Main Logo

Thursday 22 April 2021

පාස්කුව හා ඩීල් අවුල්

 

පාස්කුව හා ඩීල් අවුල්

 

මෙරට සිංහල බෞද්ධයන්ගෙ කොන්ද මුළුමනින් ම වගේ කඩල හුඟක් කල්. ඒක බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් කෙරුණක්. ඉන් පසුව දේශපාලනඥයන් විශේෂයෙන් ම 83 ජූලියේ ජේ ආර් ඉතුරු ටිකත් කඩා දැම්මා. 83 ජූලි කලබල සිද්ධ වුණේ කොහොමද කියල තවම හොයල බලල නැහැ. 83 ජූලියට කළු ජූලිය කියන ක්‍රිස්තියානි සංකල්පය පටබැඳලා සිංහල බෞද්ධයන් නැත්තට ම නැති කරල දැම්මා. අප ක්‍රියාත්මක  වෙන්න පටන් ගත්තෙ ඒ කාලයෙ. අප සිංහල බෞද්ධත්වය වෙනුවෙන් දිගින් දිගට ම පෙනී හිටියා. එහි විශාල විභවයක් තිබුණා, තියෙනවා. චම්පක වැනි අය ඒක දැකලා සිංහල ජාතිය කියන එක මළ කඳක් ඒත් ඒක බලයට ඒමට යොදා ගත හැකි ය කියන ආකල්පයෙන් කටයුතු කළා. එස් එල් ගුණසේකර වැන්නන් පවා ඔහු විශ්වාස කළා. එහෙත් අවසානය් දී චම්පක හා රතන හිමි එස් එල්ට හිමි වෙලා තිබුණ මන්ත්‍රී ධුරයවත් නොදීමට කටයුතු කළා. චම්පක වටා ඉන්න නායකයන්, ඉංගිරිසියෙන් ලියන පඬියන් ආදීන්  බොහෝ දෙනා සිංහල ජාතිය ගැන විශ්වාසයක් නැති එහෙත් බලයට ඒමට සිංහලත්වය යොදා ගන්න පුළුවන් කියල හිතන අය.

 

කොන්ද කඩා දැමූ සිංහල බෞද්ධයන් දළදා මාළිගාවට පහර දුන් අවස්ථාවෙ,  ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ මිනී මැරූ විට, අරන්තලා ඝාතනය හමුවෙ නිහඬ ව හිටියා. එදා කතෝලික පල්ලිය හිටියෙ දෙමළ ජාතිවාදීන් සමග. ඒ සිංහල බෞද්ධයන්ට විරුද්ධ ව. ඇතැම් සිංහල කතෝලිකයන් දෙමළ ජාතිවාදයට විරුද්ධ වුණා. එහෙත් නිල වශයෙන් කතෝලික පල්ලිය දෙමළ ජාතිවාදීන් හා ඔවුන්ගේ ම කොටසක් වූ දෙමළ ත්‍රස්තවාදීන් ආරක්‍ෂා කළා. කොටින්ට යම් යම් භාණ්ඩ සැපයූ කතෝලික පූජකවරුන් හිටියා. ඔවුන්ට විරුද්ධ ව කිසිම ක්‍රියා මාර්ගයක් ගැණුනෙ නැහැ. මැල්කම් රංජිත් පූජකතුමාත් දෙමළ කොටි ත්‍රස්තවාදීන් හමු වුණා.

