Main Logo

Monday 12 April 2021

ඩ්‍රීම් ස්ටාර් සජිත් නැත්නම්

ඩ්‍රීම් ස්ටාර් සජිත් නැත්නම්

 

 

දෙරණත් ඉල්ලන් කන වැඩ කරනවා. ඩ්‍රීම් ස්ටාර් මගේ සිත් ගත් වැඩ සටහනක් නො වෙයි. මට ගායනය කොහොමටත් බැහැ. සංගීතය ප්‍රේමයේ ආහාරය වන්න පුළුවන්. මගේ නම් අතුරුපසවත් නො වෙයි. අනෙක් එක ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහනෙහි ඉංගිරිසි වචන වැඩි වැඩියෙන් පාවිච්චි වෙනවා. අර සිංහවාංශිකාව කියන්නෙ මොනව ද කියල තේරුම් ගන්න අමාරුයි. මගේ ඉංගිරිසි දැනුමට වඩා සිංහල දැනුම හොඳයි.

 

සිංහලෙන් නීතිය හදාරන්න ඉඩ දෙන්නෙ නැහැ කියන එක ඇත්ත ද? සිංහලෙන් ඉහළ උසාවිවල වැඩ කරන්න තාම බැරි වුණා. කළ යුත්තේ ඉහළ උසාවිවල වැඩ කරන නීතිඥයන්ට සිංහල බැරි නම් ඒ උගන්වන එක. ඔය හුඟ දෙනෙක් පනස්හයෙන් පස්සෙ ඉපදිච්ච අය. ඔවුන්ට සිංහල බැරි ද? මට නම් ඉංගිරිසියෙන් හිතෙන්නෙ නැහැ. හිතන්න බැහැ.

 

ඒ කොහොම වෙතත්  මේ දවස්වල නිරෝයාධනයේ නිසා ඊයේ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහන බැලුවා. එතන කවුද මහ සඟ ගණ මොකද කරන්නෙ කියල ඇහුව අමරදේව ගයන ගහෙන් බහින්න කියා රත්නවල්ලී දෙවඟනට (මා හිතන විධියට යක්‍ෂ ගෝත්‍රිකව සිට මිය ගොස් දෙවඟනක වූ) ආරාධනා කරන ගීතය ගැයුවා. රත්නවල්ලි තමයි රුවන්වැලි වෙලා තියෙන්නෙ. ස්වර්ණමාලි කියන්නෙ පස්සෙ හදාගත් වචනයක් වෙන්න ඕන. අපි අඩු තරමෙන් රුවන්මැලි සෑය කියාවත් කියන්නෙ නැහැ.

 

එකී ගීීතයට ප්‍රතිචාර දැක් වූ විනිසුරුවෙක් කියා සිටියේ මේ ගස් කපන කාලයේ ගස්වලින් බැස යන බව. සියයට තුනේ කල්ලියට දැන් කරන්න පුළුවන් ඔය වගේ ඊනියා ප්‍රබුද්ධ කියමනක් කටින් පිට කරන එක පමණයි. මේ ආණ්ඩුව වගේ ම දෙරණත් අසමත්. ඒ විරුද්ධවාදීන්ට තමන් පාවිච්චි කිරීමට ඉඩ දීම මගින්. ආණ්ඩුවට වඩා හොඳ මාධ්‍ය ඒකකයක් නොව මාධ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි.

 

පහුගිය අවුරුදු එකහමාරට ඉස්සර ගස් කපල නැති ගාණටයි පඬි නැට්ටන් කියවන්නෙ. වනගහනය අඩු වීමේ ප්‍රතිශතය ගණනය කරන එක එතරම් වැඩක් නො වෙයි. යහපාලන කාලෙ වනගහනය කොපමණ ප්‍රතිශතයකින් අඩු වුණාද කියා දන්න කෙනෙක් ඉන්න ඕන. යහපාලනයට සියයට තුනත් හවුල් වුණා. අර ප්‍රබුද්ධයා ඒ දවස්වල සංගීතයෙන් මත්වෙලා ඉන්න ඇති. කිසි දා ඇති නොවන සමාජවාදයක් ගැන කතා කරමින් ඊනියා ජනතාවාදීන් වීමට ඔවුන්ට පුළුවන්. මා නම් ජනතාවාදී නොවෙයි. ඔය ජනතාව මහා පරාර්ථකාමී නො වෙයි.

 

අපට අවශ්‍ය ප්‍රමාණයට පොල්තෙල් ලංකාවෙ නිපදවන්න බැරි මොක ද? පොල් ගස් කපල හින්ද ද? පොල් ගස් කැපුවෙ ගෝඨාභය ද? ඊනියා සංවර්ධනය වෙනුවෙන් පොල් ගස් කී දාහක් කපන්න ඇත් ද? අපි වස විස කන්න පටන් ගත්තෙ ගෝඨාභය ජනාධිපති වුණාට පස්සෙ ද? පොල්තෙල් ප්‍රශ්නයට වග කියන්න ඕන සිද්ධිකා සේනාරත්න ද? ජනමාධ්‍යවේදීන් කරුණු හරියට හොයා බලන්නෙ නැතිව කාඩ්බෝඩ් වීරයන් වීම සඳහා පළමුවෙන් ප්‍රවෘත්ති දෙන්න ගිහින් ප්‍රශ්න කොච්චර අවුල් කරනවා ද?

