Main Logo

Thursday 29 April 2021

විසාලා මහා නුවර සජීවී ව

 විසාලා මහා නුවර සජීවී ව 


අප මෙතෙක් කල් විසාලා මහා නුවර ගැන අසා තිබුණේ පොතපතින්. අද අප එය රූපවාහිනී නාළිකා කියන ආකාරයට සජීවී ව දකිනවා. එදා දඹදිව බුදු හාමුදුරුවන් වැඩ හිටියා. අද එහි බුදුදහම තියෙන්නෙත් පොත්වල පමණයි. ඒ තිබුණත් ඒ දැනුම ඊනියා පර්යේෂණවලට සීමා වෙලා. ලංකාවෙ කියා වැඩි වෙනසක් නැහැ. බුදුදහමට අනුව ජීවත්වන අය හොයා ගන්න එක අමාරුයි. මා කතා කරන්නේ පන්සල් යෑම ගැන නොවෙයි. අර ත්‍රිරෝද රියැදුරන් කියන්නෙ අප අසරණ වෙලා බුදුහාමුදුරුවනේ කියල. ඔවුන්ට ඊනියා උගතුන්ට වඩා යමක් තේරෙනවා. අද ඊනියා උගතුන් විශ්වාස කරන්නේ බටහිර විද්‍යාව පමණයි. බටහිර වෙදකමට ඉහළින් සලකනවා. එහෙත් කොවිඩ් 19 පාලනය කෙරී ඇති නවසීලන්තය ඕස්ත්‍රේලියාව වැනි රටවල එසේ කෙරී ඇත්තේ බටහිර වෙදකම නිසා නො වෙයි. පරිපාලන රෙගුලාසි නීති රීති අනුව. චීනය වැනි රටවල වෙනත් ක්‍රමවලට.  බටහිර වෙදකමට රෝගයට ප්‍රතිකාර කිරීම (ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ) තබා හරිහැටි රෝගය හඳුනාගන්නවත් බැහැ. පීසීආර් පරීක්‍ෂණවලින් රෝගීන් හඳුනාගැනෙන්නේ නැහැ. 


රූපවාහිනී ප්‍රවෘත්ති බලන කොට නම් හිතෙන්නේ මෙරට මෙපමණ සංඛ්‍යාවක් රෝගීන් බටහිර වෙදකමෙන් සුව වෙලා ගෙදර ගිහින් කියා. රෝගය හඳුනාගන්නෙත් නැතිව මෙරට බටහිර වෙද මහතුන් රෝගය සුව කරලා. මා කලින් දවසක කිවුවෙ ඔවුන්ට වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි වෙන්න ඕන කියා. මෙරට සමහර බටහිර වෙද මහතුන්  හරි දක්‍ෂයන්. ඔවුන්ට අනුව මා මියන්මාහි ලංකා තානාපතිකමින් අස් වී ගෙදර ඇවිත්. ඒ බව මා ද දැන හිටියේ නැහැ. ඔවුන් මගේ ලිපි කියවා තේරුම් ගන්නේ එලෙසින්. ධම්මික වෙද මහතා කර ඇති දෙයක් කරන්න බටහිර වෙද මහතුන්ට බැරි වෙලා. කිසිම නිර්මාණශීලීත්වයක් නැති ඇතැම් ආයුර්වේද වෙද මහතුන්ටත් ධම්මික වෙද මහතා රුස්සන්නේ නැහැ. ලංකාවේ ඊනියා උගතුන්ට නිර්මාණශීලීත්වයක් නැහැ. 


ඒ කුමක් වුණත් ඉන්දියාව අපට කෙසේ සැලකුවත් අප අද ඉන්දියාව ගැන කම්පා වෙනවා. අපට ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක් ද? කොවිඩ් සම්බන්ධයෙන් ඉන්දියාවට නැති අපට ඇති දේ මොනවා ද? මා දන්නේ නැහැ. ඒත් අප රටෙන් පැන යන ඉන්දියානුවන්ට අප රට ඔවුන්ට ඕනෑ අන්දමට යොදා ගැනීමට ඉඩ දිය යුතු නැහැ. 


අප රටවල සංස්කෘතිය අනුව සාමූහිකත්වය වැදගත්. කොවිඩ් අස්සේ යාපනයේ කෝවිලක තේරු උත්සවය පැවැත්වීම වරදක්. එය නවත්වා ගන්න පුළුවන්කම තිබුණා නම් හොඳයි. එහෙත් අප එයට යාපනයේ සිදු වූවක් කියා විරුද්ධ විය යුතු නැහැ. නුවරඑළියේ උත්සව පැවැත්වීම තේරු උත්සවය පැවැත්වීමට වඩා වැරදි වැඩක්. යාපනයේ හිටියේ කළු සුද්දන් නො වෙයි. සිංහලයන් අප්‍රේල් මාසයේ දී නුවරඑළි යන්න පටන් ගත්තේ කවදා ද? සීීතාවක රාජසිංහ රජු දවස ද? 


අද මෙරට බටහිර වෙද මහතුන් කරන වැඩේ ඕනෑම ජනමාධ්‍යවෙිදියකුට කරන්න පුළුවන්. බටහිර ඉන්න බටහිර වෙද මහතුන් කරන කියන දේ සිංහලෙන් කීමට ඒ තරම් ම බටහිර වෙදකම හදාරන්න ඕන කියල මා හිතන්නෙ නැහැ. රවි කුමුදේශ් තරමටවත් රසායන විද්‍යා පරීක්‍ෂණවලට සහභාගි වී සිටීම අවශ්‍ය නැහැ. මෙරට බටහිර වෙද මහතුන් අතීිමහත් බහුතරයකට අලුතෙන් යමක් කීමට බැහැ.  


