පෙර අපට මස්තකප්‍රාප්ත වෙන්න පෝරුවක් තිබුණේ නැහැ. අෂ්ටක කියන්න දැරියන් හිටියේ නැහැ. ඡායාරූප ශිල්පීන් නොහිටි එක නම් හොඳයි. විවාහයට සහභාගි වූයේ පස්දෙනයි. අප දෙදෙනාත් සාක්‍ෂිකරුවන් දෙදෙනාත් ලේකම්වරයාත් පමණයි. ඒ කොවිඩ් නිසා නො වෙයි. අප විවාහ වූයේ මහනුවර කච්චේරියේ.

 

එය ජ වි පෙ කලබල නිසා සිදු වූ විවාහයක්. 1971 අප්‍රේල් පස්වැනි දා විශ්වවිද්‍යාලය වසා දැම්මා. සිසුවියක වූ ඇය ගෙදර ගියා. අපත් බොහොම අමාරුවෙන් ගෙදර ගියා. නුවර සිට පාණදුරේට ගියේ කුරුණෑගල හරහා. පාලම් බෝක්කු කඩා දමා තිබුණා. අවුරුද්දෙන් පසු ටික දිනකින් නැවත පේරාදෙණියට ආවා. විශ්වවිද්‍යාලයේ ලස්සන හැමදාම හැමට එක විධියට පේන්නෙ නැහැ. ඒ වසන්තය. සරසවි උයනේ මල් පිපිල තියෙන්න ඇති. ඒත් මා ඒ දැක්කෙ නැහැ. ඒ ජ වි පෙ ඊනියා විප්ලවය නිසා නොවෙයි. ජ වි පෙ ක්‍රියාකාරකම් නිසා සිදු වූ එක ම සාර්ථක විප්ලවය අපේ විවාහය වෙන්න ඇති.

 

ඇය අන් සියල්ල අත්හැර මා සමග පැමිණියේ ඇයි. යම් පිරිමියකු හරි ගැහැණියක හරි වෙනත් ගැහැණියක හරි පිරිමියකු හරි වෙනුවෙන් අන් සියල්ල අත්හරින්න සූදානම් ඇයි? මෙය කිසි දා තේරුම් ගැනීමට බැරි දෙයක්. දැනෙන යමක් තේරුම් ගන්නවා කියන්නේ අඩු තරමෙන් මනසට හරි දැනෙන වෙනත් දේකින් ඒ විස්තර කිරීම. කළු කුහර මහා පිපිරුම තේරුම් ගන්න පුළුවන්.  එහෙත් ප්‍රේමය එහෙම තේරුම් ගන්න බැහැ. කිසි දිනෙක තේරුම් ගන්න බැහැ. ඒ වෙනුවෙන් කවි ගීත කතා කොතරම් ලියැවුණත් එය සම්පූර්ණ වන්නේ නැහැ. වැඩියෙන් ම කවි ලියැවෙන්නෙ ගීත ලියැවෙන්නෙ ප්‍රේමය වෙනුවෙන්. ඒ එහි ඉවරයක් නැති නිසා. තේරුම් ගන්න බැරි නිසා. අනාගත ගීත රචකයන්ටත් වැඩ තියේවි. විරහවත් ප්‍රේමයේ ම කොටසක්. කොවිඩ් 19 ප්‍රේමය වගේ වෙන්න බැහැ. කවුරුන් හරි බොරුවක් ගොතාවි.

 

කාට හරි කියන්න පුළුවන් මේ සංසාරගත බැඳීමක් කියා. සමහරුනට එය එහෙම වෙනවා ඇති. මා සම්බන්ධයෙන් එහෙම කියන්න බැහැ. එක් භවයක හරි මගේ භාර්යාව වෙලා සිටිය අයකු සසර වසන තුරු නැවත මගේ භාර්යාව වීමට පතන එකක් නැහැ. ඒත් සත්වයකුගේ භව සංඛ්‍යාවට වඩා සත්ව සංඛ්‍යාව දෙගුණයකට වඩා විශාල වන්න පුළුවන්. ඒ මට සුද්දන් පුරුදු කළ විධියට හිතන්න ගිහින් කියැවෙන කතන්දර. ගණන් ගන්න එපා.

