Main Logo

Sunday 25 April 2021

ගොඩ ඒමට මඩට යමු

 

ගොඩ ඒමට මඩට යමු

 

අපේ රටේ අධ්‍යාපනය වෙනස් කළ යුතු ය යන කතාව හැමදාමත් තියෙනවා. එහෙත් එය වෙනස් කෙරෙන්නේ නැහැ. එයට හේතුව දේශපාලනඥයන් ම නොවෙයි. දේශපාලනඥයන්ට ප්‍රශ්නය දැනෙන්නේ එක් විධියකට. ඔවුන් ට දැනෙන්න සලස්සලා තියෙන දේ තමයි ඊනියා උගතුන්ට කරන්න පුළුවන් රැකියා රටේ නැති වීම හා රටේ තියෙන රැකියාවලට ඊනියා උගතුන් නැති වීම. මේ ප්‍රශ්නය අධ්‍යාපනඥයන් තේරුම් කර දෙන්නේ වෘත්තියාභිමුඛ පාඨමලා පාසල්වල හා විශ්වවිද්‍යාලවල නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නක් හැටියට. අධ්‍යාපනඥයන් බිහිවෙලා තියෙන්නෙත් මේ අධ්‍යාපනයන්. ඔවුන්ට ඉන් පිට හිතන්න බැහැ. පිට තියා ඇතුළෙවත් හිතන්න බැහැ.

 

අපට යම් යම් දේ දැනෙනවා. ඒ දැනෙන දේ තේරුම් ගැනීමට යැයි කියමින් අප කතන්දර හදනවා. ඒ කතන්දර සමහර විට වියුක්තයි. එවිට ඒවා පට්ටපල් බොරු වෙනවා. ඒ නැතත් ඕනෑම කතන්දරයක් අපේ සංස්කරණයක් එහෙම නැත්නම් බොරුවක් හරි පට්ටපල් බොරුවක් හරි. එහෙම කිවුව ම ඊනියා උගතුන්ට තරහ යන්නෙ මොකද? ඒකට මට කතන්දරයක් අවශ්‍ය නැහැ. මට ඒ බව දැනෙනවා.

 

මේ අධ්‍යාපනය අපට මූලික වශයෙන් සුද්දන් දීපු එකක්. එය හැමදාමත් සිංහල මාධ්‍යයෙන් නොමිලේ ලබා දුන්නා. ඉංගිරිසි මාධ්‍යයෙන් දීපු අධ්‍යාපනයට තමයි මුදල් අය කෙළෙ. ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනය ඊනියා ඉහළකට ලබා දුන්නා. සිංහල මාධ්‍ය අධ්‍යාපනයෙන් සිංහල ගුරුවරයකු හරි නොතාරිස් කෙනකු හරි වෙන්න පුළුවන් වුණා. සිංහල වෙදමහත්තුරු වෙන ම බිහිවුණා. ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනයෙන් නීීිතිඥයන්, බටහිර වෙද මහතුන්, ඉංජිනේරුවන් පරිපාලන නිලධාරීන් වැන්නන් වෙන්න පුළුවන් වුණා.

 

රටේ සාම්ප්‍රදායික ආර්ථික ව්‍යුහය කඩා බිඳ දැමූ ඉංගිරිසින් තම ආර්ථික හා පරිපාලන ව්‍යුහයට අවශ්‍ය පරිදි රැකියා ඇති කර ඒ සඳහා පුද්ගලයන් බිහි කළා. ඒ සඳහා බොහෝ විට අධ්‍යාපනය යොදා ගත්තා. මේ ඊනියා උගතුන් තම දෙමවුපියන්ගේ ජීවන රටාවෙන් හා ආර්ථිකයෙන් වෙන් කරනු ලැබූ අය. ඔවුන්ගේ දෙමවුපියන්ට හරි හමන් ආදායමක් ඉංගිරිසින්ගෙන් ලැබුණේ නැහැ. ඔවුන් අසරණ වුණා. 

 

දෙමවුපියන්ගේ ජීවන රටාවෙන් වෙන් කරනු ලැබූ දරුවන්ට ඉංගිරිසින්ගේ රැකියා පමණයි තිබුණේ. දරුවන් හිතන්නෙ නැති පිරිසක් බවට අධ්‍යාපනයෙන් පත් කෙරුණා. කන්නන්ගර මහතා කෙළේ ඉංගිරිසි මාධ්‍යයෙන් රජය දීපු අධ්‍යාපනයටත් මුදල් අය නොකෙරීම. ඒ අතර මාධ්‍යයත් සිංහලට ක්‍රමයෙන් හැරෙවුවා. ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන ගත් අයට ඉංගිරිසින් වෙන ම රැකියා ලබා දුන්නා. ඉංගිරිසි මාධ්‍ය අධ්‍යාපනය නිදහස් කෙරුණෙ රජයේ පාසල්වල හා බෞද්ධ යැයි කී පිරිමි පාසල්වල. වෙනත් පෞද්ගලික පාසල්වල බෞද්ධ කාන්තා පාසල් එකක දෙකකත් මුදල් අය කෙරුණා.