 

අපට ඒ කිසිවක් අමතක නැහැ. එහෙත් අප ඔවුනට මෛත්‍රී කරනවා. පාස්කු ප්‍රහාරයේ දී සිංහල බෞද්ධයන් කාදිනල්තුමා සමග ප්‍රහාරයට විරුද්ධ වෙනවා. ප්‍රහාරකයන්ට දඬුවම් දිය යුතු ය කියනවා. ඒ ප්‍රහාරය ගැන මට හිතෙන හැටි අවුරුදු දෙකක් තිස්සේ වරින් වර කියා තියෙනවා. ඊයේත් කිවුවා. තව කියන්න තියෙනවා. අපට පැහැදිලි නැති තැනක් තියෙනවා. ඒ ඉන්දියාවේ භූමිකාව. ඉන්දියාවත් ප්‍රහාරය පසුපස හිටියා ද? සාරා වැන්නියන් කෙළේ ඔත්තු බැලීම පමණ ද? සාරා දෙමළ කාන්තාවක්. ඇය මුස්ලිම් අයකු සමග විවාහ වී සිටියා. නිල වශයෙන් ඇයත් මුස්ලිම්. ඇයත් සූදානම් ව සිටියේ ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කර ස්වර්ගයට යන්න. බෞද්ධයනට නම් ආගම වෙනුවෙන් වැඩ කර නිවන සම්මාබෝ්ධ කරන්න බැහැ.

 

ඉන්දියාව ඊයේත් කියා තිබුණා ත්‍රස්තවාදය මැඩීමට ලංකාවට සහාය දෙන බව. ඒසේ කියන්නේ රජිව් ගාන්ධි ඝාතනය කරන තෙක් කොටි ත්‍රස්තවාදීන්ට උදවු කළ දැනුත් දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින ඉන්දියාවයි. පාස්කු ප්‍රහාරයට ඉන්දියාවත් සම්බන්ධ ද? ඉන්දියාව සාරාට අමතර ව තවත් අය යොදා ගෙන තියෙනවා. ඒ අය හුදු මත්තුකරුවන් පමණ ද? කොළඹ හෝටල් කිහිපයක බෝම්බ පිපිරෙද්දී ටාජ් සමුද්‍රා මග හැරුණේ කෙසේ ද කියා මා අහන්නේ නැහැ. එහෙත් චීන සම්බන්ධයක් ඇති ෂැන්ග්‍රිලා නම් බෝම්බ ප්‍රහාරයට  හසු වුණා. ඉන්දියාව පාස්කු ප්‍රහාරය ගැන මෙරට බුද්ධි අංශවලට තොරතුරු සපයා තියෙනවා. ඒ තොරතුරු ගැන අධ්‍යයනයක් කර තියෙනවා ද?  ඒ කොතෙක් නිවැරදි ද? පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂණයක දී ඉන්දියාවේ භූමිකාවත් සොයා බලන්න ඕන. ඉන්දියාවටත් නව චීන සේද මාවතට බාධා පැමිණවීමට අවශ්‍ය ද? එංගලන්තය මෙන් ම ඉන්දියාවත් අපේ මිතුරු රටවල් නො වෙයි.

 

කාදිනල්තුමා ඊයේට නියමිත ව තිබූ කළු විරෝධය අත් හරිද්දී විපක්‍ෂය කළු පොරවා ගත්තා. පාස්කු ප්‍රහාරය ඇති වී මාස හයකට වඩා බලයේ සිටියේ ජඩපාලන ආණ්ඩුවයි. රනිල්වත් මෛත්‍රිපාලවත් පාස්කු ප්‍රහාරයට හවුල් කියා අප කියන්නේ නැහැ. එහෙත් ඔවුන්ගේ අඬදබර නොසැලකිල්ල ප්‍රහාරයට හේතුවක් වුණා. එමෙන් ම ඔවුන්ට මුස්ලිම් දේශපාලනඥයන් ආරක්‍ෂා කිරීමට ද සිදු වුණා.  බද්‍යුද්දීන් හකීම් හිස්බුල්ලා ආදීන් හා ප්‍රහාරකයන් අතර වූ සම්බන්ධය වහන්නට ගත් උත්සාහයක් පේන්න තියෙනවා. මේ සියල්ල ජඩ ඩීල් දේශපාලනයේ ප්‍රතිඵල.