 

සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවි මෙහෙම කියනවා. අපොයි මා පඬියකු නොවෙයි. මෙය මතකයෙන් ලියන්නක් නොවෙයි. මිතුරන්ගේ උදවුවෙන් පොත බලාගෙන ලියැවෙන්නක්.

 

අසිරිමත් වු දේකි මෙලොව ප්‍රේමය නමිනා

වැනූ පොරණ කිවිඳුන් සොඳ රස මුසු බසිනා

සියලු භෝග වස්තු ඉසුරු හරිති නෙක් දනෝ

සව් සැප දෙන සිතුමිණ වන් ප්‍රේමය සන්දා

 

අපට සුප්පා දේවිට තරම්  භෝග වස්තු ඉසුරු තිබුණේ නැහැ. ඒත් අප අන් සියල්ල අත්හැරියා. එය එසේ සිදු වූයේ ඇයි? මා දන්නේ නැහැ. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණියේ 1970 සැප්තැම්බරයේ පමණ. ඇය ඒ වසරේ ම ඔක්තෝම්බරයේ තෙවැනි වසර සිසුවියක ලෙස විශ්වවිද්‍යාලයට නැවත පැමිණියා. 1968 අවසාන කාර්තුවේ, එනම් විශ්වවිද්‍යාලයේ අදාළ අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ ඇය පළමු වසරේ සිසූුවියක වුණත් මා සහකාර කථිකාචාර්යවරයකු වුවත් මා ඇය දැක තිබුණේ නැහැ. සමහර විට පේන්න ඇති. ඒත් දැක්කේ නැහැ. 1970 වන විට තත්වය වෙනස්. ඇය ගණිතය විශේෂ උපාධිය හදාරමින් සිටියා. අපේ නෙත් ගැටීම වළක්වන්න විධියක් තිබුණේ නැහැ.

 

මිට අවුරුදු හැත්තෑවකට පමණ පෙර අපි අනුරාධපුරයේ වන්දනා ගමනක් ගියා. බරකරත්තයෙන් නොවෙයි. හාමුදුරුවරු කිහිප නමක් ද අප සමග වැඩියා. තුන් සරණය කියමින් ඒ ගිය වන්දනා ගමන අද යන ට්‍රිප්වලට වඩා වෙනස්. අනුරාධපුරයේ විශ්‍රාම ශාලාවේ (මතක හැටියට දුටුගැමුණු) ඉන්න අතර එක් හාමුදුරු නමකට මගේ අත බලන්න ඕන වුණා. ඒ දිනවල බොහෝ දෙනා සිතා සිටියේ මා දක්‍ෂයකු කියා. ඉතා මෑත කාලයෙහි ජාතික කඳවුරේ හාමුදුරුවරු තුන් හතර නමක් හැරෙන්න අනෙක් හාමුදුරුවරුත් ගුණදාස අමරසේකර ප්‍රමුඛ නායකයනුත් විජාතික කඳවුරේ කාලෝ ෆොන්සේකා වැන්නවුණුත් ඒ මතය බිඳ දමා තියෙනවා. විද්‍යාඥයකු වීමට බැරි ව ආපසු පැමිණියත් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ මගේ උපදේශක වූ මහාචාර්ය බිල් මැක්රේත් සිතා සිටියේ මා දක්‍ෂයකු කියා. ඔහු මට ආපසු ඒමට පෙර ලිපියක් දුන්නා. එහි කියා තිබුණා  ඔබේ රට ඔබ ගැන ආඩම්බර වේවි (your country will be proud of you) කියා. එහෙත් එය එසේ සිදු වූයේ නැහැ. අමරසේකර කාලෝ වැන්නවුන් මගේ අදක්‍ෂකම දැක්කා. මගේ රටට මා ගැන ඇත්තේ අවිශ්වාසයක්.

