Main Logo

Friday 23 April 2021

නන්දාට ඇඬිලා

නන්දාට ඇඬිලා 


උගතකු බුද්ධිමතකු වියතකු නොවන මා කිසිසේත් ම ප්‍රබුද්ධයකු වන්නට බැහැ. සිංහල සමාජයේ ප්‍රබුද්ධයන්ගේ පොදු පෙළ ගැස්මක් තියෙනවා නම් මා එහි අවසන් කොටසේත් ඉතා පහළින් ඉන්නව කියා  මා හිතන්නෙ. මිනිසුන් මා කෙරෙහි දක්වන ප්‍රතිචාර අනුවයි මා එහෙම කියන්නෙ. බොහෝ දෙනකු සිතන්නේ මා කියන දේ නොකරන බොරු කාරයකු කියායි. ඊනියා ජාතික චින්තනයක් ගැන කතා කරමින් ජපන් මෝටර් කාරයක ගමන් කරමින්  පුතුන් රාජකීය විදහලට යැවූ කුහකයකු ලෙස. දරුවන්ට පිටරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයක් ලබා දුන් වංචනිකයකු ලෙස. ඒ විශ්වවිද්‍යාල ගැන මා දන්නේත් නැහැ. 


මා කාගේවත් වීරයකු නො වෙයි. මට කාගේවත් වීරයකු වීමට අවශ්‍යතාවකුත් නැහැ. මා මළ පසු මගේ සොහොන් කොතේ දුක් ගී ලියනු තබා සොහොන් කොතක් ඉදි කිරීමවත් මා බලාපොරොත්තු වන්නේ නැහැ.  බැරි වෙලාවත් සොහොන් කොතක් කවුරුන් හරි ඉදි කිරීමට යෝජනා කළොත් අනෙක් අය එයට විරුද්ධ වේවි කියා මා බලාපොරොත්තු වෙනවා. මා මළ පසු දරුවන් හැරෙන්න අනෙක් අයට කරන්න තියෙන්නේ මා අමතක කිරීම පමණයි. ඒත් මගේ විරුද්ධවාදීන් එසේ කරණ එකක් නැහැ. 


නන්දාට ඇඬිලා. පියල්ගෙ නන්දාට නොව සුනිල්ගෙ නන්දාට. මා මෙන් නොව නන්දා මාලිනී හා සුනිල් ආරියරත්න අති ප්‍රබුද්ධයන්. මා රෝහණ වීරසිංහත් ඒ ගොඩට දාන්න කැමති නැහැ. ඔහුට යම් කිසි අව්‍යාජ දේශපාලනයක් තියෙනවා. ඒත් ඔහු ගැනත් කතා කරන්න වෙලා. ඔවුන් එකතු වී පාස්කු ගීතයක් නිර්මාණය කරල ගායනය කරල. නන්දා මාලිනියට කටුවාපිටියෙ දි ඇඬිලා. කටුවාපිටියෙ ඝාතන ගැන මටත් කණගාටුයි. මට හැකි ප්‍රමාණයට මා එය තේරුම් ගැනීමට උත්සාහ කරනවා. පහුගිය අවුරුදු දෙකේ මා ඒ සම්බන්ධ ලිපි කිහිපයක් ලියා තියෙනවා. සුපුරුදු පරිදි ප්‍රබුද්ධයන් ඒ ලිපි සතපහකට ගණන් ගන්නේ නැහැ.


කාදිනල්තුමා යම් දේශපාලනයක යෙදෙනවා. කාදිනල්තුමන්ලා පාප් වහන්සේලා දේශපාලනය කරන්න වෙලා හුඟක් කල්. ඒ සියවස් ගණනක්. පහළොස්වැනි සියවසටත් එහා. ඒ සියවසේ තමයි පාප් වහන්සේ පෘතුගීසීන්ටයි ස්පාඤ්ඤ ජාතිකයන්ටයි ලෝකය බෙදල දුන්නෙ. ඒ අනුව තමයි පෘතුගීසීන් හා කතෝලික ආගම ලංකාවට ආවෙ. මෙරට එවකට හිටි සිංහලයන්, සිංහල බෞද්ධයන්, කතෝලික ආගමට පහර දුන්නෙ නැහැ. සමහරු කතෝලික වුණා. ඒ අය තලන්න පෙළන්න කිසිවකු ගියේ නැහැ. එයට ටික කලකට පෙර දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි දෙමළ කතා කරන මුස්ලිමුන්ට බෞද්ධයන්ගෙන් තාඩන පීඩන එල්ල වුණෙත් නැහැ. එහෙත් කතෝලික පෘතුගීසීන් මුස්ලිමුන්ට හිරිහැර කළා. සිංහල බෞද්ධ රජවරු මුස්ලිමුන් කතෝලිකයන්ගෙන් ගලව ගෙන ගිහින් රුහුණේ, වත්මන් නැගෙනහිර පළාතේ, පදිංචි කෙරුවා. මුස්ලිම් නායකයන් දැන් එයට කෘතගුණ දක්වනවා. ඔවුන් මුස්ලිම් සංස්කෘතික ආධිපත්‍යයක් වෙනුවෙන් වැඩ කරනවා. පසු කලෙක ලන්දේසීන්  කතෝලිකයන්ට කරදර කරන විට සිංහල රජවරුන් කතෝලිකයන් රට මැද පදංචි කෙරුවා. 