දැන් ඔය අලුත් ප්‍රභේද ගැන කියනවා. මේ විකෘතීන් ලෙසත් හැඳින්වෙනවා. සාමාන්‍ය ජනයාට ඒ එකක්වත් තේරෙන්නේ නැහැ. එක එක කොවිඩ් ජාති තියෙනවා. ඒ කොවිඩ් ජාති හැරෙන්න තවත් කොවිඩ් ජාති ඇති වෙන්න පුළුවන් ද? කොවිඩ් හතරවැනි රැල්ලක් එයි ද? ඉදිරි කාලයේ දී අපට කිනම් තත්වයකට මුහුණ දෙන්න සිදුවෙයි ද? එංගලන්තෙ කොවිඩ් ජාතිය මෙහෙ තියෙනව කියනවා. ප්‍රංස හරි ජර්මන් හරි තුත්තුකුඩි හරි කොවිඩ් ජාතියක් එහෙම ඇති වෙන්න පුළුවන් ද? කොවිඩ් ජාති ඇති වෙන හැටි කල් තබා කියන්න පුළුවන් ද?


ආණ්ඩුව තමන්ට හැකි ප්‍රමාණයට කොවිඩ් පාලනය කරනවා. අර සුද්දන් කියනව වගේ අපට තවම බිංගෙය කෙළවර ආලෝකයක් දකින්න බැහැ. බිංගෙය කොතරම් දිග ද කියාවත් අප දන්නේ නැහැ. එහෙත් නැවතත් සුද්දන් කියන විධියට අපට දකින්න පුළුවන් රිදී රේඛාවක් තියෙනවා. ඒ තමයි සජිත්ලගේ ආණ්ඩුවක් නොතිබීම. ඔවුන්ගෙ ආණ්ඩුවක් තිබුණ නම් අපට ඉන්දියාවට ගියා නම් හොඳයි කියා හිතේවි. ආණ්ඩුව මෙරට පොහොර යොදා ගැනීමට තීරණය කර තියෙනවා. එය ඉතා වැදගත්. ඒ මෙරට ගොවිකම. මෙරට වෙදකමටත් මීට වඩා තැනක් ලැබෙනවා නම් හොඳයි. ඒ වගේ ම මෙරට ආධ්‍යාත්මික ගුණවගාවත් වගා කරන්න වෙලා.  


ඒ කුමක් වුවත් මට ඉන්දියාව ගැන ඇත්තේ කම්පාවක්. අවුරුද්දකට පමණ පෙර කොවිඩ් පටන් ගත්ත කාලෙ අපි රතන සූත්‍රය සහ තවත් සූත්‍ර කිවුවා. අපේ හාමුදුරුවරු ඒ සඳහා උනන්දු වුණා. අප දුම් හට්ටිය ඇල්ලුවා. කොත්තමල්ලි වෙනිවැල්ගැට බිව්වා. ඒ අතර ධම්මික පැනිය ඇතුළු දේශීය ප්‍රතිකාර බිහිවුණා. අප යම් ප්‍රමාණයකට අල්ලන් හිටියා. ඇතැම් බටහිර වෙද මහතුන් එය රිස්සුවේ නැහැ. ඔවුන් අනුරාධපුරයේ ධම්මික පැනිය පරීක්‍ෂාව වුවනාවෙන් කඩා කප්පල් කළා. ඔවුන් කිවුවේ රෝගීන් පැනිය බීම ප්‍රතික්‍ෂෙප කළ බවයි. එ තමන්ට කිසිවක් කිරීමට නොහැකිව තිබිය දී. බටහිර වෙද මහතුන්ගේ ආධිපත්‍යය එබඳුයි. තමන්ට කිසිම ප්‍රතිකාරයක් නැතිව තිබියදීත් අනෙක් අයගේ ප්‍රතිකාරවලට අකුල් හෙළීමට තරම් ඔවුන් බලවත්. ඒ බටහිර වෙදකම ලෝකයේ දරණ ආධිපත්‍යය නිසා. අද මෙරට කොවිඩ් 19 උත්සන්න වීම ගැන බටහිර වෙද මහතුන්ගෙ ආධිපත්‍යයත් යම් තරමකට බල පාල තියෙනවා. මෙය ලෙඩා මළත් බඩ සුද්ද කිරීමක් නො වෙයි. ලෙඩයි බඩයි දෙක ම නැති කිරීමක්. 


අද හාමුදුරුවරුන් අධෛර්යමත් කෙරිලා. දුම් හට්ටි ඇල්ලීම නැවතිලා. ධම්මික පැනිය නිපදවෙන්නේ නැහැ. ඒ එම ක්‍රියාවල ප්‍රතිඵල නැති නිසා නොවෙයි. බටහිර වෙද කමේ ආධිපත්‍යය නිසා. අපි එන්නත කර ගනිමු. ඒ අතර දේශීය ප්‍රතිකාරත් කරමු. හින්දු ජාතිකවාදී මෝදි බටහිර වෙද මහතුන්ට යට වුණා. අප යට වෙන්න ඕන නැහැ. බටහිර වෙදකමට යට නොවී අප බටහිර වෙදකම ද අවශ්‍ය විට යොදා ගනිමු.