 

මහාචාර්ය මැක්රේ මගේ වැඩ බලා කී අනාවැකිය සඵල නොවූවත් අර හාමුදුරුවන් මගේ අත බලා කී අනාවැකියක් සියයට සියයක් හරි ගියා. උන්වහන්සේ මගේ ජීවන රේඛාවට සමාන්තර ව ඇති රේඛාවක් අනුව සඳහන් කෙළේ මට හොඳ භාර්යාවක් ලැබෙන බවයි. ඒ සමග උන්වහන්සේ ප්‍රකාශ කළා ඔය ළමයට දැන් ම ඕව තේරෙන්නෙ නැහැ කියාත්. මට පසුව එය හොඳ හැටි තේරුණා. ඒත් අවාසනාව මගේ භාර්යාවගේ අතේ එවැනි රේඛාවක් නොතිබීම.

 

ඇය කොත්මලේ. මා හා ගැමුණු කුමරු අතර සමාන කමක් තියෙනවා. අප දෙදෙනාම පෙළවහක් කරගෙන ඇත්තේ කොත්මලෙන්. සංසන්දනය එතැනින් අවසන්.

 

මාත් ඇයත් අහසට පොළොව වගෙයි. අහස කවුද පොළොව කවුද කියල ගීී රචකයකුගෙන් අහන්න ඕන. ඒ කුමක් වුවත් අපේ දරුවන් නම් කරල තියෙන්නෙ ආකාශ වස්තු නමින්. ඇය ඉතාමත් කාරුණිකයි. ඇය දක්‍ෂ ගුරුවරියක් බව මා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටිි අයගෙන් අසා තිබෙනවා. එමෙන් ම සිසුන්ට කාරුණික ව මග පෙන්වූ බවත් අවශ්‍ය ප්‍රමාණයට සිසුන්ට තේරුම් ගැනීමට හැකි අයුරින් ඉගැන් වූ බවත් ඇගෙන් ඉගෙන ගත් සිසුන්ගේ මා හඳුනන දෙමවුපියන් කියා තියෙනවා. එහෙත් මා සිසුන්ට ඉගැන්වූයේ නැහැ. මා ඔවුන්ට කතන්දර කිවුවා පමණයි. ජී එල් එයට කිවුවේ ජාතික චින්තනය ඉගැන්වීම කියා. ඔහු හා ඔහුගේ පිරිස මා කොළඹින් අස්කිරීමට සැලසුම් සහගත ව ක්‍රියා කළා. මා අස්කිරීමෙන් පසුව ඇතැම් සිසුන් රෑ එකට දෙකට දුරකතනයෙන් කතා කර මට කුණුහරුපයෙන් බැණ වැදුනා. ඔවුන් මගෙන් හොඳවයින් දෙකක් අහගත්තා.

 

සිංහයා අඩු තරමෙන් සුප්පා දේවිට හා දරුවන්ට කන්න අඳින්න දෙන්න ඇති. ගල් ලෙනක් ඉදි කරන්න ඇති.  දරුවන් ගල් ලෙනේ කොටු කරන්න ඇති. මා ඒ එකක්වත් කර නැහැ. විවාහ වන අවධියේ මා ලංකා සමසමාජ පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් ලේකම්. මා අතින් ගෙදර වැඩ අතපසු වුණා. එකල වතු කම්කරුවන් ඇතුළු ඊනියා කම්කරු පංතියක් ගැන මගේ ද බලාපොරොත්තුවක් තිබුණා. ලොකු පුතා ඉපදී වසරක් ගත වන විට බිරිඳට ඕස්ත්‍රේලියාවේ මොනැෂ් විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඇය ඉතාමත් ධෛර්යවන්තයි. ආත්ම විශ්වාසයෙන් යුක්තයි. ඇය පුතාත් කැටුව මොනෑෂ් විශ්වවිද්‍යාලයට ගියා. මට යෑමට ලැබුණේ ඉන් මසකට පමණ පසුව. මට පේරාදෙණියෙන් නිවාඩු ලබා ගැනීමට නොහැකි වුණා. මා අස් වී ගියේ නැවත විශ්වවිද්‍යාලයට පැමිණීමට බලාපොරොත්තු වන බව අස්වීමේ ලිපියේ සඳහන් කිරීමෙන් පසුව.