 

ඒ වෙනස්කම් කෙසේ වුවත් අධ්‍යාපනය සැලකුණේ දෙමවුපියන් එරී සිටි මඩින් ගොඩ ඒම සඳහා සකස් කෙරුණක් ලෙස. ගොඩ යන්න නම් ඉගෙන ගන්න කියන කතාව තමයි තේමාව වුණේ. මා වැනි කිහිප දෙනකුට ගොඩ එමේ අවශ්‍යතාවක් නෙතිබූ නිසා විද්‍යාඥයන් වැන්නන් වීමට ඉගෙන ගැනීමේ ආශාවක් තිබුණා. එය කිසි දා හරියන්නේ නැති බව දැනෙන විට ප්‍රමාද වැඩියි. කෙසේ වුණත් එහෙම සිද්ධ වෙච්ච එකත් හොඳ වුණා. සුද්දන් නොපිළිගත්තත් මා ආකාශ ධාතුව උපයෝගි කරගෙන පට්ටපල් බොරු කිහිපයක් ගොතල තියෙනවා. ක්වොන්ටම් අංශුවක් එකවිට කිහිප තැනක ඉන්න බව නම් ඔවුන් පිළිගන්නවා. ඒත් ඒ මා කියන නිසා නොවෙයි.

 

ගොඩ ඒම සඳහා ඉගෙන ගත් අයට ප්‍රශ්නයක් තිබුණා. ඔවුන්ට කිරීමට රැකියා ප්‍රමාණවත් සංඛ්‍යාවක් තිබුණේ නැහැ. පළමුවෙන් ම ඇති වූයේ ජ්‍යෙෂ්ඨ සමතුන්ගේ රැකියා ප්‍රශ්නය. මට මතක හැටියට පනහේ දශකයේ මේ ප්‍රශ්නය කරළියට ආවා. ජ්‍යෙෂ්ඨ සමතුන්ගේ සංඛ්‍යාව ඔවුන්ට කළ හැකි රැකියා සංඛ්‍යාවට වඩා වැඩි වුණා. ජ්‍යෙෂ්ඨ සමතුන් දෙමවුපියන්ගෙන් වෙන් කෙරුණු අනාථයන් බවට පත් කෙරුණා. ඊනියා උගතුන්ගේ ප්‍රශ්නය ඔඩු දිවුවා. හැටේ දශකයේ අග භාගය වන විට ශාස්ත්‍ර පීඨ උපාධිධරයන්ගේ රැකියා ප්‍රශ්නය ඇති වුණා.

 

අද ඉගෙන ගත්ත ඇතැමුන්ට ගොඩ එන්න බැහැ. ඔවුන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා. අධ්‍යාපනඥයන් කියනවා තියෙන රැකියාවලට අවශ්‍ය දැනුම නැහැ කියා. ඔය රැකියා බෙහොමයකට පුහුණුවක් ලබා දෙන්න පුළුවන්. වැඩිම වුවහොත් මාස හයකින් පුළුවන් කියා මට හිතෙනවා. තානාපති රැකියාවට යන විට ඒ පිළිබඳ මා කිසි දෙයක් දැන හිටියේ නැහැ. ඒත් මාසයකින් දෙකකින් අවශ්‍ය පුහුණුව ලබා ගන්න පුළුවන්.

 

අවුරුදු දහතුනක් පාසල්වල හා අවුරුදු තුන හතරක් විශ්වවිිද්‍යාලවල ඉගෙන ගන්න එක තේරුමක් නැහැ. අවශ්‍ය වන්නේ අපේ සංස්කෘතිය ගැන පරිචයක් ලබා දීම. සංස්කෘතියේ හිතන්න පුරූදු කිරීම. විවිධ දැනුම් පද්ධති ලෝකයේ තිබෙන බව දැනෙන්න සැලැස්වීම. අද සිදු වන්නේ බටහිර ක්‍රිස්තියානි දැනුම් පද්ධතිය එකම දැනුම් පද්ධතිය බව සිසුන්ට දැනෙන්න සැලැස්වීම. ඒ දැනුම් පද්ධතිය අපේ සංස්කෘතිය සමග ගැලපෙන්නේ නැහැ. අපටවත් රටටවත් ගොඩ ඒමක් නැහැ.  බටහිර අධ්‍යාපනය ලබා ගත් අය මෙරට නොසිට යන එක පුදුමයක් නො වෙයි.

 

අද ලෝකය ම අනාථ වෙලා. කොවිඩ් 19 ඉදිරියේ බටහිර දැනුම් පද්ධතිය දණ ගහලා. ඉන්දියාව අපේ මිතුරකු නොවූවත් එරට තත්වය ගැන මට ඇත්තේ කණගාටුවක්. ඉන්දියාවෙ බටහිර වෙද මහත්තුරු මෝදිට ඉඩ දුන්නේ නැහැ සාම්ප්‍රදායික වෙදකම් කිරීමට. චීනය එහි අනෙක් පැත්ත. ඔවුන් සාම්ප්‍රදායික වෙදකමටත් තැනක් දුන්නා. අප දැනටමත් ප්‍රමාද ද කියල හිතෙනවා. ගොඩ ඒමට නම් මඩට යමු. මඩ කියන්නේ කුඹුරක් පමණක් නො වෙයි.