 

අද විපක්‍ෂය ක්‍රියා කරන්නේ ඒ සියල්ල අමතක කරමින් ඔවුන් සුදනන්ගේ චරිත නිරූපණය කරමින්. ඔවුන් දක්‍ෂ නළුවන්.  ජනාධිපතිවරණයේදීත් පසුගිය මහා මැතිවරණයේදීත් ජනතාව, සිංහල බෞද්ධ මෙන් ම සිංහල කතෝලික ජනතාවත් ඡන්දය දුන්නේ ඒ සැලකිල්ලට ගනිමින්. අපේ ගණනය කිරීම්වල දී අප මේ සියල්ල සලකා බැලුවා. ගෝඨාභය රාජපක්‍ෂට සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපති වීමට හැකි යැයි අප පැවසුවේ සිහිනෙන් අවදී වීමෙන් නො වෙයි. එහෙත් මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් නොලැබෙන බව  අප දැන සිටියා. ඒ නිසා බියක් තිබුණා. ඒ තුනෙන් දෙකක බලය කිට්ටුවට පැමිණ මුස්ලිම් පක්‍ෂ සමග සුපුරුදු ඩීල් දේශපාලනයට එළඹේය කියා.

 

අපේ සැකය සනාථ කරමින් විසිවැනි සංශෝධනය සම්මත කර ගත්තේ මුස්ලිම් ඡන්ද මෙන් ම විජයදාස රාජපක්‍ෂ ජාතික නිදහස් පෙරමුණ පිවිතුරු හෙළ උරුමය ඡන්ද ද යොදා ගනිමින්. එහී ඩීල් දේශපාලනයක් තිබුණා. පාස්කු ප්‍රහාරය ජඩපලන ආණ්ඩු කාලයේ සිදු වූවක් වුවත් මේ ආණ්ඩුටත් යම් දෝෂාරෝපණයක් එල්ල වන්නේත් විපක්‍ෂයට කළු විරෝධ පෑමට හැකි වී තිබෙන්නේත් මේ ඩීල් දේශපාලනය නිසා. අද මේ ආණ්ඩුව විස්සට හිලවු ලෙස බද්‍යුද්දීන් හමීඩ් හිස්බුල්ලා වැන්නවුන් රකින බව බොහෝ දෙනා විශ්වාස කරනවා.

 

විස්ස විසිඑක්වැනි සියවසේ කළ ලොකු වැරැද්දක්. මගේ නම් නව ව්‍යවස්ථාවක් ගැන බලපොරොත්තුවක් නැහැ. ඩීල් මගින් එය සම්මත කළහොත් සම්මත වන්නේ මුස්ලිම් ව්‍යවස්ථාවක්. මා දිගට ම කියා හිටියේ මේ පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවයි. නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම තබා පස්වනි වගන්තියවත් සංශෝධනය කර ගැනීමට බැරි තත්වයක් ඇති වී තිබෙනවා. මගේ නම් මතය එය සංශෝධනය නොකර වරාය නගරය ලංකාවට ඇතුල් කරන්න බැරි බව. වරාය නගරය 2019 දී කොළඹ දිස්ත්‍රික්කයට ඇතුල් කරල කියන එක නීතියට එකඟ නැහැ.

 

ඩීල් දේභපාලනයෙන් ඇති වන්නේ අවුලක්. අනුන්ගේ පවුවලට කර ගහන්න සිදු වෙනවා. අද එය සිදු වී තිබෙනවා. ඒත් ඒ වැරදි හදා ගන්න පුළුවන්. විස්ස සම්මත කර ගත්තත් බද්‍යුද්දීන්ලා හමීඩ්ලා හිස්බුල්ලාලා ගැන පමණක් නොව සෞදි අරාබිය එංගලන්තය හා ඉන්දියාව වැනි රටවල් ගැනත් හොයා බලමු. ඒ අතර චීනයට යට නො වෙමු.