 

ඕස්ත්‍රේලියාවේ දී මට ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙහි රැකියාවක් ලැබුණා. ඒහෙත් අවුරුද්දකින් පමණ පසුව මා දරුණු මෝටර් රිය අනතුරකට ගොදුරු වුණා. අවුරුදු දෙකහමාරක් පමණ වයසැති පුතාත් බිරියත් වාහනයේ සිටි මුත් දෙයියන්නෙ පිහිටෙන් ඔවුන්ට කිසිවක් සිදු වුණේ නැහැ. එහෙත් මට ඩැංඩිනොන් රෝහලේ මාස තුනක් පමණ ඉන්න සිදු වුණේ දකුණු ඉල ඇටය බිඳී යෑම නිසා. රෝහලේ සිටි සෑම දිනක ම බිරිය පුතා අර කුඩා කරත්තයේ දමා ගෙන බසයේ රෝහලට පැමිණියා. ඇගේ අධ්‍යයන කටයුතු අඩාල වුණා. සුව වී ගෙදර ගොස් ටික දිනකින්  ඇය ආචාර්ය උපාධිය පැත්තකට දමා විද්‍යාපති උපාධියක් සමග 1977 අවසන් කාර්තුවේ ලංකාවට අපත් සමග ගියා. ඇය විශ්වවිද්‍යාලයේ රැකියාවේ ස්ථිර වුණා.

 

එහෙත් මට රැකියාවක් ලැබුණේ නැහැ. පීඨාධිපති තීරණය කර තිබුණා මා විප්ලවවාදියකු බව. ඒ කාලයේ මා නව සමසමාජ පක්‍ෂයේ. ජේ ආර්ගේ ව්‍යවස්ථාවට විරුද්ධ ව අප 1978 පෙබරවාරි හතරවැනි දා කළුකොඩි දැම්මා. වික්‍රමබාහුට රැකියාව අහිමි වුණා. මට රැකියාවක් ලැබුණේ නැහැ. පුතා රැක බලා ගැනීමත් මට කන්න අඳින්න දීමත් බිරියට බැර වුණා. අවුරුදු දෙකක් ඇවෑමෙන් මට කොළඹ රැකියාවක් ලැබුණා. අප ලොකු පුතාත් පසුව දෙවැනි පුතාත් රාජකීය විදහලට ඇතුල් කළා. ලොකු පුතා රාජකීය විදුහලට ඇතුල් කිරීම සඳහා ඉල්ලුම්පත යැවුවේ නුවර ලිපිනයකින් ඒ එකල පදිංචිය නුවර වටපුළුවේ වූ නිසා. මා අදත් කියනවා රාජකීය විදුහල මට හැමදාමත් හොඳින් සලකා තියෙනවා. නුවර ලිපිනයකින් පුතා පාසලට ඇතුල් කිරීමට සැමට හැකි වන්නේ නැහැ. අදාළ පරීක්‍ෂණයේ දී මගෙන් ඇසුවේ එක ම එක ප්‍රශ්නයයි. පුතා පාසල් එවන්නේ කොහේ සිට ද?  පුතා පාසල් යැවුවේ පාණදුරේ මහගෙදර සිට. මාත් පුතාත් සිකුරාදා සවස මාතලේ ගියා. බිරිය හිටියේ ඇගේ මහ ගෙදර දෙවැනි පුතා කුස දරාගෙන.