ලන්දේසීන් හා ඉංගිරිසින් ඇති කර ඉංගිරිසින් පෝෂණය කර රැක බලාගත් දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධත්වයට එරෙහි වන විට මුස්ලිමුන් ද කතෝලිකයන් ද දෙමළ ජාතිවාදයට ආධාර කළා. කතෝලික පූජකතුමන්ලා දෙමළ ජාතිවාදීන් සමග එක පෙළට හිටියා. හකීම්ලා බද්‍යුද්දීන්ලා අදත් සිංහල බෞද්ධත්වයට විරුද්ධයි. අප මේ කරුණු කියන විට ප්‍රබුද්ධයන් අපට ජාතිවාදීන් කියනවා. 


අප දළදා මාළිගාවට පහර දුන් අවස්ථාවේ දී කණගාටු වුණා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ මිනී මරණ විට අප කණගාටු වුණා. අරන්තලාවේ භික්‍ෂුන් වහන්සේ ඝාතනය කරන විට අප කණගාටු වුණා. ඒත් අප ඇඬුවේ නැහැ. නන්දා මාලිනිය ඇඬුවා ද දන්නේ නැහැ. ඒ වෙනුවෙන් අර තුන් කට්ටුව ගී නිර්මාණය කළා ද කියන්න දන්නෙත් නැහැ.


නන්දා මාලිනිය අඬන්න ඇති. ගයන්න ඇති. ඒත් මෙරට ජනමාධ්‍ය ඒ එකකටවත් ප්‍රසිද්ධිය නොදෙන්න ඇති. මෙරට ජනමාධ්‍ය ගැන මගේ විශ්වාසයක් නැහැ. ඔවුන් සාධනීය දේට ප්‍රචාරය දෙන්නේ නැහැ. ඔවුන් ප්‍රසිද්ධිය දෙන්නේ නන්දා මාලිනිය මේ සිංහල අපගෙ රටයි කියන ගීය ගැයීම ප්‍රතික්‍ෂෙප කිරීම වැනි දේට. මෙරට ජීවත් වූ අතිප්‍රබුද්ධයකු වූ සුචරිත ගම්ලත් මේ සිංහල අපගෙ රටයි කියන එකට විරුද්ධ වුණා. මා හිතන්නේ ප්‍රබුද්ධ ගායිකා නන්දා මාලිනිය ගම්ලත් කී දේ සමග එකඟ වුණා කියලයි. මා වැරදි වෙන්න පුළුවන්. ශ්‍රී මහා බෝධීන් වහන්සේ යට ඉඳගෙන අරක්කු බොන්න යෝජනා කළ ඩබ්ලිව් ජයසිරිත් ප්‍රබුද්ධ නළුවෙක්.


නන්දා මාලිනිය හා රෝහණ වීරසිංහයන් දක්‍ෂ ලෙස තනු නිර්මාණය කරනවා. මා පහුගිය දා වජිර ජයවර්ධනගේ කවි දහයක් ගී දහයක් වැඩ සටහන නැරඹුවා. මට ඔහු දින දෙක තුනක් හමු වී තියෙනවා. ඔහුට යම් ජාතිකත්වයක් තියෙනවා. ඔහු සුනිල් ආර් ගමගේ සමග කවි හා ගී ගැන සාකච්ඡාවක යෙදුණා. මා සුනිල් ආර් ගමගේ දන්නේ නැහැ. එහෙත් එදින මා ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. අර තුන් කට්ටුව ගී නිර්මාණය කරන්නේ සිංහලයන් වෙනුවෙන්. මා හිතන්නේ නැහැ ඇමරිකන් තානාපතිනිය තබා සම්බන්ධන්වත් ඔවුන්ගේ සංයුක්ත තැටි මිල දී ගන්නවා කියා. ඒ තැටි මිල දී ගන්නේ රස විඳින්නේ සිංහලයන්. සිංහලයන් ඒ රස විඳින්නේ ඇයි? ගමගේ එක්තරා ආකාරයකින් එයට පිළිතුරක් දුන්නා. ඔහු පෙන්වා දුන්නා මේ නාද රටා කුවේණි අස්නෙ වගේ ප්‍රබන්ධවල තියෙනවා කියලා. ඒ නාද රටා අපේ සංස්කෘතියේ තියෙනවා. ඕන නම් ඇඟේ තියෙනවා කියන්න පුළුවන්. මේ සිංහල අපගෙ රට නූණා නම් නන්දා මාලිනියවත් ගම්ලත්වත් නැහැ. ඔවුන් ඊනියා ජාත්‍යන්තරයට එකතු කළ දුනුම කුමක් ද? ගම්ලත් සංස්කෘත දැනුමට එකතු කළ යමක් වේ ද? 


මට නම් සැලලිහිනියෙ එක කවියක්වත් කට පාඩම් නැහැ. මා කුවේණි අස්නෙ නාද රටා දන්නේ නැහැ. මා දන්නා ඉටිගෙඩියක් නැහැ. මා කිසිසේත් ම ප්‍රබුද්ධයෙක් නො වෙයි. ඒ නිසා ද කොහෙ ද මා ධම්මික පැනිය විශ්වාස කරනවා. නාථ දෙවියන් ගැන විශ්වාස කරනවා. ඒත් කළු කුහර ගැන තියෙන බටහිර දැනුම සමග එකඟ වෙන්නේ නැහැ. මට පංච මහා භූතයන්ගේ ආකාශ ධාතුව ගැන කියන්න කතාවක් නම් තියෙනවා. බටහිරයන් නම් මගේ භූත කතා විශ්වාස කරන එකක් නැහැ. ඒත් කාට හරි අවශ්‍ය නම් නම් පර්යේෂණ ගේට්ටුවට (Research Gate) ගොස් දැන ගන්න. එහි කළු කුහරවල ව්‍යුහය (The structure of black holes) යනුවෙන් ලිපියක් ඇති.