 

ආනයිත පොල්තෙල්වලට තාල තෙල් (පාම් ඔයිල්) හරි වෙන තෙලක් හරි කලවම් කරන්න පටන් ගත්තෙ ගෝඨාභය ආවට පස්සෙ ද? 2016 ඉඳන් කලවම් කිරීමේ අයිතිය (අපි එයට අයිතිය යැයි කියමු) ඒ ඒ සමාගම්වලට ලබා දුන්නෙ කවුද? සජිත් ද හර්ෂ ද සිල්වා ද රනිල් ද රනිල්දාස ද වෙන කවුරුන්වත් ද? ඒ කාලෙ ආනයිත පොල්තෙල්වල අර මොකක්ද රසායනය තියෙනවා ද කියල හොයල බැලුව ද? ඒ දවස්වල අපි කෑවෙ සුපිරිසිදු පෙරාපු පොල්තෙල් ද? ඒක දැන ගන්න ක්‍රමයක් තියෙනවා ද? බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෙද මහත්වරුන්ට ක්‍රමයක් සකස් කරන්න පුළුවන් ද?

 

රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් මිශ්‍ර පලිබෝධ නාශක කියල අපි අදත් කියනවා. මෙරට සහල්වලත් ආසනික් තියෙන බව අපි එදා කිවුව. ඒකට එදා හිටි එක් ඇමතිවරයෙක් කිවුවෙ අපි ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන බත් කෑම නතර කර පාන්වලට ජනතාව හුරුකරන්න හදනව කියා. ප්‍රීමා සමාගමෙන් මට ලැබුණු මුදල්වලට මොනවා වුණා ද කියා මාත් දන්නෙ නැහැ. ඒ ඇමතිගෙන් ම තමයි අහන්න ඕන. එදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මට එන්න කියල කිවුව මේ ආසනික් කතාව නිසා ඉරානය අපේ තේ මිළ දී ගැනීම නවත්තල කියල. මා ඒ කතාව ගණන් ගත්තෙ නැහැ. ඉරානය තේ මිල දී ගන්න එක නැවැත්තුවෙ නැහැ.

 

අපි එදා කිවුව ඇතැම් කෘෂිරසායන ගෙන්වන එක නවත්වන්න කියල. අතන මෙතන පනින රතන හාමුදුරුවො ප්‍රශ්නයට මැදිහත් වුණා. අපි පැත්තකට විසි වුණා. තවමත් ඒ කෘෂිරසායන ගෙන්වනවා. අපට වස විසෙන් තොර ආහාර සපය ගන්න පුළුවන් නම් හොඳයි. පිරිසිදු වාතය ආශ්වාස කරන්න පුළුවන් නම් හොඳයි. පිරිසිදු ජලය පානය කරන්න පුළුවන් නම් හොඳයි. මොළේ පිළිකාවලට තුඩු දිය හැකි ජංගම දුරකථන පාවිච්චි නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. හදිසි ආහාර (ෆාස්ට් ෆුඩ්ස්) කන්නෙ නැතිව ඉන්නව නම් හොඳයි. කොටින් ම මේ ජීවන රටාව වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි. පනුවන් කන සාම පරෙවියන් වත්තට ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒකට වත්තක් තියෙන්න එපායැ.

 

ඔය පොල්තෙල්වල තියෙන වස අජිනමොටෝ වස සමග සංසන්දනය කරන්නෙ මොටෝ. අජිනමොටෝ රසයි නෙ. අර ගීතයක් තියෙනවා වත්තෙ මල් පිපෙන්නෙ නැහැ ගෙදර සිරියාවක් නැහැ, ඔබ නැත්නම් ඒ දේවල් නැහැ ආදී වශයෙන්. මා හිතන්නෙ සියට තුනේ කල්ලියෙ ප්‍රබුද්ධ සංගීතඥයන් එකතු වෙලා සජිත් වෙනුවෙන් ඩ්‍රීම් ස්ටාර් ගීතයක් නිර්මාණය කරන්න ඕන. සජිත් නම් ඩ්‍රීම් ස්ටාර් ම තමයි. සජිත් නැත්නම් රටේ පොල් වැවෙන්නෙ නැහැ, ගස් ඉතිරි වෙන්නෙ නැහැ, සිංහරාජෙ දැක ගන්න බැහැ, රත්නවල්ලි ගස් නගින්නෙ නැහැ, කන්න කැවුම් නැහැ, කිරි ඉතිරෙන්නෙ නැහැ, බයිලා කියන්න කවුරුත් නැහැ.