 

ඇය නොබෝ කලකින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මාරුවක් ලබා ගත්තා. 1981 ජනවාරියේ අප මහරගම නිවසට පැමිණියා. දෙවැනි පුතා උපන්නේ 1980 දී.  1980 මාර්තු මස මා නව සමසමජ පක්‍ෂයෙන් අස්වුණා. සුවාදීනයන් අමතක කළාට ලොකු පුතා රාජකීය විදුහලට ඇතුල් කෙළේ මා නව සමසමාජ පක්‍ෂයේ සිටිය දී. ඒත් චින්තනය ගැන කතා කිරීමට 1983 පමණ පටන්ගත් පසු මා ඔහු අස්කර වෙනත් විදුහලකට ඇතුල් කෙළේ නැහැ. පළමු පංතියේ අනුකාරක අධ්‍යාපනයක් වෙනුවට තුන්වැනි පංතියේ අනුකාරක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමට මට වුවමනා වූයේ නැහැ.

 

කොළඹ අවුරුදු දොළහක් පමණ කතන්දර කීමෙන් පසුව මා අස්කෙරුණා. ජී එල් පීරිස් පී ඩබ් ඈපාසිංහ වී කේ සමරනායක එහි මූලිකත්වය ගත්තා. මට විරුද්ධ චෝදනා වූයේ වෙනත් ඇදුරන්ට බැණ වැදීම හා උසස් අධ්‍යාපන ඇමති හමීඩ් බොරු ප්‍රකාශ කළා යැයි කීම. ජී එල් පීරිස් එකල ප්‍රේමදාස පාක්‍ෂිකයෙක්. මට විරුද්ධ ව ගෘහස්ථ පරීක්‍ෂණය කිරීමට පත්කළ මණ්ඩලයේ සභාපති වූයේ හර්ෂ ද සිල්වාගේ පියා හැරිස් ද සිලවා. මාස ගණනක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන ලද ඊනියා පරීක්‍ෂණයකින් පසු මා අස්කෙරුණා. ඒ පරීක්‍ෂණයට කොපමණ මුදලක් වියදම් කළා ද කියන එක අදටත් රහසක්. වත්මන් අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් එ ගැන පරීක්‍ෂණයක් කරනවා ද? 

 

මෙහි දී කිවයුතු කරුණු බොහෝමයක් තියෙනවා. පී ඩබ් ඈපාසිංහ විද්‍යොදය සමයේ සිට මහින්ද රාජපක්‍ෂගේ මිත්‍රයෙක්. ඔහුටත් සමරනායකටත් ප්‍රශ්න තිබුණා. ඒ දිනවල විද්‍යා පීඨ සිසුන්ගේ උද්ඝෝෂණයක් තිබුණා. සිසුන් ඉල්ලා සිටියේ කලබලවලින් පසු ඉදිරිපත් කෙරුණු  කඩිනම් පාඨමාලාව නිසා විභාග නිර්ණායකත් වෙනස් කළ යුතු ය කියා. මාත් තවත් කිහිප දෙනකුත් සිසුන්ගේ ඉල්ලීමේ සාධාරණත්වයක් දැක්කා. ඈපාසිංහ සමරනායක ආදීන් ඒ ඉල්ලීමට විරුද්ධ වුණා. සිසුන් පංති වර්ජනය කළා. උපවාසයක් ද කෙරුණා.

 

ඇතැම් ගුරුවරුන් හා මා අතර බහින්බස් වීම් ද  සිදු වුණා. ඒ අතර හමීඩ් වැරදි ප්‍රකාශයක් ද කළා. ජී එල් ඈපාසිංහ ආදීන් මට විරුද්ධ ව අනෙක් කිහිප දෙනකුට බැණ වැදුණේය යන චෝදනාව ද මා හමිඩ් බොරු කීව් යැයි කී චෝදනාවද කළා. එකල මා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති. අප වැටුප් අරගලයක යෙදී සිටියා. මා අස් කිරීමෙන් පසුව මට කොළඹ ආචාර්ය සමිතිවල සාමාජිකත්වය අහිමි වුණා. ඇපාසිංහලාට වැටුප් අරගලය අවශ්‍ය වුණෙ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණෙ මා අස්කිරීම පමණයි. ජී එල් මට විශ්වවිද්‍යාල භූමිය තහනම් ප්‍රදේශයක් කළා. ඒත් වෘත්තීය සමිති ආඥා පනත අනුව මට වෙනත් ආචාර්ය සමිතියක බාහිර නියෝජිතයකු ලෙස ආචාර්ය සමිති සම්මේලනයට සහභාගි වීමට හැකි වුණා. මා ඉංගිරිසි උපදේශක සංගමයේ නියෝජිතයා ලෙස දිගට ම ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කළා. අප ඇපාසිංහලා ජී එල්ලා සමරනායකලා පරාජය කර වැටුප් සටන ජයගත්තා. ඒ සමග මා සභාපති ධුරයෙන් අස්වුණා. වැටුප් අරගලයේ ජයග්‍රහණය මට පෞද්ගලික ව හිමි වුණේ නැහැ. එහෙත් බිරියට හිමි වුණා. ඇ තම වැටුපෙන් මට තවත් අවුරුදු දහයක් කන්න අඳින්න  දුන්නා පමණක් නොව දරුවන්ගේ සියලු කටයුතු ද නොපිරිහෙළා ඉටු කළා. ආචාර්ය සමිති සම්මේලනය ඉංගිරිසි උපදේශක සංගමයට ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකත්වය අහිමි කළා.

 

ආචාර්ය සමිති සම්මේලනය තම හිටපු සභාපති වෙනුවෙන් කිසිවක් කළේ නැහැ. එහෙත් අදටත් තියෙන්නේ එදා සකස් කළ වැටුප් ව්‍යුහ. විනිසුරුවන්ගේ වැටුප් වැඩි වෙන විට ඇදුරන්ගේ ද වැටුප් වැඩි වන්න ඕන. මේ ජයග්‍රහණ අත්කර ගත්තේ 1993 මුල. වයස අවුරුදු පනහට අඩු ආචාර්යවරු ඒ ගැන කිසිවක් නොදන්නවා වෙන්න පුළුවන්. කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් මා වෙනුවෙන් සටන් කිරීමට සූදානමින් සිටි නමුත් චම්පකගේ අනුගාමිකයන් ඒ සියල්ල කඩාකප්පල් කළා. චම්පකලාටත් අවශ්‍ය ව තිබුණේ මා අස්කරනු දැකීමට. අද චින්තනයේ ජාතිකත්වය ගැන විවිධ පඬි මත ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙත් එහි ගමන බාල කෙළේ චම්පකලා. ඔවුන්ට අවශ්‍ය වූයේ ජාතිකත්වය බලයට ඒමට යොදා ගැනීම පමණයි.

 

මා අවුරුදු දහයක් නඩු කිවුවා. ගෘහස්ථ පරීක්‍ෂණයේ දී මට සහාය වුණෙ ආචාර්ය අර්ජුන සොයිසා. කම්කරු උසාවියේ, ඉහළ අධිකරණයේ හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ මා වෙනුවෙන් පෙනී සිටියේ එස් එල් ගුණසේකර තිස්ස යාපා හා කණිෂ්ක විතාරණ. ඒ සියළු දෙනා ම පෙනී සිටියේ නොමිළයේ. අවසානයේ දී බැණුම් චෝදනාවලින් මා නිදහස් වුණා. එහෙත් හමීඩ් අසත්‍ය ප්‍රකාශයක් කළේයැයි කීම වරදක් ලෙස තීරණය කෙරුණා. ශ්‍රෙෂ්ඨාධිකරණය මට ලක්‍ෂ පහක් ගෙවීමට කොළඹ විශ්වවිද්‍යාලයට නියම කර මා නිදහස් කළා.

 

ඒ අතර වෙනත් විශ්වවිද්‍යාල මා බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළා. මා ඒ විශ්වවිද්‍යාලවලට විරුද්ධ ව ප්‍රතිපාදන කොමිසමේ අභියාචනා මණ්ඩලය ඉදිරියට ගියා. මා ජයග්‍රහණය කළා. මා කැලණියට ගියේ එහෙමයි. ඒත් අවුරුදු දහයක් සතයක් හම්බ කරන්නෙ නැතිව ඉඳලා. මේ සියල්ල මැද පළමුව අවුරුදු දෙකකුත් දෙවනුව අවුරුදු දහයකුත් බිරිඳ මගේත් දරුවන්ගේත් වැඩ කටයුතු කළා. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මට එතරම් දෙයක් කරන්න බැරි වුණා. එහෙත් මගෙන් මිනිසුන් ඇහුවේ ඔවුන් රාජකීය විදුහලට යෑම ගැන. ඔවුන් පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙනීම ගැන. ඔවුන්ගේ මවට ඔවුන් පිටරට යැවීමට තරම් මුදලක් වියදම් කිරීමට නොහැකි බව මිනිසුන් නොදැන සිටින්න ඇති. අපේ දුවගේ පාසල ගැන කිසිවකු ප්‍රශ්න කෙළේ නැහැ. ඇගේ මව කොළඹ පාසලක ඉගෙන ගෙන තිබුණේ නැහැ. අප දුව මියුසියස් විදුහලට ඇතුල් කළා. එය පෞද්ගලික පාසලක්. අප කනවාද බොනවාද කියා ඉඳහිටවත් සොයා බැලුවේ මගේ පාසල් මිතුරන් කිහිප දෙනකු පමණයි.

 

මේ සියලු දුක් පීඩා මැද ඇණුම් බැණුම් චෝදනා මැද බොහෝ විට මගේත් බැණුම් මැද බිරිය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී හිටියා. ඇය සමහර විට රහසින් වැළපෙන්න ඇති. එහෙත් කිසි දා මට රැකියාවක් හොයා ගන්න කියා නැහැ. කිවුවත් හොයා ගන්න බැහැ.  දරුවන් ද තම උත්සාහයෙන් ඉගෙන ගත්තා. මා හෝ බිරිය හෝ ඔවුන් පසුපස සිට පාඩම් කරන්න කිවුවෙ නැහැ. ඔවුන්ට බිඳින්න ගල්ලෙනක් තිබුණෙ නැහැ. අප දෙදෙනාට මෙන් ම ඔවුන් තිදෙනාටත් ප්‍රථම පංතියේ ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි තියෙනවා. මා එය කියන්නේ ඒ උසස් ලෙස සලකන නිසා නො වේ. ඔවුන්ට බිඳින්න ගල් ලෙනක් තිබුණෙ නැහැ කියන්න. කිසි ම බලපෑමක් නැතිව ඔවුන් තම වැඩ කටයුතු කළා.  ඔවුන්ගේ දෙමවුපියන් මෙන් ම සීයලා ආච්චිලා හතර දෙනාත් ගුරුවරු. එහෙත් ගුරු පරපුර ඉදිරියට යන පාටක් නැහැ.

 

මේ නහින දෙහින කාලයේ අප මියන්මාහි ඉන්නවා. අපට එරට දෙවැනි නිවසක් වගේ. ඒ සංස්කෘතික සමානත්වය නිසා. මා ප්‍රසිද්ධ වී ඇත්තේ ලයෙහි කිසිම තෙතමනයක් නැති මිනිසුන්ට බැණ වදින පුද්ගලයකු හැටියට. මා කර ඇති දෙයක් නැහැ. ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික චින්තකයන් හා හාමුදුරුවරුන් එයට සාක්‍ෂි දරණවා. අද හාමුදුරුවරුන්ට අවශ්‍ය වී ඇත්තේ මට වඩා හොඳ බෞද්ධයකු මියන්මාහි තානාපති ලෙස යවන්න. අප දෙදෙනා මේ සියල්ල මැද ජීවත්වෙනවා. අප දෙදෙනාට ම දැන් හැත්තෑව පැනලා. අප තව ටික කලකින් වෙන් වේවි. අවුරුදු පනහක් එකට හිටියේ මගේ හොඳ කමකට නම් නො වෙයි.